අද (02) දිනයේ පැය හතහමාරක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා ඇතිවන විදුලි හිඟය හේතුවෙන් මෙලෙස අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම කියයි.
මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය සදුඳා පැවැති ඇමති මණ්ඩල රැස්වීමේ දී කියා තිබුණේ විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බව ය. ඒ අනුව ලබන 05 දා සිට විදුලි කප්පාදුව අවසන් වනු ඇති බවක් ද ඔහු කියා තිබුණි. ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ඇණවුම් කරන්නේ සහ ඇණවුම් කළ ඉන්ධන තොග වෙනුවෙන් මුදල් ගෙවන්නේ කෙසේද? යන පැනයට නම් මුදල් ඇමතිවරයා පිළිතුරක් දී නොමැත.ඒ රහස දන්නේ ඔහුම පමණක් ද? යන්නත් අපි නොදනිමු.
ඩීසල් නොමැතිකමේ පැනය විදුලිබල උත්පාදනයට බල පා ඇතිවා මෙන්ම එය ප්‍රවාහනයට ද බලපා තිබේ. ජනතාව පැය ගණන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසී සිටින්නේ කෙසේ හෝ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙනි. බස් රථ ධාවනය ද 50% ටත් වඩා වැඩි ප්‍රමාණයකින් පහත බැස තිබේ. සමහර බස් ඉන්ධන නොමැතිව අතරමඟ නතර වෙද්දී මුදල් ඇමතිවරයා ඊට ද විසඳුමක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. ඒ පෞද්ගලික බස් රථවලට ලංගම ඩිපෝවල ඇති ඉන්ධන තොගවලින් ඉන්ධන ලබා දිය යුතු බවට ය. නමුත්, ලංකා ගමන ගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් ද ඩිපෝ සඳහා තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගන්නේ ඉතාම අපහසුවෙන් බව ය. එසේ ලබාගන්නා ඉන්ධන දෙවන පාර්ශවයකට ලබා දීම මගින් ලංගම බස් රථවලට ද ධාවනයෙන් ඉවත්වීමට සිදු විය හැකි බව ද ඔහු කියා සිටියේ ය.එමෙන්ම පෞද්ගලික බස් ධවනය ඇරඹුණු දා සිට ලංගමයට සිදු වූ අනේක විධ කෙනෙහිලි කම් මදි පුංචි කම් හමුවේ ලංගමය කෙරෙහි අතිශය බැඳීමක් ගොඩ නඟා ගත් සේවක පිරිසක් ද වෙති.වෙනදා ලංගමයට “කොකා පෙන් වූ” පෞද්ගලික බස් රථ ඩිපෝ තුළටම පැමිණ ලංගම බස් රථ වලට හිමි ඉන්ධන පුරවාගෙන යනු දකින ඒ සේවකයන්ගේ මානසික තත්වය කෙබඳු වේදැයි අපට සිතා ගැන්මට අපහසු නැත.
කෙසේ නමුත් ජනතාව රාත්‍රියට කළුවරේ සිටින අතර දහවලට ඉන්ධන පෝලිමේ සිටිති. නමුත්, දැන් එළඹ ඇත්තේ දිවා රෑ දෙකේම “කළුවරේ සිටීමට” සිදුව ඇති තත්ත්වයකි. නව විදුලි කප්පාදු සැලසුමට අනුව දිවා කාලයේ දී පැය පහක් විදුලිය කප්පාදු කරන අතර රාත්‍රී කාලයේ දි පැය දෙකහමාරක් විදුලිය කප්පාදු කරනු ඇත. ඉදිරියේදී විදුලි කප්පාදුවක් ගැන නිවේදනය නොකර විදුලිය ලබා දෙන කාලය පමණක් නිවේදනය ද කිරීමට නියමිත ය.
මේ අතර හිටපු මන්ත්‍රීවරයෙකු වන අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ලෝකයේ බලවත් රටකට “පාට් එකක් දමා”ඔවුන් සමඟ සටනකට එළැඹ ඔවුන්ට යටත්වීම මේ සියළු ප්‍රශ්වලට විසඳුමක් වනු ඇති බව ය..
නමුත් ලංකාව සටනකට ආරාධනා කළත් බලවත් රටවල් ලංකාව යටත් කර ගැනීමට පැමිණෙතැයි සිතිය නොහැක. මන්ද දැන් ලංකාව යටත් කර ගැනීමෙන් බලවත් රටවලට වන කිසිදු වාසියක් නොමැති නිසාවෙනි.
අක්මීමන දයාරතන හිමියන් පවසන අන්දමට රටේ ජනතාව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් දැන් වෙනත් රටකට යාමට සේම වෙනත් රටකට යටත්වීමට පවා සුදානම් වෙයි.
අතීතයේ දේශීයත්වය ගැන ගැන, ජාත්‍යාලය ගැන කතා කළ පිරිසම අද යටත්වීම සියළු ප්‍රශ්නවලට විසදුම ලෙස සිතීම ද හාස්‍යයට කරුණකි. කෙසේ වෙතත් රට මේ වන විට ඉතා අසීරු අඩියකට වැටී කාට,කුමන හෝ ලෙසකින් යටත් වන මට්ටමකට පැමිණ ඇති බව නම් පැහැදිලි ය.
එසේම පෝලිම් පනිමින් ඉන්ධන ලබා ගැනීමට පැමිණෙතැයි චෝදනා කරමින් යම් යම් පිරිස් ගැටුම් පවා ඇති කර ගැනීමට කටයුතු කරන ආකාරයක් පසුගිය දිනවල දක්නට ලැබුණි. මේ නිසා පොලිස්පතිවරයාට ඊට අදාළව චක්‍රලේඛයක් පවා නිකුත් කිරීමට සිදු වී තිබේ. එනම් ඉන්ධන පිරවුම්පොල අසල මහජන සාමය ආරක්ෂා කිරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කරන තැනට රට පැමිණ තිබේ.
ඉන්ධන නැව් පැමිණෙන තුරු මුහුදට දත නියවාගෙන සිටීමට රටට හා ආණ්ඩුවට සිදුව තිබේ. බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියා සිටින්නේ ඇපල්, මිදි ආනයනය කිරීම නවතා ඉන්ධන ආනයනයට මුදල් ලබා දෙන ලෙසට ය. ඇපල්, මිදි, දොඩම් ආහාරයට ගැනීම කෙටි කාලයකට නතර කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියි.
නමුත්,ඇපල්, මිදි, දොඩම් ආනයනයට වැය වන විදේශ විනිමය ප්‍රමාණය ඉන්ධන ආනයනය වෙනුවෙන් ප්‍රමාණවත් වේද?අනික් කරුණ ඇපල් මිදි ආනයනය කිරීම නවතා දැමීම සිතන තරම් පහසු නැත.එවිට දැනට මෙම ව්‍යාපාරය හා සම්බන්ධ දහස් ගණනක් රැකියා ලාභීන් කරන්නේ කුමක්ද? මෙතන පවතින්නේ උද්දච්ඡකමේ ප්රතිඵලයකි. එනම් ඩොලර් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාමේ ප්රතිඵලයයි.
ජනාධිපති වරයා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කියන්නේ එය තමන්ගේ වරදින් සිදුවූවක් නොවන බව ය.
එය යහපාලන රජය විසින් ඇති කළ එකක් බව ඔහු කියා සිටියි.නමුත් දේශපාලන විදග්ධයකු නොවන ඔහු මේ සම්බන්ධයෙන් එක ස්ථාවරයක නොදරන බව මාධ්‍යවේදීන්ට රහසක් නොවේ.ජනපති වරයා කොවිඩ් නිසා මේ ආර්ථික අර්බුදය ඇතිවූ බව කීවේය.
ඉදිරියේදී මෙම අර්බුදය යුක්රේන් – රුසියා යුද්ධය නිසා ඇතිවූවක් බව කියනු ඇත.අමුත් ඔහුගේ මේ පරස්පර විරෝධී කතා මාධ්‍යවේදීන්ගේ අතටම අසු වෙයි.
නමුත් මෙසේ වැල යන අතට මැස්ස ගැසීම කෙසේ වත් සාධනීය පියවරක් නොවන්නේ මේ තත්වය මෙලෙසින්ම පැවතීම මත පයින් ගමන් යන කුප්පි ලාම්පු දල්වන නූතන සමාජ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටෙන යුගයක් වශයෙන් අපේ රට සිය වස් ගණනක් පසුපසට ඇදී යාම ඒකාන්ත වශයෙන්ම සිදුවන බැවිනි.
ලසන්ත වීරකුලසූරිය