ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් වලට ඩීසල් සැපයීම මගීන් කබලෙන් ලිපට ඇද දැමීමක්

පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ඩීසල් සැපයීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම මඟින් ලංගම බස් රථ ධාවනය මුළුමනින්ම අඩාල විය හැකි යැයි ලංකා ගමනාගමන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කොට සිටියේ දැනට ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ බොහොමයක ගබඩා කොට ඇත්තේ දින හතරකට ප්‍රමාණවත් සීමිත ඩීසල් ප්‍රමාණයක් බැවින් ඒවායින් කොටසක් පෞද්ගලික බස් රථ වලට ලබා දීම ලංගම බස් රථ ධාවනයට සෘජු ලෙස බලපෑ හැකි බවය.ඒ අනුව දැනට යෙදී ඇති ලංගම බස් රථ ධාවන වාර ගණන අඩු කිරීමට නියත වශයෙන්ම සිදු වන අතර එමඟින් මගීන් බලවත් අසීරුවට පත් විය හැකි බව ද එම නිලධාරියා කීය.විශේෂයෙන් ලංගමය මඟින් පවත්වා ගෙන යන ප්‍රාදේශීය බස් රථ සේවාවන් රාශියක් මෙමඟින් බිඳ වැටෙන අතර ලංගම ඩිපෝ වලින් ඩීසල් සැපයීමට රජය ගෙන ඇති තීරණය ලංගමය අඩපණ කොට බස් මගීන් ද කබලෙන් ලිපට ඇද දැමීමක් වන බැවින් ඊට එරෙහිව මගීන් තම විරෝධය පළ කළ යුතුව ඇතැයි ද එම නිලධාරියා කීය.

කාලීන පුවත්