වැඩකරන අපේ විරුවා සින්දුව ආණ්ඩුවට “ඇලජික්” වුණේ ඇයි

” වැඩකරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා”‍ ගීතය අව භාවිතා කිරීම දඩුවම් කළ හැකි වරදක් බවට පොලිසිය කළ ප‍්‍රකාශයක් පිළිබඳව මේ වන විට සමාජ කතිකාවත් ඇතිව තිබේ. නමුත්, ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී පොලිස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ කියා සිටියේ එවැන්නක් පිළිබඳව තමන් නොදන්නා බව ය.ඒ ඇරුණු කොට එය අසත්‍ය තොරතුරකැයි ඔහු කීවේ නැත. ”‍වැඩ කරන අපේ විරුවා”‍ ගීතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරක ගීතයකි. 2019 ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ මැතිවරණ ප‍්‍රචාරක ගී රාශීයක් නිර්මාණය වුව ද මෙය නිල තේමා ගීතය විය.

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරක රැළිවලට ඔහු පැමිණෙන අවස්ථාවේ වාදනය කෙරුණේ මෙම ගීතයයි.ඒ පසුබිම් ගී හඬ අතරින් ඔහු මහත් අභිමානයෙන් යුතුව දෑතම ඔසවා ජනතාවට ආචාර කරන අයුරු එකල මාධ්‍ය වල සුලබ දසුනක් විය. එම නිසා මෙය ගෝඨාභය රාජපක්ෂගේ නිල තේමා ගීතය ලෙස හැදින්වූවාට වරදක් නැත. ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු වලදී ද මෙම ගීතය බොහෝ අවස්ථාවලදී ගායනය නැතහොත් වාදනය විය.

වර්තමානය්දී මෙම ගීතය යළි ප්‍රබල ලෙස සමාජ ගත වී තිබේ.ඒ ඉන්ධන පෝලිම් හට ගැනීමත් සමඟය. මෙම ස්ථාන වලට පැමිණෙන තරුණ කණ්ඩායම් ”‍වැඩකරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා”‍ යන ගීතය ගායනා කරන්නට වූහ. තවත් පිරිසක් සිය රථයේ ඇති කැසට් යන්ත්‍රයෙන් මහ හඩින් මෙම ගීතය ඇසීමට සැලස්වූහ.

තවත් අය බෆල් නැතිනම් ශබ්දවාහිනියක් එම ස්ථානයට ගෙනවිත් මෙම ගීතය වාදනය කරවන්නට වූහ. ඉන්ධන පෝලිම්වල සිටින පිරිස් ජනාධිපති වරයාට තම විරෝධය පළ කරන්නට යොදා ගත් මෙම අලුත් ක‍්‍රමය මේ වන විට ආණ්ඩුවට හිසරදයක් වී ඇති බව පැහැදිලි ය.

ගීතයක් අවභාවිතා වන්නේ කෙස්ද? යන්න ගැන නීති පොත්වල ඇතත් වැඩකරන අපේ විරුවා ගීතය සම්බන්ධෙයන් එසේ කළ හැකි ද? යන්න සොයා බැලිය යුතු ය. ජාතික ගීය අවභාවිතා කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම ජාතික කොඩිය අවභාවිතා කිරීම ද වරදකි. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සඳහන් කර තිබේ.

2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ ප්‍රකාශන අයිතිය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ ආරවුල් නිරාකරණය,බුද්ධිමය දේපල බලාත්මක කිරීමට නෛතික ප්‍රතිපාදන සළසා ඇත.ඒ අනුව වුව කවර ගීතයක අයිතිය ඇත්තේ ගීත රචකයාට, ගායකයාට හා තනු නිර්මාණ කරුවාට ය. ඔවුන් සකසන ගීතය තවත් කෙනෙකුට ප්‍රසිද්ධියේ ගායනා කළ හැක්කේ ඔවුන්ගේ අවසරයකින් පමණකි. එසේම එම ගීතයේ පද වෙනස් කිරීම, තනුව වෙනස් කිරීම ආදිය කිරීමට අවසරයක් නැත. එය අවභාවිතයක් නොව විකෘතියක් ලෙස හැදින්විය හැකිය.

එවැනි විකෘතියකදී ගීතයේ හිමිකරුවන් තිදෙනාගෙන් ඔ්නෑම අයෙකුට විකෘතිය කළ පාර්ශවයන්ට එරෙහිව වාණිජ මහාධිකරණය හමුවේ නඩු පැවැරිය හැකිය. එය සිවිල් නඩු කටයුත්තකි. නමුත් අවභාවිතය යන්න අපරාධමය කටයුත්තකි. ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටේ ජනාධිපතිවරයා වුවත් ඔහු මේ ගීතය භාවිතා කරද්දී ඔහු තවත් එක් ජනාධිපති අපේක්ෂකයකු පමණකි. සාමාන්‍ය අපේක්ෂකෙයකුගේ දේශපාලන ප‍්‍රචාරක ගීතයක් ජනාධිපතිවරයාගේ ගීතයක් විය නොහැකි ය.

එසේම ඉන්ධන පෝලිම්වල සිටින පිරිස අතරට පැමිණෙන පිරිස් මෙම ගීතය ගායනා කළා හෝ ප‍්‍රචාරය කළා මිසක මෙම ගීතය විකෘති කොට නොමැත. එසේම කෙනකුට එය විකෘතියක් ලෙස සිතෙන්නේ නම් ගීතයේ අයිතිකරුවන්ගෙන් කෙනකුට ඒ වෙනුවෙන් වාණිජ මහාධිකරණය ඉදිරියේ නඩු පැවැරිය හැකි ය.එහෙත්,ඊට අදාල නඩු නිමිත්ත පැහැදිලි නොවන බැවින් පැමිණිල්ල නිශ්ප්‍රභා වීමට බොහෝ ඉඩකඩ තිබේ.

එය සිවිල් කටයුත්තක් මිසක අපරාධමය කටයුත්තක් නොවන්නේය. නීතිය එසේ වුව ද ආණ්ඩුව මීට “අවභාවිතය” යන සාවද්‍ය අර්ථ නිරූපණය දී පොලීසිය හරහා මේ කරන්නට සැරෙසන්නේ පෝලිම්වල මේ ගීතය වාදනය වීම වැළැක්වීම විය යුතු ය. එවිට පොලිසිය මේ කළ ප‍්‍රකාශය මඟින් ජනතාව තුළ බියක් ජනිත වී පෝලිම්වල මේ ගීය වාදනය කිරීම නැවැතී යනු ඇත.

එය එක්තරා අන්දමක අනිසි බිය වැද්දීමකි.අනෙක් පසින් තරුණ පරපුරේ මෙම නව විරෝධාකල්පයට ආණ්ඩුව බිය වී ඇති බව ද පැහැදිලිවේ. එය දුර්වල පාලනයක ලක්ෂණයකි. ජනතාව ආණ්ඩුවට එරෙහිව නව විරෝධතා ක්‍රමෝපායන් සොයා ගනිද්දී පාලකෙයා් ඊට බිය වී එය වැළැක්වීමට නොයෙක් උපාය උපක‍්‍රම යොදා ගනිති.

”‍වැඩකරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා”‍ ගීතය සම්බන්ධයෙන් සිදු කොට ඇත්තේ ද එවැනි දෙයකි. ඉන්ධන පෝලිමට පැමිණෙන තරුණ පෙළ එම ගීතය විකෘති කොට නැත. ඇතැම් තරුණයෝ එය ගීතයේ මුල් ගායකයාටත් වඩා මිහිරට ගායනා කරති. පොලිසිය කියන ආකාරයට මෙම ගීතය මැතිවරණ කාලයක දී හැර වෙනත් කාලයකදී ගායනා කරන්නට ද බැරිය.ඒක නම් කාකි සූට් ගොමස්කඩ කරවන යකාගේ නීතියකි.

ආණ්ඩුව කළ යුතුව ඇත්තේ ගීතය ගායනා කිරීම තහනම් කිරීම නොව ඉන්ධන පෝලිම් නැති කිරීම ය. එයට ඇති විකල්පය වන්නේ ඇති තරම් ඉන්ධන තොග පිරවුම්හල් වෙත යැවීම ය.දින ගණන් ඉන්ධන පෝලිම්වල තපින ජනතාව එම ගැටළුවෙන් මුදවා ගැනීම පසෙක තබා පෝලිම් අසලට පැමිණ ඒවායේ ගී ගයන ගීත වාදනය කරන්නවුන් කුදලා ගෙන යාමට තරම් පොලීසිය බාල්දු නොවිය යුතුය.

අනෙක,මෙම ”‍වැඩකරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා”‍ ගීතය යළි තමන් වෙතම කැරකී ආ පාරා වළල්ලක් සේ රජය සිතන්නා සේම තාමත් ඒ ගීතයට පෙම් බඳින එය බැතිමත්ව ශ්‍රවණය කරන එක් අයකු වත් අප රටේ හැට නව ලක්ෂයක ජනතාව අතරේ නොමැති බවක් මේ වන විටම රජයට තහවුරු වී ඇති සේය.

දැනට එය පූර්ණ සත්‍යයක් නොවුව ද රජය මේ ආකාරයට කියා කළ හොත් එය පූර්ණ සත්‍යක් වන දිනය ද වැඩි ඈතක් නොවේ.රජය දැන් වත් ඒ අවදානම ගැන තරයේම සිතට ගත යුතුය.

ලසන්ත වීරකුලසූරිය

 

එතෙර - මෙතෙර