ශ්‍රී ලාංකේය ලිංගික සංචාරක කර්මාන්තයේ උන්නතියක්

ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි උපාය මාර්ග අතුරින් සංචාරක ව්‍යාපාරයට අත් වනුයේ මුල් තැනකි.එහෙත්,එහි අනාගත දිශානතිය කවර දෙසකට යොමු වේද යන්න පිළිබඳ පූර්ව අනුමානයක් ඇති කර ගැනීමට මේ වන විට යම් හැකියාවක් පවතී. ලෝකයේ වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්ත අතර සංචාරක ව්‍යාපාරයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සංචාරක කර්මාන්තය කී සැනින් අපට මතකයට එන්නේ ස්වභාවික පරිසරය සහ ඓතිහාසික සිද්ධස්ථාන ආදිය වුව ද සංචාරක ව්‍යාපාරය යනු එපමණක්ම නොවන බව වටහා ගත යුතු වේ. පුරුද්දක් ලෙස වාර්ෂිකව ලොව වටා සංචාරයේ යෙදෙන විදේශිකයන් අප බොහෝ දෙනා නොදන්නා කොටස් කීපයකට බෙදී පවතී.

උදාහරණ ලෙස දිය ඇළි, කඳු ආදී ස්වභාවික සෞන්දර්ය දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයන් ඔවුන්ගේ එම ආශාව ඉටු කරගනු විනා මුහුදු වෙරළ, කොරල් පර ආදිය නැරඹීමෙන් තෘප්තියක් නොලබති. එමෙන්ම මුහුදු වෙරළ, කොරල් පර ආදිය නැරඹීමට කැමති සංචාරකයන් මධ්‍ය කඳුකරයේ කඳු පන්ති නැරඹීමට කැමැත්තක් නොදක්වති. ඓතිහාසික සිද්ධස්ථාන දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයන් ඉහත සඳහන් කරනු ලැබූ ස්වභාවික පරිසරය නැරඹීම සදහා උනන්දුවක් දක්වන්නේ නැත. එමෙන්ම කැසිනෝ, බයි රේස් වැනි සූදු ක්‍රීඩාවන් සදහා කැමැත්තක් දක්වන සංචාරකයන් පැමිණෙන්නේ රාත්‍රී සමාජ ශාලාවලට මිස ඉහත කී ස්වභාවික සෞන්දර්යය හෝ ඓතිහාසික ස්ථාන නැරඹීම සදහා නොවේ.

මේ කොටස් කීපයටම අමතරව මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනස්ම වූ අරමුණක් වෙනුවෙන් පැමිණෙනු දක්නට තිබේ. එනම් ලිංගික සංචාරක ව්‍යාපාරය සදහා යි. සුප්‍රසිද්ධ කාරණයක් නොවුණ ද ශ්‍රී ලංකාව තුළ නිල නොලත් වශයෙන් ලිංගික සංචාරක ව්‍යාපාරය පවතින්නේ වසර ගණනාවකට පෙර සිට ය.මේ වන විට එය අප රට තුළ ශීඝ්‍ර ව්‍යාප්තියකට පත් ව ඇති අතර ඉන් පූර්ණ සහ අර්ධ කාලීන ආදායම් ලබන්නවුන් ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබේ. සංචාරක ව්‍යාපාරය සදහා මහත් ප්‍රසිද්ධියක් සහිත වෙරළ කලාපවල ළමා ලිංගික ව්‍යාපාරය දරුණු අන්දමින් සිදුවන බවට වරක් බීබීසී සේවය පවා වාර්තා කර තිබිණි. ඔවුන් වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත ජනකායකට රැකියා සපයන සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ භයානක තර්ජනයක් මතුවෙමින් පවතින බවකි. එම තර්ජනය නම් “ඉදිරියේ දී දේශීය ලිංගික සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන මෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන්ට බලකරනු ලැබීමට ඉඩ තිබේ,” යන්න ඔවුන් සිය වාර්තාවේ සදහන් කර තිබිණි.

බීබීසී සේවය පවසන ආකාරයට ගැහැණු දරුවන්ට වඩා මෙහි තර්ජනය පවතින්නේ පිරිමි දරුවන්ට ය. වැඩිහිටියන් සිය දරිද්‍රතාව හේතුකොට ගෙන සිය කැමැත්තෙන්ම පිරිමි දරුවන් සංචාරකයන් වෙත යොමු කිරීමට තරම් මෙම තත්වය උග්‍ර වී පවතී. සංචාරක කර්මාන්තය හා බැඳුණු ළමා අපයෝජකයන්ට වැට බැඳීමට ජාත්‍යන්තර ප්‍රජාවේද උනන්දුව හීන වී ඇති බැවින් මෙය සමාජයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි පිළිලයක් නොවන බව ද බීබීසී සේවය වැඩිදුරටත් පවසා තිබේ.

තත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ වැඩිහිටි ලිංගික වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටින නීති උපදේශන ආයතනයක් සහ ඔවුන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කර තිබීම සතුටට කාරණයකි. මෙම ආයතනය පවසන්නේ ලිංගික ශ්‍රමිකයින් යනු සිය ජීවිතයේ ඉතාම අවිනිශ්චිත තත්වයකට පත්ව සිටින කොටසක් බවත්, ඔවුන් කරන රැකියාවට ගෞරවයක් නොමැති වීම පමණක් නොව ඔවුන් අපහාසයට සහ අපහසුතාවට ලක් කිරීමේ සංස්කෘතියක් තුළ අප ජීවත් වන බවත් ය. එපමණක් ද නොව ජනමාධ්‍ය පවා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සාපරාධී ලෙස උල්ලංඝණය කරමින් ඔවුන් පිළිබද පුවත් වාර්තාකරණයේ යෙදෙන බව ද වැඩිදුරටත් විස්තර කර තිබේ. ලිංගික ශ්‍රමිකයින් අළලා ශ්‍රී ලංකාවේ සිදුවූ විවිධ සිදුවීම් කීපයකදී ම අධිකරණය විසින් ඔවුන් වෙනුවෙන් ඉතාම ප්‍රගතිශීලී තීන්දු ලබාදී තිබූ මොහොතක පවා පොලීසිය වෙතින් ඔවුන් කෙරෙහි ඇතිව තිබෙන පීඩනය වෙනස් වී නොමැති බව රහසක් නොවේ. මේ ආකාරයේ නින්දිත තත්වයන් තුළ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සදහා කිසිදු මානව හිමිකම් ආයතනයක් පියවර නොගන්නා පරිසරයක “ෆැකල්ටි ඔෆ් සෙක්ස්” නමින් මෙවැනි ආයතනයක් පිහිටුවා ඔවුන් වෙනුවෙන් අරමුදලක් වෙන්කර ඔවුන් වෙත සාධාරණය ඉටු කිරීම පැසසිය යුතු කාරණයකි.අප එසේ කියනුයේ ඉහත සඳහන් සමාජ ආර්ථික පරිසරය නිර්මාණය වීම තුළ ඒ තුළ රැඳෙන්නවුන් අනවශ්‍ය පීඩනයකට ලක් කිරීම තවත් සමාජ අසාධාරණයක් බැවිනි.

 

දුලංජලී මුතුවාඩිගේ

අරුමැසි පුවත්