පොදු ජන පීඩනය “ආතල් එකක්”කර ගැනීම සමගි ජන බලවේගය ඊයේ (15) කොළඹට මහා ජනකායක් රැගෙන ආවේය. රටේ සිව් දෙසින් පැමිණි නානා තරාතිරම් වලට අයත් ජනතාවගෙන් එක් කොටසක් විහාර මහා දේවි උද්‍යානය අසලින් ද තවත් කොටසක් මාලිගාවත්තේ සිට ද මාර්ග දෙකකින් පෙළපාලියකින් පැමිණි ජනයා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ආහ.
රටේ සමස්ත ජනතාවටම මේ වන විට උසුලා ගත නොකැකි ලෙස ජීවන බර දැනී තිබේ. ජීවන බර දැනුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව රට නිවැරදි මගට ගෙන මේ ප්‍රශ්න විසදනු ඇතැයි සිතන 10% ක පමණ කොට්ඨාශයක් තමත් සිටිති. එම පිරිස ඊට වැඩිවිය හැකි ය. නමුත් බහුතරය සිටින්නේ දැඩි කායික මානසික පීඩාවක ය.මේ අතර දේශීය සම්පත් නොව මුළු රටම විදේශයකට විකිණීමේ පිඹුරු පත් වල හෙවනැලි ද දැන් දැන් වැටෙමින් තිබේ. ඇමරිකාව,චීනය සහ ඉන්දියාව දැන් ජාතික මාතෘකා බවට පත් ව තිබේ.
කඩ පිළකට ගොඩ වැදී කෑමට යමක් සොයා ගත නොහැකි,තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල තපින ජනයා මේ ආණ්ඩුව පලවා හැරිය යුතු බවට සිතන්නේ තමන්ගේ ගැටළු විසඳා ගැනීම වෙනුවෙනි. එයට ඇති එකම විසඳුම විපක්ෂයේ සියළු පාර්ශව එක තැනකට පැමිණීම ය. නමුත් එවැනි තත්ත්වයක් රට තුළ ඇතැයි සිතිය නොහැකි ය. සමගි ජන බලවේගය මෙවැනි විරෝධතාවයක් කැඳවීමෙන්ම එය පැහැදිලි වෙයි..
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සියළු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබේ.අද හෙටම විදුලි බිල ද විදුලි සැර වදින මට්ටමින් ඉහළ යනු ඇත. ඊට සමානව ආදායම් මාර්ග වැඩි නොවීම හේතු කොට ගෙන ජනතාව දැඩි ආර්ථික ප්රකම්පනයකට ලක්ව සිටියි. එය දඩමීමා කරගනිමින් කිසිදු දේශපාලන හෝ වෙනත් විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් නැතුව මෙලෙස බලකාමයෙන් කටයුතු කිරීම තුළ රට තවත් වළපල්ලට යනවා මිස අලුත් යමක් වනු ඇතැයි සිතිය නොහැක.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිටින්නේ හුදු බලකාමයක ය.ඔහුට අවශ්‍ය මෙරට බලයට පත් වන දෙවන ජනපති ප්‍රේමදාස වීමට ය එනිසාම ඔහු සාමූහික ගමනකට කැමැති බවක් පෙනෙන්නට නැත. උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරනු ඇතැයි ඔහු සිතා සිටියි.ජනාධිපති ගෝඨාභය ගේ නොවිධිමත් පාලනය තමන්ට වාසනාව උදා කර දෙනු ඇතැයි ඔහු සිතයි.. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දරන ජාතික ජන බලවේගය ද ජනතාව සමඟ පාරට බැසීමට සුදානම් වේ.ඔවුන් ජනතාව සමඟ පාරට බසින්නට සුදානම් සිටින්නේ මාර්තු 18 දාය. සමගි ජන බලවේගය තමන්ගේ උපරීම ශක්තිය යොදවා රට වටෙන්ම ජනතාව කැඳවූවා සේ ජාතික ජන බලවේගය ද තමන්ගේ ශක්තිය යොදවා කොළඹට පිරිස කැඳවනු ඇත. මෙලෙස පීඩනයෙන් සිටි ජනතාව කොළඹට කැඳවීමෙන් පමණක් බලය ලබාගත හැකියැයි සිතනවා නම් එය මිරිඟුවකි.ජාතික ජන බලවේගය තමන් වර්තමාන ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්නා මංපෙත් ජනතාවට කියා දිය යුතුම ය.
බලය ලබා ගැනීමට නම් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් පොදු වේදිකාවකට පැමිණිය යුතු ය.එවිට ඉදිරි පාලනය සඳහා අවශ්‍ය දේශපාලන සංයුතිය කුමක්දැයි ජනතාව පසුව තීරණය කරනු ඇත. අතීතයේ දී බලය ලබා ගැනිම වෙනුවෙන් දේශපාලන පක්ෂ පොදු අරමුණක් වෙනුවෙන් පොදු වේදිකාවකට පැමිණියේ ය. 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ද එවන් පොදු වේදිකාවක් නිර්මාණය කිරීම තුළිනි. වත්මන් පොදුජන පෙරමුණ පක්ෂය ද බලයට පැමිණියේ පොදු වේදිකාවක් නිර්මාණය කිරීම තුළිනි. නමුත් ජනාධිපති වරයා ප්රමුඛ රජයෙන් ශ්‍රී ලංකාව නමැති වාහනයේ සුක්කානම ගිළිහී ඇති විටෙක පවා අද එවැනි පොදු වේදිකාවක් නිර්මාණය වී නැත.
සමගි ජන බලවේගය එක් කොටසක් ලෙස ගමන් කරන අතර ජාතික ජනබලවේගය තවත් කොටසක් ලෙස ගමන් කරති. එක්සත් ජාතික පක්ෂය වෙනම ගමනක ගමන් කරමින් සිටියි. ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් ගමනක් යමින් සිටියි. එසේම ඇමති ධූරවලින් එළියට ඇද දැමූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල තවත් පක්ෂ 11 ක් සමග ගමනක් යාමට සුදානම් වෙති.
පොදු අර්බුදය ආර්ථිකය වුවත් ජනතාව මේ අර්බුදයේ දී පොදු අරමුණක් නැති බව පැහැදිලි ය. එක එක්කෙනා තනි තනිව තමන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට උත්සාහ කරන බව පමණක් පෙනෙන්නට තිබේ. ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වලට ගැටුම් ඇති වන්නේ මේ නිසා ය. තමන්ගේ පංගුව වෙනුවෙන් එකි`නෙකා ගුටි ඇන ගැනීමට සුදානම් වන්නේ මේ නිසාය.
ඒ කිසිවෙකු පොදු සතුරා පරාජය කිරීම වෙනුවෙන් පොදු අරමුණක නැත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ කදිම ප්‍රකාශයක් කර තිබුණි. ඔහු කීවේ ආර්ථික අර්බුදය විසදීම වෙනුවෙන් සියළු පක්ෂ සාකච්ඡා කොට පොදු විසඳුමකට පැමිණිය යුතු බවකි.රට වෙනුවෙන් අප්‍රමාදවම ගත යුතු පියවර එය බව ඔහු කීයයි. එහෙත්,ආණ්ඩුව සේම විපක්ෂය ද පොදු අරමුණක් ගැන සිතන බවක් පෙනෙන්නට නැත.
එහෙත්, ආර්ථික අර්බුදය දිනෙන් දින ඉහළ යමින් තිබේ. විපක්ෂයේ පක්ෂ බලකාමය වෙනුවෙන් සටන් කරමින් සිටිති. සමගි ජන බලවේගය කොළඹට ගෙනා පිරිස තෝරාගෙන තිබුණේම පැරණි සටන් උපාය මාර්ගයන්ම ය.එම පෙළපාලියට එක් කොට තිබූ “ඩෙඟා නැටීම්” වලින් එය පැහැදිලි වෙයි.
ආණ්ඩුවේ කණ්ඩායම් අල්ලාගෙන ඇත්තේ ද මේ කොටස ය. ආර්ථික අර්බුදයකට ජනතාව සැබෑවකටම මුහුණ දී ඇත්නම් මත්පැන් බී මෝලං වයමින් නට නටා “ෆන්” ගත හැකිද? යන කාරණය ආණ්ඩුවේ පාර්ශව විසින් මතු කරමින් සිටියි. ආර්ථික අර්බුදයත් “ආතල්” එකක් කරගෙන සිටින බව ඒ අයගේ මතය වේ. විපක්ෂයේ මෙවැනි බාල තේරිම් මත සැබෑ අර්බුදය යට යනු ඇත.
අතීතයේ ආණ්ඩු පෙරළියට මෙවැනි දේ යොදා ගනිමින් ජනතාව විරෝධතාවලට ගෙන ආවත් අදට එය වලංගු නොවන්නේ ප්රශ්නය වෙනස් තත්ත්වයක තිබෙන බැවිනි. විපක්ෂය බේද භින්න වී සිටින බැවින් ආණ්ඩුව තමන්ගේ බලය රැක ගනිමින් සිටියි. අධික මිලට ඉන්ධන ගෙන දැඩි රථවාහන පෝලිම්වල සිටීමෙන් ජනතාවගේ විරෝධය විපක්ෂයේ විරෝධතාවය වෙත ද යොමු ව තිබිණ. දුර්වල විපක්ෂ නායකයෙකු යටතේ මීට වඩා වෙනස් දෙයක් අපේක්ෂා කළ නොහැක. බලයට පැමිණීමට තෝරන අවිධිමත් උපාය උපක්‍රම දෙස බැලූ විට පැහැදිලි වන්නේ මේ වන විට ආණ්ඩුව කපා ඇති මිනී වලට වැටී සිටින ජනතාව පස් දමා වසා දැමීමේ කොන්ත්‍රාත්තුව ඔහු භාර ගෙන ගෙන ඇති බව පමණකි.
ලසන්ත වීරකුලසූරිය