සිංහල රාජ වංශයේ සුවිශේෂ නමක් දිනාගෙන හිඳින වට්ට ගාමිණී අභය හෙවත් වළගම්බා රජතුමා පිළිබඳව අසා නොමැති කිසිවකුත් අප අතරේ ඇතැයි සිතිය නොහැක.
ක්‍රි.පූ. 103 දී අනුරාධපුරයේ රජ බවට පත් එතුමාට මුලින් රජකම් කළ හැකි වූයේ මාස පහක් වැනි කෙටි කාලයක් පමණි. ඊට හේතුව වූයේ දකුණු ඉන්දීය චෝල ආක්‍රමණික හමුදාවන් විසින් අනුරාධපුර රාජධානියේ බලය පැහැර ගැනීම ය. පසුව අනුරාධපුරයෙන් පලා ගිය වළගම්බා රජු වසර දාහතරක් අප රටේ විවිධ ප්‍රදේශවල සේනා සංවිධානය කොට ඉතා සූක්ෂ්ම හා දක්ෂ ලෙසින් අනුරාධපුර සොළී බලය දුරු කොට නැවත රජකමට පත් වීමට සමත් විය.
කොලොම්භාලක නම් ස්ථානයේදී සොලී හමුදාව හා කළ සටනින් පැරදුණු වලගම්බා රජතුමා ද්‍රවිඩයින්ගෙන් බේරීමට රථයක නැගී පලා යන අතරේ සොලී හමුදාව විසින් එම රථය ලුහු බැඳීමත් එම රථය වත්මන් අභයගිරිය පිහිටි ස්ථානයේ එවක තිබූ තීර්ථකාරාමය පසු කර යන අතරේ එහි සිටි “ගිරි” නම් නිඝන්ඨයෙක් “මහා කළු සිංහලයා පලා යනවෝ” යනුවෙන් ප්‍රීති ඝෝෂා කිරීමත් පිළිබඳව මහා වංශයේ සඳහන් ය.ඒ අනුව අදත් වලගම්බා රජතුමා”මහ කළු සිංහලයා” ලෙස ද හඳුන්වනු ලැබේ.
ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ විශිෂ්ටතම කාර්යක් සේ සැලකෙන මාතලේ විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වළගම්බා රජගේ අනුග්‍රහයෙන් සිදු වූ නිසා අප රටේ බුදු සසුන නගා සිටුවීම්ලා විශිෂ්ටතම මෙහෙවරක් කළ නරපතියකු වශයෙන් මෙතුමා හඳුන්වනු ලැබේ. අනුරාධපුර අටමස්ථානයට අයත් අභයගිරිය සේම දේශීය සංස්කෘතික ධන නිධානයක් වන රන්ගිරි දඹුලු විහාරය වළගම්බා රජු විසින් කරවන ලද බවක් පැවසෙයි.
වළගම්බා රජ සමය හා සබැඳුණු පුරාවෘත්ත කෙතෙක් තිබේද? කිවහොත් ඒවා මුල් කොට ගත් සාහිත්‍ය සේම සිනමා කෘති ද බිහි වී තිබේ. එමෙන්ම අප රටේ පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් ආශ්‍රිත ඕනෑම ගල් ලෙනක් ‘වළගම්බා රජු සැඟව සිටි’ විශේෂිත නාමයෙන් හැඳින්වීමට ඒ සිද්ධස්ථාන භාරකාරත්වයන් නොපසුබට වී ඇති බවක් පෙනෙයි.
එමගින් තම සිද්ධස්ථානයට විශේෂ ශාසනික, ඓතිහාසික වැදගත්කමක් ආරෝපණය කිරීම ද එහි එක් අරමුණක් වන්නට ඇත. එමෙන්ම ඉන් අනියමින් පැවසෙන තවත් කරුණක් තිබේ. එනම් අනුරාධපුරයේ සොළී බලය පිටුදැකීම පිණිස දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟවී සිට සේනා සංවිධානය කළ වළගම්බා රජතුමා එම ප්‍රදේශවලත් එලෙස සැඟවී සිටි බවට රට පුරා ජනප්‍රවාද පැතිර තිබීම ය. එහෙත් ඒවා සත්‍ය හෝ අසත්‍ය ලෙස වෙන් කොට දැක්වීමේ නොහැකියාවක් වර්තමානයේ පැන නැගී තිබේ.
නමුදු වර්තමානයේත් ජාතික වශයෙන් අති මහත් ප්‍රසිද්ධියක් උසුලන වළගම්බා රජතුමා දේවත්වයක් ලබා ඇති බවට පවතින ජන විශ්වාසය පිළිබඳ වළගම්බා රාජ චරිතය අධ්‍යයනය කළ බොහෝ දෙනෙක් නොදනිති. ඊට හේතුව රජතුමන්ගේ දේවත්වය ප්‍රාදේශීය මට්ටමකට වඩා ඉහලට නොයාම ය.
අප රටේ පැරණිම කෘෂි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ලග්ගල ප්‍රදේශයේ පැරණි ගැමියන් විසින් අදහසු ලැබූ ‘බම්බා දෙවියන්’ මෙම වළගම්බා නරපතිඳුන් බවට ජන විශ්වාසයක් තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුප්‍රකට බම්බාව රජමහා විහාරය ආශ්‍රිත ගල් ලෙන සොළී ආක්‍රමණ හේතුවෙන් කලක් වළගම්බා රජු සැඟවී සිටි ආරක්ෂිත නවාතැනක් බව පැවසෙයි.
රජතුමා එහි නතර වී සිටි කාලය තුළ ලග්ගල ප්‍රදේශවාසීන් තුළ දේශානුරාගී හැඟීම් පුබුදුවමින් ඒ ආශ්‍රිත කිරි ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මුල්කොට සුවිසල් කුඹුරු යායන් අස්වැද්දූ බවක් ද ජනශ්‍රැතයෙහි දැක්වෙයි. මෙම ප්‍රදේශය කුවේණියගේ උපන් ගම ලෙස ද හැඳින්වෙන අතර එහි බොහෝ ග්‍රාම සහ ස්ථාන නාම හා කුවේණිය අතර ඍජු සම්බන්ධයක් තිබේ.
එනිසා අතීතයේ සිට එහි පැවැති ජන විශ්වාස මුල් කොට එහි ඇති බම්බාව රජ මහා විහාරයේ දේවතා බණ්ඩාර සහ ගලේ බණ්ඩාර යන දෙවිවරුන් උදෙසා ද දේවාල ඉදිකොට ඇත. ඒ අනුව මෙම බම්බා දෙවියන් එම කුවේණියගේ ඥාතියකු බවට ද විශ්වාසයක් පවතී. එහෙත්, මෙම බම්බා යන දේව නාමය සහ එම දෙවිඳුන් උදෙසා සිදු කෙරෙන යාතුකර්ම ආදිය සලකා බලන විට මෙම දේවත්වය හා වළගම්බා රජු අතර පවත්නා සම්බන්ධතාව වඩාත් ප්‍රබල බව පෙනී යයි.
මාතලේ දිසා සංස්කෘතික මණ්ඩලය විසින් 1984 වසරේ සංස්කරණය කළ ‘ඓතිහාසික මාතලේ’ නම් ලිපි කළඹෙහි ලග්ගල පුරණය නමින් පළ වුණු ලිපියට අනුව මෙම බම්බා දේව ඇදහීම වළගම්බා රජු අප්‍රකටව එහි විසූ කාලයේ එතුමන් වෙතින් ලත් සමාජ සංස්කෘතික පුනර්ජීවය උදෙසා එම ගැමියන් වෙතින් එතුමන්ට හිමි වූ පුද සත්කාරයක් බව අනුමාන කළ හැකි ය.
එම සමයේ වත්මන් බම්බාව රජමහා විහාරය ආශ්‍රිත ගල්ලෙන් වාස භවනය කර ගත් එතුමා එවක එම ප්‍රදේශයේ ජීවත් වූ වැදි නායකයකු වෙතින් දඹුළු රජ මහා විහාර ගල් ලෙන, මාතලේ අළු විහාර ගල් ලෙන ආදී ස්ථාන හඳුනාගෙන තමන් නැවත අනුරාධපුර රජකමට පත් වූ පසු ඒ ගල්ලෙන්වල බෞද්ධ සිද්ධස්ථාන පිහිටුවා ශාසනික පුනර්ජීවනයක් ඇති කරවන බවට එම ප්‍රදේශවාසීන්ට පොරොන්දු වූ බව ද පැවසෙයි. එමෙන්ම එතුමන් එවක වන අලින් ගහනය සිටි විල්ගමුව වනයෙන් වැදි නායකයන් ලවා අලි ඇතුන් අල්ලාගෙන යුද්ධය සඳහා පුහුණු කරවූ බව ද ඒ මුල්කොට තැනුණු ග්‍රාම නාම තවමත් ඒ ප්‍රදේශවල ශේෂව ඇතැයි ද පැරණි ගැමියෝ කියති. නමුත් ඒවා සම්බන්ධ වැඩිදුර විමර්ශනය කිරීමට අපට අවකාශ නොලැබිණි.
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික කලාපයක් වන ලග්ගල ඇලහැර ආශ්‍රිත පාරම්පරික ගොවීන් තම පළමු වී අස්වැන්නෙන් කොටසක් මෙම බම්බා දෙවියන් උදෙසා පිදූ බව ද ලග්ගල පුරාණයේ සඳහන් වෙයි නමුදු පසුකාලීන සමාජ, ආර්ථික, සංස්කෘතික විපරිනාමයන් මත අද වන විට එම ප්‍රදේශ වලින් පවා මෙම බම්බා දෙවියන් පිළිබඳ විශ්වාසය කෙමෙන් අවප්‍රමාණ වෙමින් තිබේ.
පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ මට දැනගත හැකි වූයේ අද වන විට එම ප්‍රදේශවල ජනතාව තුළින් ද සාම්ප්‍රදායික ජන විශ්වාස දුරස් වෙමින් පැවතීම විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වූවන්ගෙන් එම ප්‍රදේශ ජනාවාස වීම ආදී බහු විධ හේතූන් මත ඔවුන් කෙරෙන් මෙම බම්බා දේව විශ්වාසය ගිලිහී ගොස් ඇති බවකි.
අද වන විට වළගම්බා රජු සම්බන්ධ ප්‍රසිද්ධියෙන් සුළු කොටසක්වත් එතුමන්ගේ නමින් දේවත්වයට පත් බම්බා දෙවියන්ට හිමිව නැත්තේ එබැවිනි.
තිලක් සේනාසිංහ