සර්ව පාක්ෂික සමුළුවේ දී අතට එන “කැච් එක” සමහර පක්ෂ නායකයන් “මිස් කර ගන්නේ” ඇයි?

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය කොට තිබේ.. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයන්ට 23 දා ජනාධිපති ලේකම්කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා පත් ද යවා තිබේ.

මේ වන විට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආදී විපක්ෂය නියෝජනය කරන පක්ෂ මෙයට සහභාගී නොවීමටත් ද ආණ්ඩුව නියෝජනය කරන විමල්, වාසු, උදය යන පක්ෂ 11 ක නියෝජිතයන්ගෙන් නායකයන් දෙපලක් පමණක් සහභාගී කරවීමටත් තීරණය කර තිබේ. ඊට අමතරව ලංකා කම්කරු කොංග්‍රසය ද මෙයට සහභාගී නොවන බව දැනුම් දී ඇත.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහි නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ තමන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ය. එම ඉල්ලීම ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ද ඔහු කියා සිටියේය.

එහෙත් ඔහුත් සිටින ආණ්ඩු පක්ෂයේ පක්ෂ 11 කණ්ඩායමේ ප්‍රධානීන් වන විමල්, වාසු, උදය මෙයට සහභාගී වන්නේ නැත. රටේ සැබැවින්ම දරුණු ආර්ථික අර්බුදයක් පවතියි. එය ජනතාව තුළ පීඩනයක් ඇතිවීමට හේතුවූයේ ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිම්වල දින ගණන් ඔවුනට රැඳී සිටීමට සිදුවූ නිසා ය. ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවගේ පීඩනය කොතෙක් ද යත් මේ වන විට පෝලිම්වල සිටි සිව් දෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් සියළු දෙනාම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ය. තමන්ගේ නිවසේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඔවුන් පෝලිමට යන්නට ඇත්තේ දරුවන්ට රැකියා සඳහා යාමට ඉඩ සැලසීම වෙනුවෙන් විය යුතු ය. තමන් නිවසේ නිදහසේ සිටින නිසා දරුවන්ගේ රැකියා පාඩු කර ගත යුතු නැතැයි ඔවුන් සිතුවා සිය හැකි ය. අවසානයේ ඔවුනට උරුම වූයේ පෝලිමේ සිටියදී මැරී වැටීමට ය.

පෝලිමේ සිටියදී පළමු මරණය වාර්තා වූයේ මහනුවර ප්‍රදේශයේ ඉන්ධන හලක් අසලදී ය. භූමිතෙල් ගැනීම වෙනුවෙන් පෝලීමේ රැ ඳී සිටි 76 හැවිරිදි පුද්ගලයෙකු එකවර බිම ඇද වැටුණ ද පෝලිමේ සිටි කිසිවෙකුත් විනාඩි ගණනාවක් යනතුරුත් ඔහු සිටි ස්ථානයට පැමිණ නැත. මෙය ඉතාම ඛේදනීය තත්ත්වයකි. එලෙස වැඩිහිටියන් කිහිප දෙනෙකුම මෙලෙස පෝලිම්වල සිටියදී මැරී ඇද වැටුණේ ඉන්ධන හිඟය හේතුවෙනි.

නිට්ටඹුවේ දී ජනතා පීඩනය පුපුරා ගියේ එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමෙනි. ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රී රෝද රථ රියදුරෙකු හා යතුරුපැදිකරුවෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් අවසන් වූයේ ත්‍රීවිල් රියදුරා යතුරුපැදි කරුට පිහියෙන් ඇන ඝාතනය කරමිනි.

ගෑස් පෝලිමේ සිටි පුද්ගලයන්ට ගෑස් නැති වීම නිසා රාජ්‍ය ඇමති කනක හේරත් ගමන් කළ ජීප් රථයට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයෙකු සිලින්ඩරයකින් පහර දී ඇති බවට මාධ්‍ය වාර්තා කළේය. එහි සත්‍ය අසත්‍යතාවය අපි නොදනිමු. එහෙත් මේ පිටතට පැමිණෙන්නේ ජනතාවගේ පීඩනයය.

ජනතාව දැඩී පිඩනයකට කොටු කළ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ නිතර ආණ්ඩුව විවේචනය කළේ අරම කළ යුතුව තිබුණා මෙහෙම කළ යුතුව තිබුණා කියමිනි.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මීට මාස කිහිපයකට උඩදී කීයේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කැඳවූ සාකච්ඡාවකට යා යුතු බව ය. එහෙත් දැන් ඔහු කියන්නේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් ප්‍රයෝජනයක් නැති බව ය. තමන් සමුළුවක් කැඳවීමට කී අවස්ථාවේ සමුළුවක් නොකැදවා දැන් කැදවීමෙන් ඵලක් නැතැයි ඔහු කියයි.

නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සමගි ජන බලවේගය පැවැත්වූ විරෝධතා රැළියේදි සජිත් ප්‍රේමදාස කීවේ මැද පෙරදිග රටවල් තුනක් ඔහුට වසර දෙකකින් ගෙවීමේ පදනම යටතේ ඉන්ධන ලබාදීමට පොරොන්දු වී ඇති බවකි. ඔහු මේ අවස්ථාවේදී මැදිහත් වී එය ඉටු කර නොදෙන්නේ මන්ද? යන පැනය අපට තිබේ. විපක්ෂයේ සිටියදී පවා තමන් ජනතාවට සේවය කරන බව කියනවා නම් ඔහුට මැදිහත් වී ජනතාව පෝලිමේ තිබෙන එක වළක්වා තමන්ගේ ප්‍රායෝගිකත්වය ඔප්පු කර පෙන්විය හැකිය.

එහෙත් ඔහු එසේ කරන්නේ නැත. මෙයින් පෙන්වන්නේ ඔහු සිය බලකාමය වෙනුවෙන් මෙලෙස කටයුතු කරන බවකි. විපක්ෂයේ සිටියදී ඔහු මෙය කළහොත් ආණ්ඩුව ගත් පසු ඉතා හොඳින් රට සංවර්ධනය කරනු ඇතැයි විශ්වාස කළ හැකිද?. එහෙත්, සජිත් ප්‍රේමදාස මේ ගැන කතා කිරීමට සර්ව පාක්ෂික සමුළුවට යාමට සුදානම් නැත.

ජාතික ජන බලවේගය ද ඔවුන් සර්ව පාක්ෂික සමුළුවට නොයන බව කියයි. මෙය පුස්සක් බව ඔවුන්ගේ අදහස ය. එය පුස්සක් ද නැතිද යන්න තීරණය කළ යුතු වන්නේ ඊට සහභාගී වීමෙන් පසුව ය. ඔවුන්ට මෙම සමුළුවට සහභාගී වී පිටතට පැමිණ මාධ්‍යයට එය ජනතාවට වැඩක් නැති පුස්සක් බව කීවා නම් ජනතාව විශ්වාස කරනු ඇත.මෙම ආර්ථික අර්බුදයට කෙටි කාලීන ක්ෂණික විසඳුම් නොමැති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසේකර කී අකතාව ද සුළු කොට තැකිය නොහැක.

නමුත් ජනතාව මේ මොහොතේ අපේක්ෂා කරන්නේ කෙටි කාලීන විසදුම්ය. ඊළග ආණ්ඩුවෙන් පවා ජනතාව ක්ෂණික විසදුම් බලාපොරොත්තු වන ප්‍රශ්න කිහිපයක් තිබේ. එනම් ගෑස්, ඉන්ධන හා කිරිපිටි හිඟයකින් තොරව ලබා ගැනීමට ය. එසේම මිලෙහි අඩුවක් ද ජනතාව බලාපොරොත්තු වෙ‍යෛ. ඉතින් සර්ව පාක්ෂික සමුළුවට යන කණ්ඩායම් මෙයට විසඳුම් ආණ්ඩුවට ඉදිරිපත් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙ‍යෛ. මේ කියන්නේ මෙම පක්ෂවල පාක්ෂිකයන් ගැන නොව බහුතරයක් මහජනතාව ගැන ය. දේශපාලන බලය ලබා ගැනීමට නම් මෙම පක්ෂ දිනාගත යුත් වන්නේ ද මේ කණ්ඩායම් ය.

එහෙත්, ඔවුන් සර්ව පාක්ෂික සමුළුවට නොයෑම තුළ ආණ්ඩුවට චෝදනා කළ හැක්කේ ඔවුන් කුමක් පිටත දී කීවත් ඔවුන්ට රටේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් නොමැති බව ය. විපක්ෂයට තිබුණේ මේ සමුළුවට සහභාගී වී එහි ඇති නුගුණ ජනතාවට කීමට ය. හොද්දක රස නොබලා එය නීරස යැයි කියනවාට වඩා හොද්දෙන් ටිකක් දිව ගා එහි රස ගුණ කීම වඩාත් හොඳ නොවන්නේද?මේ තත්වය තුළ “ඔන්න අපි මේ මේ විසඳුම් ආණ්ඩුවට ඉදිරිපත් කළා ඒත් ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැහැ” යනුවෙන් ජනතාව කීමේ අනගි අවස්ථාව නමැති අතට එන “කැච් එක” සර්ව පාක්ෂික සමුළුවට නොයන සියළු පක්ෂ නායකයන් උවමනාවෙන්ම “මිස්” කරගෙන තිබේ.

ලසන්ත වීරකුලසූරිය

 

එතෙර - මෙතෙර