හදිසි හෘදයාබාධයකට ලක් වූවකු මිය යන්නට කොපමණ වේලාවක් ගත වේද?

ඉන්ධන පෝලිම් වල සිටිය දී බිම ඇද වැටී මරණයට පත් වූ වියපත් පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු ජන මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.එදිනෙදා ක්‍රියාකාරම් වල යෙදෙමින් සිටින අතරේ යමකු ක්ෂණික මරණයකට පත් වීම කුමන ලෙසකින් බැලුව ද සුළු කොට තැකිය හැකි කරුණක් නොවේ.

ඊට හේතුව තමන්ටත් එවැනි ඛේදනීය ඉරණමක් හිමි විය හැකිද? යන බිය මුසු සැකය ඉතා ස්වභාවික ලෙසම ඕනෑම කෙනකුගේ සිත තුළින් මතුවිය හැකි බැවිනි. එබැවින් එවන් මරණ සම්බන්ධයෙන් අප ගේ වෛද්‍ය සිසු සිසුවියන්, දන්නා හඳුනන්නවුන් සේම රෝගීන් පවා අපගෙන් විමසා සිටින අවස්ථා තිබේ.

මෙහිදී ඔවුන් බොහෝ දෙනකු තුළ ඇති වන සුලබම ගැටළුව එසේ ක්ෂණික හෘදයාබාධයකට ලක් වන කෙනකු මැරී වැටෙනවා ද? නැතහොත් වැටී මැරෙනවාද? යන්න ය. මෙම ගැටළුව සමාජයේ බොහෝ දෙනකු තුළ සේම ජන මාධ්‍ය කරුවන් තුළ පවා පවතින බව වැටහී යනුයේ එවන් එකම මරණයක් සම්බන්ධයෙන් ඉහත සඳහන් දෙයාකාරයේම ප්‍රවෘත්ති පළවන බැවිනි.

එලෙස හදිසි හෘදයාබාධයකට ලක් වී බිම වැටුණු පුද්ගලයකු රෝහල් ගත කරන විට ද මිය ගොස් ඇති බව එක් මාධ්‍ය වාර්තාවක සඳහන් වන විට එම මරණය සම්බන්ධ තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් වනුයේ ඒ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවකි.

හදිසි හෘදයාබාධයකට ලක්වූ පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් මෙලෙස එකම ප්‍රවෘත්තිය ආකාර දෙකකින් ඉදිරිපත් වීමට හේතුව කුමක්ද? එසේ හදිසි හෘදයාබාධයකට ලක් වූ පුද්ගලයා මරණයට පත් වූයේ කවර මොහොතක දැයි නිශ්චිතවම කීමට එම රෝගියා හෝ ඔහුගේ මෘත දේහය භාර ගන්නා වෛද්‍යවරුන්ට පවා නිශ්චිතව කීමට නොහැකි වීමය.නමුදු යමකු මිය ගොස් පැයකට වැඩි වේලාවක් ගත වී ඇත්නම් ඒ බව වටහා ගැනීමට එම මෘත දේහය භාර ගන්නා වෛද්‍ය වරුන්ට පුළුවන.

නමුදු හදිසි හෘදයාබාධයකට ලක් ව සිහිසුන් තත්වයේ පසුවන අයකු රෝහලකට ඇතුළු කළ සැනින් වෛද්‍යවරු වෙද නලා මගින් ඔහුගේ හෘද ස්පන්දනය පරීක්ෂා කරති. ඒ සමඟම නාඩි වැටීම ද පරීක්‍ෂා කරති.

එහෙත්, ඒ වන විට ද රෝගියා ගේ හෘද ස්පන්දනය හෝ නාඬි වැටීම සිදු නොවන බවක් හැඟී ගිය ද ඔහු මරණයට පත්වූ බව තහවුරු නොකරන වෛද්‍යවරු හෘද සම්භාහන සහ විද්‍යුත් කම්පන මගින් එම රෝගියා ගේ අක්‍රිය වූ හෝ ක්‍රියාකාරීත්වය අතිශය අඩාල මට්ටමකට පත් ව ඇති හදවත යළි ක්‍රියාත්මක කිරීමට වහ වහා ක්‍රියා කරති. හදිසි හෘදයාබාධ වැළදුණු රෝගීන් සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රථමාධාරයක් වශයෙන් සැළකෙන එය ලොව පුරා හෙද හෙදියන් ආදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ද පුරුදු කරන අතරේ වෛද්‍ය ප්‍රතිකාර වශයෙන් වෛද්‍ය වරු ද භාවිතා කරති.

එහෙත්, එම හෘද සම්භාහන සහ විද්‍යුත් කම්පන මගින් පවා එම රෝගියා ගේ හදවත යළි ක්‍රියාත්මක නොවීම මත රෝගියා ගේ රුධිර පීඩන මට්ටම පරීක්ෂා කිරීම, ඇසේ කළු ඉංගිරියාවට විදුලි ආලෝකයක් යොමු කොට එහි සංකෝචනය පරීක්ෂා කිරීම ආදිය සිදු කෙරේ. එවිට රෝගියා ගේ රුධිර පීඩනය බින්දුවට බැස තිබේ නම් හා ඇසේ කළු ඉංගිරියාව එම විදුලි ආලෝකයට ප්‍රතිචාර දැක්වීම් වශයෙන් සංකෝචනය නොවී විශාල ලෙස නිශ්චලව තිබේ නම් ඉන් මූලිකව හැඟවෙනුයේ ඒ රෝගියා ගේ හදවත සහ මොළය අක්‍රිය වී ඇති බව ය.

හදවත සහ මොළය සම්බන්ධ එම අක්‍රියතාව රෝගියා මරණයට පත් වූ බව පැවසෙන ස්ථිරසාර නිමිත්තක් වුව ද ඒ පරීක්ෂාව කිරීමෙන් පසු ද එම රෝගියා ගේ සිරුර පැය දෙකක පමණ කාලයක් ඒ ආකාරයෙන්ම තිබෙන්නට හැරීම පිළිගත් සායනික ක්‍රමවේදයයි. ඒ ඕනෑම කෙනකු මියගොස් පැය දෙකක් තුළ ශරීරයේ වෙනස් වන භෞතික වෙනස්කම් මත ඒ තැනැත්තා මියගොස් ඇති බවත් ඒ මළ සිරුරක් බවත් සාමාන්‍ය අයකුට වුව වටහා ගත හැකි බැවිනි. සිරුරේ දේහ උෂ්ණත්ව පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයට සමපාත වීම සිරුරේ මාංශපේශීන් වල ලිහිල් බව දුරු වී ඒවා ඝන බවක් පළ කිරීම ආදී වන ලක්ෂණ කිහිපයක් මෘත ලක්ෂණ (Rigor mortis) වශයෙන් හඳුන්වනු ලැබේ.

හදිසි හෘදයාබාධයන්ට නතුව ඇද වැටෙන සමහරුන් ගේ දෙනෙත් වල කළු ඉංගිරියාවන් කරකැවී යාම, මුත්‍රා පහවීම ආදියත් සමඟ හිස සහ අත් පා අප්‍රාණිකව කඩා වැටීම ඒ තැනැත්තා මිය ගිය අවස්ථාව සේ බොහෝ දෙනෙක් සළකති. ඊට හේතුව මෙය යමකු මිය යන අවස්ථාවේ දැකිය හැකි මූලිකම ලක්ෂණයක් වන ග්‍රිථිලතාව(Flaccidity)සේ බොහෝ දෙනකු වටහා ගැනීම ය.

නමුදු සාමාන්‍ය සිහිසුන් වීමක දී ද මෙම ලක්ෂණ එලෙසින්ම හට ගනී. එමෙන්ම යමකු හදිසි හෘදයාබාධයකට ලක්වීමත් සමඟ එලෙස දෙනෙත් වල කළු ඉංගිරියාවන් කරකැවී යාම හෙවත් අක්ෂි චලන වේග ( REM Rapid eye movement) තත්වයන් හට ගැනීම සහ මුත්‍රා පහවීම වැනි ලක්ෂණ මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම හෙවත් Vegetative state නම් තත්වයට පත් වීම පිළිබඳ ලක්ෂණයක් වන අතර එය ඒ තැනැත්තා ගේ මරණ අවස්ථාව වීමට සේම නොවීමට ද ඉඩ තිබේ.

රෝහල් වල දැඩි සත්කාර ඒකක වල වෙන්ටිලේටර් මගින් යැපෙන රෝගීන් අතරේ ද විවිධ හේතූන් මත මොළයේ ක්‍රියාකාරීත්වය Vegetative state මට්ටම දක්වා පසු බැස ඇති රෝගීන් සිටින අතර එවැනි රෝගීන් මොළයේ ක්‍රියාකාරීත්වය යළි ප්‍රකෘති තත්වයට පත්වීමේ සම්භාවිතාව ඉතා සීමිත බව ද කිව යුතු ය.

යම් යම් පුද්ගලයන් මේ සියලු තත්වයන් යටතේ හදිසි හෘදයාබාධයකට ලක් වනු ලදුව හදවතේ විද්යුත් සහ ජෛවමය කියාකාරීත්වය ඉතා සුළු මට්ටමක තිබී යළි එය ප්‍රකෘතිමත් වූ සිදුවීම් ද ඉතා දුලබ ලෙස අසන්නට ලැබේ.හදවතේ විද්යුත් සහ ජෛවමය කියාකාරීත්වය අවම මට්ටමක පවතින අවස්ථාව හැඳින්වෙනුයේ ප්‍රාණය පිළිබඳ අවිනිශ්චිතතාව (Suspended animation) යනුවෙනි.

එම සිදුවීමට ලක්වන පුද්ගලයන් ගේ මොළය බාහිර සංවේදීතාවයන් ගෙන් අත්මිදීම මුල් කොට මොළයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තුළින් මතුවන මායාකාරී සිතුවිලි පසුව ඔවුන් ගේ මතකයන්ට ගොනුවන අවස්ථා ද තිබේ. තමන් ගේ මනැස ශරීරයෙන් වෙන් වී ඉහළ අහසේ පාවීම, තමන් තම ශරීරයෙන් වෙන් වී විශාල ආලෝකයක් වෙත යොමු වීම වැනි එම “මායාකාරී සිහින” මුල් කොට එය ඒ තැනැත්තා ගේ ආත්මය සිරුරින් වෙන් වන අවස්ථාව හෙවත් “මනෝ කාය”සිරුරින් වෙන්වීමක් ලෙස උපකල්පනය කිරීමට ද සමහරෙක් පෙළඹී සිටිති.

එමෙන්ම හෘදය වස්තුවෙන් මොළය වෙත රුධිරය සහ අම්ලකර සැපයීම අඩාල වීම මත පුද්ගලයකු හමුවේ මැවෙන එම මායාකාරී සිහින වුව මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වීමත් සමඟ යම් යම් පුද්ගලයන් වෙතින් ඉතා කලාතුරකින් අත්දකින්නට ලැබෙන ඒවා නිසා ඒවා “මරණාසන්න අත්දැකීම්” යන ජනප්‍රිය නමින් හඳුන්වනු ලැබේ.

මෙම සියලු කරුණු සම්පිණ්ඩනය කොට අවසන් වශයෙන් එළැඹිය හැකි නිගමනය වනුයේ හදිසි හෘදයාබාධයකට ලක්වන සෑම පුද්ගලයකුම මිය නොයන්නාක් සේම එසේ මිය යන සෑම පුද්ගලයකුම කිසියම් නිශ්චිත වේලාවක් මුල් කොට මරණයට පත් නොවන බව ය.

හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

 

 

එතෙර - මෙතෙර