බැතිමතුන් ගේ ආහාර මාර්ග වල දුවවන කඳ සුරිඳුන් ගේ වාහනය

බැතිමතුන් ගේ ආහාර මාර්ග වල දුවවන කඳ සුරිඳුන් ගේ වාහනය ‘බල්ලන් මරා හෝ සල්ලි හෙවීම’ යන පිරුළට අනුව ‘බල්ලන් මරා’ යනුවෙන් අදහස් වනුයේ ඕනෑම අධම වැඩක් කිරීම ය. එහෙත්, මීට වසර හත අටක පමණ සිට දඩමස් මුවාවෙන් බලු මස් විකිණීමේ ජාවාරමක් පිළිබඳ දිගට හරහට කරුණු වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිද්ධස්ථානයක් වන කතරගමිනි. කතරගම පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙන දඩමස් නමින් බලු මස් විකිණීමේ ජාවාරම පිළිබඳ ඉතා පිළිකුල් සහගත පුවත්, තොරතුරු, ලිපි, විශේෂාංග රැසක් මේ වන විට පුවත්පත් වල පළවී තිබේ.

එමෙන්ම වත්මන් කොරෝනා වසංගතය කෙමෙන් අඩු වෙමින් පැවතීම මත යළි වන්දනාකරුවන් ගෙන් පිරී පවතින කතරගම පුදබිම ආශ්‍රිතව තවත් එබඳුම මස් ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තිබේ. ඒ වන සත්ව සහ වෘක්ෂ ලතා පනත යටතේ ආරක්ෂිත වන ජීවියකු ලෙස නම් කොට ඇති මොණරුන් මරා විවිධ මස් වශයෙන් වන්දනා කරුවන්ට විකිණීම ය. පසුගිය කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊනියා සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදුකරන ලද මහා වන සංහාරයන් මුල් කොට අතීතයේ එම වන ගැබ තුළ ආරක්ෂිතව දිවි ගෙවූ මොනරුන්ට තම ස්වාභාවික වාස භූමි අහිමි වීම හේතුවෙන් ගම් වැදීමට සිදු විය.

හම්බන්තොට පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ග්‍රාමීය ජනාවාස ආශ්‍රිතව මොනර ගහනය වැඩිවීම මත ඒ ඒ ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු වලට බරපතල හානි පැමිනුණි. බොහෝ වන සතුන් ගෙන් කෘෂිකාර්මික කටයුතුවල විවිධ අවස්ථා මුල් කොට හානි පැමිණුන ද මොනරා ගෙන් බීජ ඉසීමේ එම බීජ පැළ වීමේ සිට සියළු අවස්ථා වල දී එක සේ හානි සිදුවන බවට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගොවීන් ගෙන් චෝදනා එල්ල විය.

නමුදු ඒ තත්වය යටතේ වුව මොනරුන් මරා දැමීමක් පිළිබඳව බරපල අයුරින් වාර්තා වී නොතිබිණ. එවන් තත්වයක් යටතේ වර්තමානයේ සිදු කෙරෙන මොනරුන් මරා මස් විකිණීමේ ජාවාරම කතරගම පුද බිම ඇසුරින් ම වාර්තා වීම විස්මයට තුඩු දෙන්නකි. ඊට හේතුව කතරගම දෙවියන් ගේ වාහනය ලෙස සැළකෙන මොනරා කෙරෙහි කලින් පැවැති ගරුත්වයේ සහ ප්‍රියමනාප බවේ අලු දුහුවිලි වත් මේ වන විට ඒ ප්‍රදේශ වල ජනතාව ගේ සිත් සතන් තුළ නොමැති වීමය.

පසුගිය කාලය තුළ අවිචාරශීලී ලෙස රජය දියත් කළ කාබනික පොහොර වැඩ සටහන නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව කබලෙන් ලිපට වැටී සිටිති.එතෙක්, පලිබෝධ හානි, වන සත්ව හානි, ස්වභාවික විපත් ආදී දහසකුත් බාධාවන් මැද ගෙට ගත් කෘෂි අස්වැන්න සඳහා ඉවහල් වූ පොහොර සැපයීමේ යාන්ත්‍රණය කාබනික පොහොර කෙමනක් අටවා රජය විසින් මුලුමනින් බිඳ දැමීම එම කෘෂි කාර්මික ප්‍රදේශවල ජනයා සම්බන්ධයෙන් විමසන විට මන්ද පෝෂණයෙන් පෙළෙන්නවුන් ගෙන් ලේ ඇද ගැනීමට සමාන ය.

එවන් තත්වයන් යටතේ තමන් ගේත් තම දරු පවුල්වලත් කුස පුරවා ගැනීමට මඟක් නොමැතිව අසරණ වූ ගැමි ජනතාව කෙරෙන් තමන් එතෙක්, රැක ගත් සාරධර්ම සුනු විසුණු ව ගියේ ඉතා ස්වභාවික ලෙසිනි. ඒ සඳහා ඔවුන් ගෙන් සමහරුන් යොදා ගත් උපාය මාර්ගය වූයේ දැනට ගම්වැදී සිටින මොනරුන් මරා කතරගම ට පැමිණෙන වන්දනා කරුවන් හට මස් වශයෙන් අලෙවි කිරීම ය.

කතරගම පුදබිම ආශ්‍රිතව සිදුවන මෙම මොනර සංහාරය ඉතා රහසිගත මට්ටමින් සිදු වනුයේ යම් හෙයකින් එය නීතිය හමුවට පත් වුවහොත් වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත අනුව එය දඬුවම් ලැබිය යුතු වරදක් බැවිනි.

කතරගම මහා බලගතු දෙවි කෙනෙකුන් සිටින බව ජන සම්මතය වුව මෙවන් පාපකාරී ක්‍රියාවන් සමඟ කතරගම දේවාලය සම්බන්ධ නොමැති යැයි කීමට කිසිවකුටත් නොපුළුවන. පසුගිය කාලයේ කතරගම ශුද්ධ භූමිය තුළ පිහිටි කඩවර දේවාලය තුළ අධිශීතකරණයක තිබී ගෝන මස් කිලෝ විස්සක් වන ජීවී නිලධාරීන් ගේ අත් අඩංගුවට පත් විය.එය අත් අඩංගුවට ගන්නා මොහොතේ ඒ දේවාලයේ කපුවා අධික ලෙස බීමත්ව සිටි බව ද වාර්තා විය.

පසුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි කපුවා තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මෙනෙවිය වෙතට පත් කරනු ලදුව වරද පිළිගත් බැවින් ඔහු රුපියල් විසි දහසක දඩයකට යටත් කෙරිණ.එහෙත්,පසුව තමන් හට එල්ල වූ මෙම අපකීර්තිය යටපත් කර ගැනීමට එම කපු පාර්ශවය අමුතුම කතාවක් ගොතා සමාජ ගත කළේය.

එනම් කඩවර දෙවියන් යක්ෂ සම්භවයකින් යුතු දෙවියකු බැවින් කඩවර දේවාලයට දඩමස් අකැප නොවන බවය.ඔවුන්ගේ ඒ තර්කය අනුව කතරගම දෙවියන්ට වල්ලි අම්මා නම් අනියම් බිරිඳක සිටින බැවින් එම දේවාලයේ කපුවන්ට ද අනියම් බිරියන් දේවාලය තුළ රඳවා ගැනීමට අවසර දිය යුතු ය.

මේ අතර ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඉන්දියාවේ මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කා ගේ බිරිඳ විසින් තම පුතුගේ අපල දුරුවීම පිණිස යැයි කියමින් 2019 ඇසල උත්සව සමයේ කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක රන් තැටිය අතුරුදන් වී ඇති බවට පොලීසිය වෙත ලැබුණු තොරතුරකින් පසුව ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

පසුව එම රන් තැටිය බව පවසමින් දේවාලයේ කපුවකුගේ නිවසක තිබූ යම් භාණ්ඩයක් පිටස්තර පුද්ගලයකු විසින් දේවාල භාරකාරත්වය වෙත භාර දුන් අතර එය නැති වූ රන් තැටියට ද යන්න පිළිබඳව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

මෙසේ දේවාලයට පූජා කළ රන් තැටිය කපු පාර්ශ්වයක නිවසක් වෙත ගියේ සෘද්ධි බලයෙන් හෝ දේව හාස්කමකින් ලෙස නොවන බවත් එය කතරගම පුද බිමේ අභ්‍යන්තරය පිළිබිඹු කෙරෙන සිදුවීම් වලින් අංශු මාත්‍රයක් බවත් මෙම සිදුවීම මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කතරගම කපු පාර්ශවයේම අයෙක් කීය.

මෙවන් පසුබිමක් යටතේ අප රටේ සෙසු පූජනීය නගරවලට සාපේක්‍ෂව මහ මඟ සැරිසරන සුනඛයකු ඉතා කලාතුරකින් පමණක් දැක ගත හැකි මට්ටම දක්වා ම උන් මරා දඩමස් වශයෙන් වන්දනා කරුවන්ට කැවූ පිරිස් විසින් කතරගම දෙවියන් ගේ වාහනය බැතිමතුන් ගේ ආහාර මාර්ගවල ධාවනය කරවන තත්වයට පත් කරවීම සම්බන්ධයෙන් අප පුදුම විය යුතු නැත.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් එම නීති විරෝධී වංචනික ක්‍රියාවල යෙදෙන්නවුන් කෙරෙහි පමණක් අප ඇගිල්ල දිගු කළ යුතු නැත. ඊට හේතුව රටේ සාමාන්‍ය ජනතාට සෘජු ලෙස ස්පර්ශ වන තිරසාර සංවර්ධන සංවර්ධන උපාය මාර්ග වෙනුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලවල්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා සහ ක්‍රීඩාංගණ වෙනුවෙන් රටේ ජනතාව උගසට තබා ලබා ගත් විදෙස් ණය අති විශාල ප්‍රමාණයක් වැය කොට එම සංවර්ධන ප්‍රතිලාභ තම පවුල් වෙත ළං කරගත් හා හා ගොවීන්ට තම හාමත දුරු කොට දිවි පෙවෙත සරිකර ගැනීමට උවමනා පොහොර ටික ලබා නොදීමෙන් ඔවුන් ගේ මිනිසත් කම් සෝදා පාළු කළ වෙනම වග උත්තර කරුවන් පිරිසක් මේ වන විටත් ජනතා අධිකරණය හමුවේ පෙළ ගැසෙමින් හිඳින බැවිනි.

දමයන්ති ගමගේ

 

එතෙර - මෙතෙර