රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින පිරිස් මේ වන විටත් තැන් තැන්වල ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වමින් සිටිති. එහි උච්ච තත්ත්වය ඊයේ (31) රාත්‍රියේ මිරිහාන ජනාධිපති නිවස අසදී දොරගලා ගියේ ය. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පෝස්ටුවකින් කියැවුණේ විරෝධතාවක් සඳහා එදින සවස ජුබිලි කණුව මංසන්දියට පැමිණෙන ලෙස ය.
එය එතරම් සංසරණය නොවූ පෝස්ටුවක් වූ බැවින් ඊයේ සවස ලොකු පිරිසක් එහි නොසිටියහ. 100 ක පමණ පිරිසක් පෝස්ටර් අතැ`තිව පැමිණ සිටි අතර එය ඉතා සාමකාමී එකක් විය. අත දරුවෙකු කරපින්නා ගත් කාන්තාවක් ද ඒ අතර වූවා ය. එම නිහඩ විරෝධතාවය ගැන සමාජ මාධ්‍යයේ පළවූ අතර අත දරුවා වඩාගත් කාන්තාවගේ ඡයාරූපයට ලොකු වටිනාකමක් ලැබී තිබුණේ බොහෝ දෙනෙක් එය අගය කළ බැවිනි.
නිහඩ විරෝධතාවයේ ඡයාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙද්දී තවත් පිරිසක් එයට සහාය දීමට පැමිණෙන ලෙස ඉල්ලා පෝස්ට් පළකරන්නට වූහ. “මිරිහානට පලයල්ලා” යනුවෙන් එම පෝස්ට් හුවමාරු වෙද්දී නන් දෙසින් පිරිස් එදෙසට ඇදී ආ අතර විරෝධතාවය මිරිහාන ජනාධිපතිචරයාගේ පෞද්ගලික නිවසට ඇතුළුවන මාර්ගය දක්වා පැමිණ තිබුණේ කාටත් නොදැනුවත් ය.
පිරිස එම මාර්ගයට ඇතුළු වන ස්ථානයේ සිට කෑ කෝ ගසමින් විරෝධය පළ කරන්නට වූ අතර ජනාධිපතිවරයාගේ නිවස අසලට යාමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් පිරිස එහි තිබූ බැරියර් සොලවන්නට වූහ. පොලිස් නිලධාරින් දැඩි ආයාසයක් දරමින් මාර්ග බාධක අල්ලා ගෙන සිටිනු දැකිය හැකිවිය. මේ අතර මුලින් විරෝධතාවය සංවිධානය කළ පිරිස ඔවුන් සන්සුන් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.
පසුව එම පිරිස ක්‍රමයෙන් එම ස්ථානයෙන් පසු බැස ගිය අතර වෙනත් පිරිසක් එම විරෝධය අතට ගෙන සිටි බව එහි ගොස් සිටි මාධ්‍යවේදියෙක් අප හා කීවේය. පොලිසිය අනතුරුව කැරළි මර්ධන ඒකක කැදවා තිබූ අතර කදුළු ගෑස් හා වතුර විදින වාහන පැමිණ තිබුණි.
පොලිස් බැරියර් කඩාගෙන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස දෙසට යන්නට පිරිස උත්සාහ කරද්දී කැරළි මර්ධන ඒකක ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගැනීමත් සමඟ එම ස්ථානය සටන් භූමියක් බවට පත්විය. කදුළු ගෑස් ප්‍රහාර එල්ල වීමත් සමඟ කුපිත වූ පිරිස් ගල් මුල් ප්‍රහාර ජල ප්‍රහාරක රථ වෙත එල්ල කරන්නට වූහ.
අවසානයේ එම ස්ථානය එකම කාලගෝට්ටියක් බවට පත්වන්නට ගතවූයේ ස්වල්ප කාලයකි. පොලිස් බස් රථයක් හා ජීප් රථයක් ඉන් පසු කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබුණි. ඊට අමතරව නාවල හන්දිය, දළුගම හන්දිය ආදී ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මර්ග මතට ලී කොට ඇතුලු වෙනත් අබිලි ද්‍රව්‍ය දමා ගිනි තබා තිබුණි. තැනින් තැන උණුසුම් තත්ත්වයන් ඇති වෙද්දී රජය කොළඹ උතුර, කොළඹ දකුණ හා කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම නුගේගොඩ හා කැළණිය පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි පොලිස් ඇදිරි නීතිය පනවන්නට කටයුතු කළේය. එම පොලිස් ඇදිරි නීතිය අද (01) අළුයම 5.00 ඉවත් කෙරුණේ ප්‍රදේශය සාමකාමීවීම මත ය.
අරගලයකින් සටනකින් තොරව ජයග්‍රහණයක් නැතැයි සිතන පිරිසක් රටේ සිටිති. එය සෑම රටකම ජනතාව අතර තිබෙන මතයකි. එය බහුතර මතය වූ තැන අරගල පැන නගින අතර අනෙක් තැන්වල සාමකාමිව එය විසඳා ගනිති. නිදහස් අරගලයේදි අප තෝරාගෙන තිබුණේ ද සාම මාවතය. එහෙත් ඉන්දියාවේ ගාන්ධි සාම මාවත තෝරා ගනිද්දී ඔහුගේම අනුගාමිකයෝ පිරිසක් සටන් මාවත තෝරා ගත්හ. අවසානයේ ගාන්ධි සාම මවතේ යද්දී සුබාෂ් චන්ද්‍රබෝස් වැනි අය සටනට ගියහ. අවසානයේ ඉන්දීය නිදහස් අරගලය සටනින් අවසන් විය.
ලංකාවේ වත්මන් අරගලයේ දී රනිල් වික්‍රමසිංහ සත්‍යග්‍රහය නැමැති සාමකාමී විරෝධතාව තෝරා ගනිද්දි කලක් ඔහුගේ ගෝලයන්ව සිටි සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම අරගලය තෝරාගෙන ඇති බව පැහැදිලි ය. ස්වාධීනව ආරම්භ වූ අරගලය ප්‍රචණ්ඩත්වයෙන් කෙළවර වූයේ එයට පසුව එකතු වූ එම කණ්ඩායම හේතුවෙන් යැයි සමහරු කියති..
අරගලයේ දී විනයක් ආරක්ෂා කර ගැනීමට අපහසු ය. මන්ද අරගලයේ සැබෑ අරමුණ ගන්නවුන් මෙන්ම වෙනත් අරමුණු සහිත කණ්ඩායම් ද පැමිණෙන බැවිනි. ආර්ථික පීඩනය හමුවේ ආවේගශීලිව සිටින ජනතාව වෙනත් මාර්ග වල ගෙන යාමට වෙනත් අරමුණු මත පැමිණෙන පිරිසට පහසු ය. 1971 දී මෙන්ම 88/89 කාල වකවානුවේ සිදුවූවේ ද එයම ය.
අසංවිධානාත්මක අරගලයන්ට නොයන්නැයි දේශපාලන සන්නද්ධ අරගල සම්බන්ධ අත්දැකීම් ඇති ජනතා විමුක්ති පෙරමුණ පවා ඉල්ලා සිටියේ එබැවිනි. 88/89 කාලයේ අවසාන වකවානුවේ අරගලය ඉදිරියට ගියේ අණක් අරමුණක් නැතිව ය. තම තමන්ට හිතු හිතු දේ අරගලයේ යෙදී සිටි පිරිස් කරන්නට වූහ. අරගලයෙන් වාසිගත් පිරිසක් තමන්ගේ එදිරිවාදීන් ඝාතනය කළහ. බැංකු මංකොල්ල කෑහ. ගෙවල් මංකොල්ල කෑහ.
අවසානයේ අරගලය පටන් ගත් කණ්ඩායමේ ගිණුමට මේ සියල්ල බැරවිණි. වත්මන් පාලනය පන්නා දැමිය යුතු ය. එය සත්‍යයකි. එහෙත්, එය කළ යුත්තේ සැලැසුම් සහගතව ය සංවිධානත්මකව ය. අරගලය ජයගත් පසු ඊළඟට රට පවත්වාගෙන යන්නේ කෙසේදැයි අරමුණක් තිබිය යුතු ය. ආණ්ඩුවක් බිඳ වැටුණු පසු ආණ්ඩුවක් ගොඩ නැගිය හැකි ය. එහෙත් රාජ්‍යයක් බිද වැටුණු පසු රාජ්‍යයක් ගොඩ නැගීම ඉතා දුෂ්කර කාර්යයකි.එබැවින් දෙපල ගිනිබත් කිරීමේ මාර්ගය නොව අත දරුවා වඩා ගෙන විරෝධතාවට පැමිණි මව පෙන්වා දුන් ගමන් මාර්ගයම තව දුරටත් පුළුල් කළ යුතුය.
ලසන්ත වීරකුලසූරිය