වර්තමාන අර්බුදය විසඳීම පිණිස සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරයි.ආර්ථික හා ගෝලීය කරුණු කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බව පවසන ජනාධිපති මාධ්‍ය ඒකකය කැබිනට් අමාත්‍ය ධූර භාර ගැනීමට එක්වන ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනය අවධාරණය කොට තිබේ.නමුදු ඒ ඇරයුම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු ඒ බව අවධාරණය කර සිටියේ අද(04) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ කිසිදු ආකාරයක සභාග / අන්තර් කාලීන / කෙටිකාලීන හෝ සර්ව පාක්ෂික යනාදි කිසිදු ආණ්ඩු ව්‍යුහයකට තම පක්ෂය සම්බන්ධ නොවන බවයි.