දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් දැක ගන්න කණ්නාඩියක් ඉදිරිපිටට යන්න

මෙම දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් කවරෙක් ද යන්න පිළිබඳව කාට හෝ සැකයක් මතවාදයක් තිබේ නම් ඔවුන් හඳුනාගත හැකි පහසුම ක්‍රියාමාර්ගය මෙරට සියලු විධායක ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්නාඩියක් ඉදිරිපිටට යෑම පමණක් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.ඒ අද දින ( 07 ) විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.”225 වෙතටයි”යනුවෙන් නම් කොට ඇති එම සම්පූර්ණ නිවේදනය මෙලෙසිනි.

225 වෙතටයි

“ලෝක ප්‍රජාව 13 නපුරු අංකයක් ලෙස සලකයි. එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව 225 නපුරු අංකයක් ලෙස පිළිගන්නා පසුබිමක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මා දකින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුළ ආරක්ෂිතව සිටිමින් අපි, අපගේ සහෝදර පුරවැසියාගේ අනාරක්ෂිතභාවය දෙස නොබැලීමයි. එම නිසා ඔහු හෝ ඇය අත්විඳින අනාරක්ෂිතභාවය හෝ පීඩිතභාවය අපට නොදැනෙයි. “

“30 වසරක යුද්ධය, සුනාමිය සහ කොරෝනා වසංගතය ගෙන ආ අභියෝග තුනටම වඩා බරපතල ආර්ථික අභියෝගයක් මැද අරගල කරන මහජනයා වෙනුවෙන් පෙනී සිටිය යුතුම මොහොතේ අපට අපගේ කාර්යභාරය ගැන හෝ නියෝජනය ගැන තෘප්තිමත් විය හැකිද? “

“විවිධ ප්‍රභේද හරහා වීදි පුරා ගලා යන්නේ ජනතාව පෙළන ඒ පීඩනයේ ප්‍රකාශනයි. තවමත් සාමකාමී ස්වරූපයෙන් විහිදෙන එම පීඩනයේ ප්‍රකාශන, ප්‍රචණ්ඩකාරී ප්‍රකාශනයක් ලෙස පරිවර්තනය වීමට ඉඩ නොදීම මහජන නියෝජිතයන් ලෙස අපගේ ප්‍රමුඛතම වගකීමයි. ජනතාව අරගලය පාරට ගෙන ආවේ නිර්පාක්ෂිකවයි. ඒ ඔවුන්ගේ ගැටළු නිර්පාක්ෂික නිසයි. එබැවින් එයට විසඳුම් සෙවිය යුත්තේ ද නිර්පාක්ෂිකව ය. එනමුදු මේ ඉතාමත්ම තීරණාත්මක මොහො‍තේදීත් සිදුවන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට ද නිගාදෙමින් ද්වේශ සහගතව බෙදෙමින් කෙරෙන වදන් හරඹය යි. “

“අප රටට දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවන පෙර ලකුණු දකිමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා පීඩනය පුපුරා යන විභවයක් නිර්මාණය විය හැකි නුදුරු අනාගතයක් පුරෝකථනය කරමින්, මා පසුගිය අයවැයේ දී, එනම් මීට මාස හතර හමාරකට පෙර එම අවදානම ගැන සඳහන් කරමින් සහෝදර මහජන නියෝජිතයන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා.”

“ඇයි අපි මෙතෙන්ට වැටුනේ? කවුද මේකට වගකියන්න ඕනේ? ඉතිහාසයේ තිබුණු කොළ පාට ආණ්ඩු ද? නිල් පාට ආණ්ඩු ද? නිල් රතු ආණ්ඩු ද? වර්තමාන ආණ්ඩුව ද? නැහැ. අපි සියලු දෙනාම සම සමව මෙහි විත්තිකරුවන් බවට පත්වෙලා තිබෙනවා. ජනතාව ඉදිරිපිට අපි 225 දෙනාම විත්තිකරුවෝ. අපි අපි අපි විසින්ම මෙහි වගකීම භාරගත යුතුයි. අපි වෙනුවෙන් අපි වගේම තමයි, මේ වගකීමත් භාරගන්න ඕනේ. ඉතින් අපි නිහතමානීව එහි වගකීම භාරගමු. අපි තවමත් පරක්කු නැහැ කියලා මම විශ්වාස කරනවා. අඩුගානේ අපේ අනාගතයේ නාමයෙන්, අද ඉන්න දරුවන්, මතු උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් එතැනදි අපි 225 ම රටත් සමඟ හිටගමු. හැම පක්ෂයම විපක්ෂයේ ඉන්නකොට බෝසතුන් බවට පත්වෙනවා. ආණ්ඩුවට එනකොට දේවදත්තලා බවට පත්වෙනවා. අපි සියලුදෙනාම සාධාරණය කරන්න උත්සහ ගන්නේ එකිනෙකාට අඟිල්ල දික්කිරීමේ අප්‍රසන්න වගකීම් විරහිත ඉතිහාසයට විනා මේ ර‍ටේ අනාගතයට නොවේ. නමුත් ඉතිහාසයට හැරෙමින් ඇඟිලි දිගු කරමින් තවදුරටත් සිටීමේ වරප්‍රසාදයක් අප කිසිම කෙනෙකුට නැහැ. අඩුපාඩු සකස් කරගෙන, වැරදි හදාගෙන ඉදිරියට යෑම මිස අපට වෙන විකල්පයක් නැහැ. අප එක්ව ඉදිරියට නොයතොත් සිදුවන්නේ වෙන් වෙන්ව වැළලී යාමටයි.”

“අද මෙරට තරුණ පරපුර 225 ම එපා කියමින් මොර නගමින් අපව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ කියමන සැබෑ කරමින්. අපේ පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්, ඔවුන් තම රටට අසීමිතව ආදරය කරන උදාර ජන කොට්ඨාසයක්. එම නිසා මා දැඩිව විශ්වාස කරනවා මහජන නියෝජිතයන් ලෙසට අප එක්ව ජනතා විශ්වාසනීයත්වය දිනාගත හැකි හරවුම් ලක්ෂයකට පියවර තැබුවොත් ඔවුන් අප තේරුම් ගන්නා බව. තවමත් එයට ප්‍රමාද නැහැ. ජනතාවට සවන් දෙන්න, ජනතාවට ප්‍රතිචාර දක්වන්න, ජනතාවට සංවේදී වන්න, ජනතාවට උපකාරී වන්න, ජනතාවට සුභවාදී වන්න, ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්න. “

“මෙම දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් කවරෙක් ද යන්න පිළිබඳව කාට හෝ සැකයක් මතවාදයක් තිබේ නම් ඔවුන් හඳුනාගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වනුයේ මෙරට සියලු විධායක ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්නාඩියක් ඉදිරිපිටට යෑම පමණි.”

“මාගේ පාසැල් මැණියන්ගෙන් මා හට දායාද වූ උදෘත පාඨය උතුම් බුදු වදනක්. “අප්පමාදෝ අමතපදං” එනම්, අප්‍රමාදව කටයුතු කරමු යන්නයි. නමුත් වැදගත් වන්නේ 225 වන අප එය අවබෝධ කරගන්නට තවත් ප්‍රමාද වනවා ද යන ප්‍රශ්නය පමණි. ගෞරවය, ආදරය නොමැති බලය විසින් ඉතිහාසය පුරාම ලොවට දී ඇති අමිහිරි, අප්‍රසන්න පණිවිඩ කියවා ගන්නට අප තවත් ප්‍රමාද විය යුතු නැත. “

ඩලස් අලහප්පෙරුම,
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,
2022 අප්‍රේල් මස 07 දින දීය.

 

කාලීන පුවත්