ශිෂ්‍ය අරගලය මැද පොලීසියට රෝස මලකින් මිනිසත් බවේ පණිවිඩයක් දුන් වෛද්‍ය සිසුවිය කසුන්සලා

ඊයේ(08) පැවැති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පෙලපාලියට පාර්ලිමේන්තුව අසල ඇති මාර්ගය අවහිර කරමින් අටවා තිබූ පොලිස් බාධකය මතට අඩියක් නැඟ ඉන් ඔබ්බෙහි සිටි පොලිස් බල ඇනි වෙතට රෝස මලක් දිගු කොට ” ඔයාලගේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා වෙනුවෙන් මේක තියා ගන්න” යනුවෙන් මානුෂීය ආයාචනයක් කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ‍යේ(රාගම ) අවසන් වසරේ ඉගෙනුම ලබන කසුන්සලා ගිම්හානී ශිෂ්‍යාව බව අනාවරණය වී තිබේ.

මෙරට ශිෂ්‍ය සේම පොදුවේ සමාජ අරගල ඉතිහාසය සේම සංස්කෘතිය නව අවිහිංසා මංපෙතකට යොමු කරමින් ඇය කළ එම ක්‍රියාව හමුවේ ඇතැම් පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් අතිශය සංවේදී බවට පත් වූ බව ද කියනු ලැබේ.

නමුත් පසුව එම ශිෂ්‍ය උද්ඝෝෂණය මැඬලීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය ක්‍රියා කළ ද ශ්‍රී ලංකේය සමාජ අරගල සංස්කෘතියට කසුන්සලා ගිම්හානී ශිෂ්‍යාව එක් කළ මෙම නව මානුෂීය ප්‍රවේශය එක්තරා ඓතිහාසික සන්ධිස්ථානයක් බව බොහෝ දෙනකුගේ මතයයි, මාරවිල ප්‍රදේශයේ පදිංචි කසුන්සලා නාන්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ආදි සිසුවියකි.

කාලීන පුවත්