පේදුරු තුඩුවෙන් හමන අලුත් අවුරුදු සුවඳත් විඳිමු

මේ එළඹ ඇති අලුත් අවුරුද්ද උතුරත් දකුණත් එකම අවුරුදු අසිරියකින් නහවන වසන්ත මංගල්‍යයක් බව අලුත් අවුරුදු සමයට මාධ්‍ය මඟින් නිතර පැවසෙනු අසන්නට ලැබේ.

එහෙත්,ඒ සම්බන්ධයෙන් කරුණු විමැසීමේ දී පෙනී යන්නේ එය පූර්ණ සත්‍යයක් නොවන බවය.මේ සේයාරුවින් දැක්වෙනුයේ ඊයේ(14)අලුත් අවුරුදු දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ පිහිටි පේදුරු තුඩුව,වඩුවාවත්තෙයි,වීර පත්තිරර් කෝවිලේ එක් හින්දු භක්තික පවුලක සාමාජිකයන් කිහිප දෙනෙකු ඔවුන් ආශීර්වාදාත්මක භෝජනය ලෙස සළකන උදය ආහාරය ගන්නා දර්ශනයකි.

හින්දු භක්තිකයන්ගේ සූර්ය වන්දනාව පදනම් කරගත් ප්‍රධාන උත්සවය ජනවාරි මාසය තුළ යෙදෙන හින්දු දින දර්ශනයේ එන “තායි” මාසයේ එන “පොන්ගල්”උත්සවයයි.එය අප බොහෝ දෙනකු හඳුන්වනුයේ හඳුන්වනුයේ තයිපොංගල් යනුවෙනි.

අපගේ සිංහල අලුත් අවුරුද්දට සමපාත ලෙස හින්දූන් සමරන මෙම උත්සවය අප්‍රියෙල් මාසයට සමපාත ලෙස යෙදෙන හින්දු දින දර්ශනයේ එන චිත්‍රා මාසය පදනම් වන්නකි.ඒ අනුව හින්දූන් මෙය හඳුන්වනුයේ චිත්‍රා අවුරුද්ද හෙවත් චිත්තරෙයි පුත්තාන්ඬු යනුවෙනි.

මෙම කෝවිලේ බිම අසුන්ගෙන එම කෝවිලෙන් ලැබෙන දේවාශීර්වාදාත්මක භෝජනය අනුභව කරන කිහිප දෙනා අතුරින් වම් කෙළවරේ හිඳිනුයේ කනපතිපිල්ලේ අරුලානන්දන් මහතා ය.

ඔහු ජාත්‍යන්තර තලයේ ඉහළම වැටුපක් හිමි කර ගැනීමේ සියලු වෘත්තීය සුදුසුකම් තිබියදී අපගේ මව් බිම උදෙසා සේවයක් කිරීමේ අරමුණින් මේ වන විටත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ(නාරා) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥයා ලෙස කටයුතු කරයි.

කනපතිපිල්ලේ අරුලානන්දන්(ආචාර්ය කේ අරුලානන්දන්)මහතාට දකුණු පසින් සිටිනුයේ ඔහුගේ දි‍යණි වරුන් දෙදෙනා සහ වැඩිමල් සොයුරියයි. සියලු සතුන්ගේ පැවැත්මට ඉවහල් වන ප්‍රධාන සාධකය වන ආහාරයේ වසරේ මුල්ම ආහාර වේල දේවාශීර්වාදය මත ලබා ගැනීමෙන් වසර පුරාවටම සෞභාග්‍යය පෙරදැරි කර ගත් සතුට සාමය හිමි වන බව බොහෝ හින්දු භක්තිකයෝ ආධ්‍යාත්මිකව විශ්වාස කරති එය අපගේ සිංභල අලුත් අවුරුද්දේ අනුභවය හා වැඩ ඇල්ලීමට සමාන වුව ද කිසිදු හින්දු භක්තිකයෙක් ඒ සඳහා අපගේ සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව යොදා නොගනිති.

එම සියලු චාරිත්‍රාවලිය පාලනය කරනුයේ ඔවුන් ගේ පූජක ප්‍රජාව විසිනි.එමෙන්ම මෙම ආගමික සැමරුම් වල දී සියලුම හින්දු භක්තිකයන් තමන්ගේ පුද්ගල සහ සමාජ තරාතිරම් මුලුමනින්ම අමතක කොට මුලු හින්දු බැතිමත් ප්‍රජාවම එකම පවුලක සාමාජිකයන් සේ කටයුතු කිරීම ද විශේෂත්වයකි.ඒ අනුව එම ආගමික චාරිත්‍ර වල දී “කැරෙයාර්”(සිංහලෙන් කරාවේ) නමින් හැඳින්වෙන වෙරළ බඩ ධීවරයාත් සාගර විද්‍යාඥයාත් අතර කිසිදු වෙනසක් දක්නට නොමැත.

එමෙන්ම, මෙම චිත්තරෙයි පුත්තාන්ඬු සැමරුම එක් දිනයකට පමණක් සීමා වන අතර අපගේ ජන සමාජයේ සිංහල අලුත් අවුරුද්ද මුල් කොට ගත් නාස්තිය ධන හානිය සහ පුහු ආටෝප කිසිවක් ද මෙම චිත්තරෙයි පුත්තාන්ඬු සැමරුම තුළ නොමැති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.

හේමන්ත රන්බණ්ඩාර

අරුමැසි පුවත්