“මෙඩිකල් චෙකප්” අපට වැදගත් ඇයි ?

අප සෑම දෙනෙකුගේම පරම අපේක්ෂාව වන්නේ  එක විනාඩියක් හෝ වැඩිපුර ජීවත් වීමය .මෙය  තිරිසන් සතුන්ට පවා පොදු ධර්මතාවකි.

අප ඉපදුණේ  අපේ වුවමනාවකට නොවේ. නමුත් අප මෙලොවට බිහිවී මනුෂ්‍යයන් ⁣ලෙස ගත කරන ජීවිතයේදී  විවිධ දේවල් පිළිබඳ  අපි දැඩි අපේක්ෂාවකින් පසු වන්නෙමු. එසේම  මනුෂ්‍යයන්ට තිබෙන වගකීම්ද වයස මෙන්ම  එන්න එන්නම වර්ධනය  වෙයි. මේ නිසා ජීවත් වීම සම්බන්ධයෙන් අපට තිබෙන අපේක්ෂාවන් වැඩි ය.
      කොයි තරම්  අප ප්‍රවේශම් වුණත් අපේ ශරීරය මෙම ජීවන ගමනේ කොයි තරම් දුරක් අප එක්කරගෙන යාවිදැයි කිසිවෙකුටත් කිව නොහැකිය. තමන් සාදන ලද නිවසක ශක්තිමත්භාවය පිළිබඳව එය ගොඩ නැගූ පෙදරේරුවෝ දනිති . නමුත්  අපේ ශරීරය  කිසිවකු  විසින් සාදන ලද්දක් නොවේ. උපදින විට රැගෙන ආ මෙම ඉන්ද්‍රියයන් දවසින් දවස ලොකු මහත් වී වැඩුණු අතර අප කළේ    දිගටම ආහාර , ජලය දෙමින්  ඒවා නඩත්තු කිරීමය. මහන්සි වී සෑදූ ගෙයක් මෙන් නොව මෙය  ස්වභාවධර්මයේ  තවත් නිමැවුමක්  පමණි . ශරීරය ද ගසක්, පළතුරක්,  සතෙක් වැනිම දෙයක් බව  කීවත් එහි ඇති වරදකුත් නැත .
අපට කොයි තරම් කාලයක් මේ ශරීරය දිගටම  පවත්වා ගන්නට වුවමනාව තිබුණත් , ගස් පලතුරු සතුන් මෙන්ම අපට ජීවත් වන්නට  හැකියාව තිබෙන්නේත් ස්වභාවධර්මයට  අවශ්‍ය පරිදි පමණි . ඉන්පසුව අපටත් යන්නට සිදු වේ.   වෛද්‍යවරුන් මෙයට මැදිහත් වී  ශරීරය ඇතුලාන්තයෙහි  සිදු  වන දේවල්, සිදු  වන්නට නියමිත දේවල් මුලින්ම හඳුනා ගන්නේ එනිසා ය.  “මෙඩිකල් චෙකප් එකක්” යනු මෙලෙස ශරීරය හඳුනා ගැනීමයි .
අපේ ශරීරය ඇතුළත ස්වභාවය විශාල කර්මාන්තශාලා සමූහයක් බඳු ය. මොහොතින් මොහොත වෙනස් වෙවී සියල්ල එකට එක් වී එකිනෙකා හවුල් වී ක්‍රියා කරන්නේ තත්පරයකවත්  විවේකයක්  නොමැතිව  දිවා රෑ එකසේ ය.  කර්මාන්ත ශාලාවක නම් තිබෙන කුඩාම දේ යකඩ ඇණයක්, වයර් කැබැල්ලක් විය හැකිය. නමුත් ශරීරය තුළ ක්‍රියා කරන කුඩා කැබලි  ඇස් දෙකට නොපෙනෙන ඉතාමත් සියුම් අංශුමාත්‍රයන් ය.  එහි තේරුම නම් යකඩ ඇණයක් තරම් කුඩා කොටසක් තුළ වුවද  තවත්  සම්පූර්ණ  කර්මාන්ත ශාලාවක් වැඩ කරන බව ය.
මොහොතින් මොහොත සියලු දේ වෙනස්වෙන සුලුය. දින ,සති , මාස ගණන් අවුරුදු දිගේ ඉදිරියට යන විට හැමදේම එක විදියට  පවතින්නේ නැත . තිබෙන දේ විනාශ වී අලුතින් දේ  ඇතිවෙයි . වයස 25 ,30  පසුවී 50 , 60 වන විට සමේ, මුහුණේ ,කෙස්වැටියේ කොතරම් වෙනස්කම් දකින්නට ලැබෙනවා ද? මීටම  නොදෙවෙනි  දේ  ශරීරය ඇතුළාන්තයේ ද සිදු වෙයි.  නමුත් ඒවා  පිටතට ප්‍රදර්ශනය වන්නේ ඉතාමත් අඩුවෙනි.
        එක කකුලක් සෙලවෙන  පුටුවක වෙනදා මෙන් කලබලෙන් පැමිණ එක්වරම වාඩි වුවහොත් ඒ  පුටුවත් සමගම ඔබ බිමට කඩාවැටීමට ඉඩ තිබෙනවා නේද?  එහි තේරුම ඒ මොහොතේ  අප  යන්තම් වාඩිවී  සිටියත්, වෙනදා තිබුණු ශක්තිය  පුටුවට නොතිබීම ය. එබඳු ශක්තියක් පුටුවට ලැබීමට නම්  කකුල් හතරම හොඳ තත්වයේ තිබිය යුතුය. වයස්ගත වන විට අපේ ශරීරයත් යන්තම් කොහොමහරි ඇදගෙන යන්නට සිදු වන තත්ත්වයට පත් වෙයි. නමුත් නොසිතු මොහොතක යම් කිසි ගැටලුවක් හමුවේ ඇදගෙන වැටෙන්නේ  මේ අයුරින්ම ය. ශරීරය යම් තරමකින් කෙසේ හෝ ගැටගසාගෙන යාමෙහි ද සීමාවක්ද තිබේ.  එතැනින් එහාට ශරීරය විසින් සියල්ල  එක්වරම අත හරිනු ඇත. ඒ කිසිවකුටවත් සිතාගන්නටවත්  බැරි වෙලාවක ය.
        වයස 30 පසු වන විට  මෙඩිකල් චෙකප් එකක් කිරීම වැදගත් වන්නේ එනිසා ය. ශරීරය වැරදි මාර්ගයෙහි ගමන් කරන විට ඒ බව මුලින්ම හඳුනා ගෙන ශරීරය නිවැරදි මාර්ගයට යොමු කරවන්නට වෛද්‍යවරුන්ට  හැකියාවක් තිබෙන අවස්ථා පවතියි. සෑම දෙයක්ම තේරුම් ගන්නට නොහැකි වුවත්, කරන්නට හැකි දේවල් විශාල වශයෙන් තිබේ . සමහර දේවල් රෝගීන්ට දැනෙන්නේ නැත. යම් විදියකින් දැනුනත් ඒවා බරපතළ ලෙස රෝගීන් සලකන්නේ නැත . මෙහි අනෙක් පැත්ත නම් වැඩකට නැති දේවල් සමහර රෝගීන් බරපතළ ලෙස සලකා කටයුතු කිරීමය . හොඳම දේ නම් මේ සියල්ල වෛද්‍යවරයෙකුට  භාරදී නිරාකරණය කරගැනීමය.
      මෙඩිකල් චෙකප් එකකදී  වෛද්‍යවරයා  ඔබෙන් විවිධ ප්‍රශ්න  අසනු ඇත.  ඉන්පසු හිසේ සිට දෙපතුල දක්වා විවිධ  උපකරණ මගින් පරීක්ෂා කර බලයි. විවිධ රුධිර පරීක්ෂණ රාශියක් හරහා ශරීරයේ විවිධ පැතිකඩවල් පිළිබඳ ව සොයා බලයි. විවිධ ස්කෑන් පරීක්ෂණ, සියුම් කැමරාවන් ශරීරය තුළට ඇතුළු කර සිදු කරන පරීක්ෂණ   ඒ ඒ අංශවලට අදාළ විවිධ වෛද්‍යවරුන් විසින්  සිදු කරනු ඇත .
පරීක්ෂණ අවසන් වූ පසු සියල්ල පිළිවෙළකට සටහන් ලෙස,  ඔබට තේරුම් ගැනීමට හැකි ආකාරයකට ඔබේ අතට පත්  කරන්නේ අනාගතයට මේවා  වැදගත් නිසාය. යම් අවයවයක යම්  කඩාවැටීමක් ඉදිරි කාලයකදී සිදුවුණොත් රෝග පරීක්ෂණය සිදුකරන ලද අද දිනයේ සියල්ල හොඳ තත්වයේ තිබුණු බව දැන ගැනීම අනාගත දිනයට වැදගත් වෙයි .
     මෙහිදී ශරීරයකට සිදු කළ හැකි සියලු පරීක්ෂණ සිදු කරන්නේ නැත . සමහර සී.ටී. ස්කෑන් වැනි පරීක්ෂණවලදී රෝගියා විකිරණවලට හසුවෙයි. මෙවැනි අවදානම් පරීක්ෂණ   සිදු කරන්නේ වෛද්‍යවරයාට  එම පුද්ගලයා සම්බන්ධයෙන් යම් රෝගයක් පිළිබඳ ව  දැඩි ලෙස සැකයක් ඇතිවූ අවස්ථාවකදී පමණි. රෝගය අල්ලාගැනීමේ වාසිය,  පරීක්ෂණ අවදානමට වඩා වැඩි නිසා එවැනි අවස්ථාවකදී එබඳු   පරීක්ෂණ  සිදු කරනු ඇත.
රෝග ලක්ෂණ කිසිවක් නොමැති අවස්ථාවක මෙවැනි අවදානම් පරීක්ෂණවලට වෛද්‍යවරුන් යොමුවන්නේ නැත .
      මේ පරීක්ෂණ සියල්ල සඳහා දින දෙකක කාලයක් ඔබගේ කාර්යබහුල ජීවිතයෙන් අයින් කර ගැනීමට සිදු වනු ඇත.  ඔබ කාර්යබහුල වී සිටින්නේ  ඔබගේ පවුල වෙනුවෙන්, ඔබගේ හිත මිතුරන් වෙනුවෙන්, ඔබගේ සමාජය වෙනුවෙන් විය හැකිය. නමුත් යමක් සිදු වී ඇඳට වැටුණු විට ඔබ ළඟ සිටින්නට  කිසිවෙක් නැත. අනෙක් අතට ඔබ වටා මහ පිරිසක් සිටියත්  ඔබේ වේදනාවන් ඔබම විඳ දරා ගත යුතුය .යථාර්ථය එයයි.
       එනිසා තමන්ගේ ශරීරය ගැන සොයා බැලීමට,  ජීවත්වෙන කාලයෙන් මොහොතක් වෙන් කරන්නට සිතට ගන්න. අනෙක් අයට යුතුකම්  ඉටු කිරීමට  මුලින් ඔබ ජීවත් වී සිටිය යුතුය. මේ සියල්ල සිදු කරන්නේ  මේ ලෝකයේ තමන්ට ඇති වටිනාම වස්තුව වන තමන්ගේ ශරීරය කුමන තත්ත්වයක තිබේදැයි සොයා බැලීමටය.
 සියලු පරීක්ෂණ සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙන බව ඇත්තම තත්ත්වයයි. රජයේ රෝහලක මෙවැනි පරීක්ෂණ ගණනාවක් සියලු දෙනාටම නොමිලේ සිදු කරන්නට තරම්  ශක්තියක් අප රටට නොමැත. ඒ නිසා  මේ සඳහා පුද්ගලික අංශයට යොමු වීම නොවැළැක්විය හැකි කරුණකි. නමුත් ගේ දොර ඉඩම් විකුණා මෙවැනි දෙයක් සිදු කරලීම  නුවණැති ක්‍රියාවක් නොවේ.
එසේ වුවත්  මෙවැනි දෙයක්  මතු යම් දිනක සිදුකරගැනීමට ටික ටික හෝ  ඉතුරු කර තැබීම ඔබට අද දින සිට ආරම්භ කළ හැකිය. ගහක ගෙඩියක් පැසුනු පසු ඊළඟට සිදු වන්නේ   ඉදී කඩා වැටීම ය. අපගේ  ශරීරයට සිදු වන්නේත් එයම ය. එය අකාලයේ සිදු වීම වළක්වා ගන්නට ඔබේ ශරීරය තුළ ඇති ⁣සහ ඇති වෙමින් පවතින දේවල් කලින් හඳුනා ගැනීම ඉතා වැදගත් වන්නේ එනිසා ය.
එබැවින් හැකියාවක් ඇති නම් මෙඩිකල් චෙකප් එකකට යොමු වීම ඔබට වාසියකි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා
විනිවිද සායනය