පාස්කු ප්‍රහාරය ගැන අග රද ගුරු හිමිපාණන්ගෙන් රජයට බරපතල චෝදනා

රජය පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද? යන බිය නිසාදැයි සැකයක් පවතින බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරණ වේදිකාවේ දී මොරදුන් වත්මන් පාලකයා බලයට පත්වූ පසු ඒ පොරොන්දු සියල්ල පසෙක දමා ගෙන යන වැඩපිළිවෙල තමන් තරයේ ප්‍රතික්‍ෂේප කරමින් හෙළා දකින බවත් කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කීහ. එමෙන්ම මෙම අපරාධය කළ අයට වැඩිකල් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇතැයි දඑතුමෝ කීහ.උන් වහන්සේ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද (21) පෙරවරුවේ පැවති විශේෂ සැමරුම් වැඩසටහනට එක්වෙමිනි. වත්මන් රජය හිටපු ජනාධිපති වරයා ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ ඇති සම්බන්ධයක් හෙළිදරව් විය හැකිය යන බිය නිසාදැයි යන්න ගැන රටේ පොදු ජනතාව හා තමන් තුළ සැකයක් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවා කර ඇති හෙළිදරව් ගැන කිසිඳු විමර්ශනයක් නොකිරීම සියල්ල “රතු පලස” යට සඟවා සත්‍ය වසන් කිරීමේ බොළඳ උත්සාහයක් පවතින බව ද අගරදගුරුතුමෝ කීහ.

කාලීන පුවත්