පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් උරුම කරගෙන සිටි ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බලය තබා 113 රැක ගන්නේ කෙසේද? යන ගැටළුවට මුහුණ දෙමින් සිටියි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු බලය රැක ගැනීමට නම් ආණ්ඩු පක්ෂය තුළ මන්ත්‍රීවරු 113 ක් සිටිය යුතු ය. වත්මන් ආර්ථික අර්බුදය දේශපාලන ක්ෂේත්‍රය ඉක්මවූ ජාතික අර්බුදයක් බවට පත්වී පාර්ලිමේන්තුව තුළට ද එය සම්ප්‍රාප්ත වී හමාර ය.
ආණ්ඩු පාර්ශවය නියෝජනය කළ මන්ත්‍රීවරුන් බහුතරයක් ස්වාධීන මන්ත්‍රීවරු ලෙස විපක්ෂයේ අසුන් ගැනීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් තිබේ. විමල් වීරවංශ පාර්ශවයේ මන්ත්‍රීවරු 15 ක් ස්වාධීන වී සිටිති. ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 12 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 14 දෙනෙකු ඇතුළුව මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වී සිටිති.
මේ පිරිස පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ ඉකුත් අඟහරුවාදා සිට විපක්ෂයේ අසුන් ගැනීමට තීන්දු කළහ. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගියේය. ඒ අතර විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරු තිදෙනෙකු ද තවදුරටත් ආණ්ඩුවට සහාය නොදක්වන බව ප්‍රකාශ කර සිටිති. මේ සියල්ල අනුව දැන් ආණ්ඩුව තුළ සිටින්නේ මන්ත්‍රීවරු 117 ක් පමණකි.
සියල්ල මෙලෙස සිදුවද්දී ආණ්ඩු පක්ෂයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සමග තවත් මන්ත්‍රීවරු 13 දෙනෙක් තමන් ඉදිරිපත් කරන යෝජනා පිළිනොගන්නේ නම් ඔවුන් ද ස්වාධීන වන බවට ප්‍රකාශ කර සිටිති. මොවුන් ඉල්ලා සිටින්නේ අගමැති ඉවත් වී අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කොට පවතින ගැටළුව විසඳ ගත යුතු බවකි.මේ අතර යළි ආණ්ඩු පක්ෂයට එක් වීම සඳහා ඩොලර් මිලියන ගණන් වල අත යට මුදල් බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රී වරුන් නොමැති බවට සහතික වීමට ද අපට නොපුළුවන.
මේ අතර පාර්ලිමේන්තුවේ දී ඊයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්විය. එහෙත් ඊට සහභාගී වී සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 88 දෙනෙකු පමණකි. ඒ අනුව පැහැදිලි වන්නේ ආණ්ඩුවට බහුතරය නොමැති බවකි. එය ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට හොඳ කාරණයක් නොවේ. මන්ත්‍රීවරු 88 දෙනෙකු සහභාගී වී ගත් තීන්දුව වූයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තවදුරටත් අගමැතිධූරයේ තබා ගන්නා බවකි. එහිදි ඔවුන් ඊට අදාළව යෝජනාවක් ද සම්මත කර ගෙන තිබුණි.
ආණ්ඩුවේ පිරිසක් ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට කියන අතර තවත් පිරිසක් අගමැති ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරති. අගමැති වරයා මේ වන විට එවැනි තනතුරක් දැරීමට තරම් කායික මානසික යෝග්‍යතාවක් නොමැති බව එම පිරිස කියති.නමුත් ඊට ප්‍රතිවිරුද්ධ පක්ෂය කියන්නේ දේශපාලනයේ හයක් හතරක් නොදත් ජනපති වරයා රටම කා දමමින් සිටින නිසා බලයෙන් ඉවත් විය යුත්තේ ඔහු බව ය.මෙයින් පැහැදිලි වන්නේ රාජපක්ෂ අයියා මලෝ දෙදෙනා අතර ද ගැටුමක් නිර්මාණය වී ඇති බවකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටින්නේ 113 පෙන්වන ඕනෑම ප්‍රද්ගලයෙකුට අගමැති ධූරය බාර දෙන බව ය. ඒ අනුව ඔහුට තමන්ට හිතවත් ඇමති මණ්ඩලයක් පත් කර ගත හැකි බව ද ඔහු කියයි. මෙම කාරණයම ඇමතිවරු ද කියා සිටිති.
ආණ්ඩුවේ තවත් පිරිසකට දැන් අවශ්‍යව ඇත්තේ විපක්ෂයට පැන ගැනීමට ය. මන්ද තවත් ඔවුන්ට වත්මන් ආණ්ඩුව තවදුරටහ් පවත්වාගෙන යා නොහැකි බව ඔවුහු දනිති. මේ නිසා ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුවක් පත් කර ගැනීමට ය. ඒ රාජපක්ෂලාට නොමැති ජාත්‍යන්තර සබඳතා ජාලයක් ඔහු වටා ඇති බැවිනි.නමුත් රනිල් වික්‍රමසිංහ එයට කැමැත්තක් පළ කර නැත. ඔහු පෙන්වා දෙන්නේ සිය පක්ෂයෙන් සිටින්නේ එක මන්ත්‍රීවරයෙකු පමණක් බැවින් තමන්ට 113 සකස් කර ගැනීමට සිදුවන්නේ වෙනත් කණ්ඩායම් එකතු කර ගැනීමෙන් නිසා තමන් එය භාර නොගන්නා බව ය.
සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සජබ මන්ත්‍රීවරු 50 ක් මේ වන විට පාර්ලිමේන්තුවේ සිටිති. ආණ්ඩුවක් පිහිටු වීමට ඔවුන්ට එකතු කර ගැනීමට ඇත්තේ තවත් මන්ත්‍රීධූර 63 ක් පමණකි. නමුත් සජිත් ප්‍රේමදාස අගමැතිධූරය භාර ගැනීමට කැමැති නැත. ඔහු කියන්නේ විධායක ජනාධිපතිධූරයම ආහෝසි කළ යුතු බවකි. මේ අතර පාඨලි චම්පික රණවක අගමැතිධූරය භාර ගැනීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ වේ.ඔහු අගමැතිධූරය ගෙන සජබ හා ආණ්ඩු පක්ෂයේ පිරිසක් එකතු කර ගත හොත් 88 දෙනෙකුගෙන් යුතු ආණ්ඩුව විපක්ෂයට යනු ඇත.එවිට මහින්ද විපක්ෂ නායක වනු ඇත. නැතිනම් බැසිල් රාජපක්ෂ විපක්ෂ නායක විය හැකිය. එවිට සජිත් ට විපක්ෂ නායක ධූරය අහිමිවනු ඇත.
බැසිල් රාජපක්ෂ ආණ්ඩු පාලනයට වඩා දක්ෂකම් පෙන්වා ඇත්තේ විපක්ෂයේ සිටියේ දී ය. එම නිසා තවදුරටත් රාජපක්ෂලා ජනතා අප්‍රසාදයට ලක්වීමට මත්තෙන් විපක්ෂයට පැන ගැනීමට බැසිල් වෙර දරනු පෙනෙයි. මේ නිසා පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ ඇත්තේ 88 දෙනෙකු පමණකි. එය ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැත.එවිට බරපතල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නොහැකි වේ. නමුත් පාරට බැස සිටින තරුණ කණ්ඩායම් ඉල්ලා සිටින්නේ රාජපක්ෂ පවුලම රාජ්‍ය පාලනයෙන් ඉවත් විය යුතු බවට ය. එසේම මොවුන් ජනතාවගෙන් සොරා කෑ මුදල් ආපසු දෙන ලෙසට ද ජනතාව ඉල්ලා සිටියි.
ජනතාව නම් බලා සිටින්නේ ආණ්ඩුව පෙරළී නව ආණ්ඩුවක් බිහිව තෙල් හා ගෑස් පෝලිම් යුගය අවසන් වනු ඇතිය කියා ය. ඒ වෙනුවෙන් රාජපක්ෂලා ඉවත් විය යුතු බව ඔවුහු කියති. ගෑස් පෝලිම්වල සිටින, ඉන්ධන පෝලිම්වල සිටින බොහෝ දෙනෙක් කියන්නේ ද රාජපක්ෂලා ඉවත්වී අලුත් කණ්ඩායමකට රට භාර දිය යුතු බවකි.
ජනතාව එසේ ඉල්ලීම් කරන අතරෙ ජනතාව ගේ මූලික අවශ්‍යතා පසෙක තිබිය දී රටට දැරිය නොහැකි තරම් අති විශාල ණය ප්‍රමාණයක් ගෙන ජාත්‍යන්තර ගුවන් තොටුපලවල්,වරායවල්,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා,ක්‍රිකට් ක්‍රීඩංගන,නෙළුම් කුළුණු ආදී මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති කළ අගමැතිවරයා තවදුරටත් එම ධූරයේ රැඳී සිටිය බවට වන යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.
එහෙත් ඵලදායකත්වය අවම ඒ ආයෝජන ව්‍යාපෘති වල “යටි තලය” ගැන දන්නා සමාජය ඊට කෙසේ එකඟ වේදැයි අපට සිතා ගන්නට නොහැක.
ලසන්ත වීරකුලසූරිය