ප්‍රකට පුද්ගලයන්ගේ අප්‍රකට රහස් හෙළිකරන Anonymous හැකරුන්ගේ කතා ඇත්තක් ද?

Anonymous”හැකරුන්”නැතහොත් නිර්නාමික හෝ නමක් නොමැති පුද්ගල කණ්ඩායමක් පිළිබඳව මේ දිනවල ඉතා දැඩි ලෙස කතා බහ සිදු වෙමින් පවතී. සත්‍ය වශයෙන්ම මෙලෙස Anonymous නමින් හ‍ඳුන්වන කණ්ඩායමක් සිටී ද? යන්න පිළිබදව බොහෝ පුද්ගලයින් දැනුවත් නැත. Anonymous යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විමධ්‍යගත ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම් වන අතර ඔවුන් සාමූහික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යාපාර සහ යම් යම් අවස්ථාවල විවිධ සමාජ තලවලදී පල්ලියේ පැවති අකටයුතුකම් වලට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කරනු ලැබූ කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. 21 වන සියවසේ මූලාරම්භයේ දී, එනම් 2003 වැනි කාලයේ ලෝකයේ වැඩි රටවල් ප්‍රමාණයක් ඩිජිටල්කරණයට පරිවර්තනය වීමත් සමග රහස්‍ය තොරතුරු සඟවා තැබීමට යොදාගත් රහසිගත වෙබ් අඩවි සහ රහසිගත ඩිජිටල් ලිපිගොනුවලට ඇතුළු වී ඒවා ලෝකයට නිරාවරණය කිරීම Anonymous විසින් සිදු කරනු ලැබිණි.

විශේෂයෙන්ම Anonymous  යනු අන්තර්ජාලයේ විවිධ සයිබර් උපක්‍රම භාවිතයෙන් සුවිශේෂී වෙබ් අඩවිවලට රහසේ ඇතුළු වී රහස් නිරාවරණය කරගන්නා පිරිසක් වන හෙයින්, ඔවුන්ට නිශ්චිත ස්ථානයක් හෝ නිත්‍ය නවාතැනක් හෝ නැත. මේ නිසා මොවුන් කුමන රටක, කුමන නගරයක සිට සිය කාර්යභාරය කරන්නේ ද යන්න පිළිබදව සෙවීමෙන් ද ඵලක් නැත.

මුල් කාලයේ මෙය සමාජ විරෝධී ව්‍යාපාරයක් ලෙස සළකණු ලැබූ අතර එයට හේතු වූයේ විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික රහසිගත තොරතුරු නිවාරණය කර ගැනීමත් ඒවා ප්‍රසිද්ධියට පත් කරන බවට එකී පුද්ගලයින් බිය වද්දමින් මුදල් ගසා කෑමත්, කප්පම් ලබා ගැනීමත් Anonymous කණ්ඩායම් විසින් පුරුද්දක් ලෙස සිදු කරනු ලැබූ නිසා ය. මෙවැනි කාරණා මත විසි වන සියවසේ මුල් කාලයේ සුප්‍රකට මෙන්ම කුප්‍රකට දේශපාලඥයන්, ජනප්‍රිය කලාකරුවන් සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් සියදිවි හානි කර ගැනීමට ලක් කරගත් ආකාරය පිළිබද පුවත් පවා එම කාලයේ ප්‍රචාරය විය.

මේ නිසාම Anonymous සමාජ විරෝධී ව්‍යාපාරයක් බවට පත් කරනු ලැබූ නීති රීති පද්ධතියක් ලෝකය පුරා රටවල් රැසක් හදුන්වා දෙනු ලැබීය. පෞද්ගලික රහසිගත තොරතුරු අනාවරණය කිරීමෙන් ඔබ්බට ගොස් විවිධ පුද්ගලයින්ගේ සමාජ විරෝධී ක්‍රියා, හොර මැර වංචාවන් ආදිය පිළිබදව සයිබර් අවකාශයේ ඇති දත්ත විමර්ශණය කිරීම මෙකී නීතිරීති පද්ධතියට අඩංගු නොවුණි. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතයේ රහස් හැරුණු කොට පොදු සමාජයට බලපානු ලබන, පිළිතුරු නොමැති ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සදහා යම් යම් තොරතුරු නිරාවරණය කිරීමට මින් අවස්ථාවන් විවර විය. මෙහිදී සිදු වන්නේ වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වීම යන මූලික කාරණය වන නිසාම මොවුන් පොදු ව්‍යවහාරයේ දී ” හැකර් වරුන්” ලෙස හදුන්වනු ලැබිණි.

වත්මන් ලෝකයේ ද විවිධ රටවල මෙවැනි හැකර්වරු විසිරී සිටිති. බොහෝ විට ඔවුන්ගේ මුදල් ඉපැයීමේ මාර්ගය පෙර කී නීති විරෝධී කප්පම් ගැනීමේ ක්‍රමයයි. නමුත් ක්‍රමවත් ආකාරයට නීත්‍යානුකූලව සිය Anonymous ව්‍යාපාර පවත්වාගෙන යන්නෝ ද ඕනෑතරම් සිටිති. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ යම් ඇණවුමකට අනුව ක්‍රියාත්මක වීමයි. එනම් රාජ්‍ය වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට තවත් පුද්ගලයෙතුගේ හෝ පුද්ගල කණ්ඩායමක සොර මැර වංචාවන් විමර්ශණය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් මෙකී කාර්ය භාරය සදහා Anonymous කණ්ඩායමක සහාය ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. නමුත් මෙහිදී මූලික වශයෙන් සළකා බලන කරුණු කීපයක්ම තිබේ.

පළමු වැන්න වන්නේ එසේ නිරාවරණය කර ගන්නා ලද තොරතුරු නිවාරණය කිරීමෙන් පසු යම් රටකට, විශාල පොදු ජන පිරිසකට හෝ යම් සමාගමකට වාසිදායක තත්වයක් ඇති විය යුතු ය යන්නයි. දෙවැන්න එම තොරතුරු මගින් කිසිවෙකුගේ පුද්ගලික ජීවිතයට හානියක් නොවිය යුතු ය යන්නයි. එමෙන්ම Anonymous කණ්ඩායමක් වෙත මෙම අණවුම භාර දීම ද පුද්ගලික වශයෙන් නොව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් හෝ යම් සමාගමක් මගින් කළ යුතු වීම ද විශේෂත්වයකි. එනම් ඔබට හෝ මට පෞද්ගලිකව ගොස් Anonymous  කණ්ඩායමකට මෙකී කාර්යය භාරදීමට අවස්ථාවක් නැත.

මේ ආකාරයේ රෙගුලාසි රැසකට යටත්ව Anonymous කණ්ඩායම් විසින් විවිධ පුද්ගලයින් සම්බන්ධ රහසිගත තොරතුරු හඹා ගොස් නිරාවරණය කරදෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත අදාළ ගාස්තු ගෙවීම ද නිසි පරිදි කළ යුතු වන්නේ ය. ඔවුන් සිය කාර්යය සිදු කරනු ලබන්නේ “අදාල පාර්ශ්වයන් වෙත ඇති අනුකම්පාව” නිසා හෝ “හොරුන්ට පාඩමක් ඉගැන්විය යුතු නිසා” නොවන අතර හැකර්වරුන් එවැනි දේ සිදු කරන්නේ එය ඔවුන්ගේ ආදායම් මාර්ගය නිසා වන බැවින් පමණි.

දුලංජලී මුතුවාඩිගේ

ඉරා අදුරුපට