මිග්‍රේන් සුව කරන්නට බැරි රෝගයක් නොවේ

හිසරදය නොවැළඳුණු කෙනෙක්  මේ ලෝකයේ කොහේවත් ඇතැයි සිතිය  නොහැකිය. සාමාන්‍ය හිසරදයට නම් අප බියක්  දක්වන්නේ නැත. නමුත් ජීවිතයේ එක් දිනක් හෝ මිග්‍රේන් හෙවත් සැමට පුරුදු අයුරින් පැවසුවහොත් ඉරුවාරදය වැළඳුණු කෙනෙක් ඇත්නම් එය මතක් වන විටත් බිය වෙනවාට සැකයක් නැත. මිග්‍රේන්  පැරසිටමෝල් වැනි සාමාන්‍ය වේදනානාශකයකින්වත් සුව නොවන ප්‍රබල වේදනාවකි.
    හිසරදය කොටස් දෙකකට බෙදේ. ඒ ප්‍රාථමික හිසරදය සහ ද්විතීයික හිසරදය ලෙසිනි.
     ද්විතියික හිසරදය  පිළිබඳව මුලින් කතා කළහොත් එම හිසරදය වැළඳීම සඳහා විශේෂිත වූ හේතු තිබේ. එක් නිදසුනක් වන්නේ මොළයේ ඇතිවන ගෙඩියක් නිසා හිසරදය හට ගැනීමයි.
     නමුත් ප්‍රාථමික හිසරදයට විශේෂිත වූ හේතු අවශ්‍ය නැත. මිග්‍රේන් අයත් වන්නේ මෙම ප්‍රාථමික හිසරදයටයි. මෙය ලොව පුරාම බහුලව පවත්නා රෝගයකි.
      මෙම රෝගයෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ වැඩිහිටියන් අතරේ  පිරිමින්ට වඩා කාන්තාවන් අතර මෙය සුලබ වීමයි. නමුත් ළමයින් අතරේ නම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම  එක හා සමානව මිග්‍රේන් හට ගැනීමට හැකියාව ඇත.
     මෙම රෝගය බොහෝ දෙනෙකුට නැවත හැදීමට තිබෙන හැකියාව නිසාත්, මෙහි දී හැදෙන හිසරදය  දරාගත නොහැකි තරමට වේදනාකාරී වන නිසාත් රෝගියාගේ එදිනෙදා කටයුතු අඩාල කිරීමට මෙය සමත් වේ. මාරාන්තික රෝගයක් නොවුණත් මිග්‍රේන් පිළිබඳව මේ නිසාම  අවබෝධයක් තිබීම බොහෝ සෙයින් වැදගත් වනු ඇත.
මිග්‍රේන් හටගන්නා ආකාරය
      අපේ මොළයට පිටතින් මොළයේ ආරක්ෂාව සඳහා තිබෙන රුධිරවාහිනීවලත්,  හිස්කබල අභ්‍යන්තරයේ ඇති රුධිරවාහිනීවලත්, හිස් කබලට පිටින් තිබෙන රුධිරවාහිනීවලත්  අඩංගු සෙරටොනික් නම් රසායනිකය යම් යම් හේතු මත වැඩි විය හැකිය. එසේ වැඩි වූ විට රුධිර වාහිනීවල සංකෝචනයක් සිදුවේ.  සංකෝචනය වන විට මිග්‍රේන් මතුවීමේ ඉඟි ලක්ෂණ පහළ වනු ඇත.
    මීළඟට සිදුවන්නේ  එලෙස සංකෝචනය වූ රුධිරවාහිනී යළි විස්තාරණය වීමයි.  එසේ විස්තාරණය වීමේදී  මිග්‍රේන්වල දී ඇති වන අධික හිසරදය හටගනී. ඉන්පසු හිසරදය සමග ඔක්කාරය වමනය වැනි ලක්ෂණ ද ඇතිවනු ඇත.
     මිග්‍රේන් රෝගයේ අවස්ථා හතරක් තිබේ.
1. රෝගය හට ගැනීමට පෙර එන ලක්ෂණ (prodrome)
      මෙය අධික හිසරදය හට  ගැනීමට පැය 12 – 24 කට පමණ කලින් ඇති වන්නකි.  ඒ අනුව ඈනුම් යාම, කම්මැලි ගතිය, නිදිමත, තැතිගැන්ම, ආහාර වැඩිපුර ගැනීමට පෙළඹීම, සුළු හිස කැක්කුම වැනි ලක්ෂණ සියල්ලම හෝ ඉන් කිහිපයක් වුව ඇතිවිය හැකිය.
2. ඉඟි ලක්ෂණ පහළ වීම (Aura)
      ඉහත විස්තර කළ ආකාරයට රුධිරවාහිනී සංකෝචනය වන අවස්ථාවේදී මෙම ඉඟි ලක්ෂණ ඇති වේ. එම අවස්ථාවේ ප්‍රධාන වශයෙන් පෙනීම සම්බන්ධ ගැටලු මතුවනු ඇත. එනම් යමක් දෙස බලන විට එය  තැන් තැන්වලින් නොපෙනීම, බලන රූපයෙහි ඉරි ඉරි මෙන් දිස්වීම, එක්වරම තාවකාලිකව දෑස බොඳ වී යාම, සමහරවිට බලන රූපයෙහි භාගයක් පමණම නොපෙනී යාම,  මුහුණ අත් හිරි වැටුණු ස්වභාවයක් දැනීම, කතා කිරීමේදී තාවකාලිකව වචන පැටලීම මෙම ඉඟි ලක්ෂණ වශයෙන් දක්වන්නට පුළුවන. මෙම ලක්ෂණ සමගම හෝ ඒ ඉඟි ලක්ෂණ ඇති වී පැයක් ඇතුළත හෝ අධික හිසරදය හට ගැනීම සිදුවේ.
3. හිසරදය (Headache )
         මේ අධික හිසරදය හෙවත් මිග්‍රේන් හට ගැනීමෙන් පසු එය පැය 4 – 72 ක් අතර කාලයක් පමණ තිබිය හැකිය. හිසේ එක් පැත්තකින් ඉදිරිපසට වන්නට හැදෙන මේ අධික හිසරදය හට ගත් ප්‍රදේශයේ ඇතැම් විට ගැහෙන සුළු ආකාරයක් ද රෝගියාට දැනෙන්නට පුළුවන.එසේම ඔක්කාරය සහ වමනය හට ගැනීම, තියුණු ශබ්ද හා ආලෝකය නොරිස්සීම වැනි ලක්ෂණද මේ අවස්ථාවේ රෝගියා තුළ ඇතිවිය හැකිය.
4. රෝගය නිවාරණය වන අවස්ථාව ( post drome )
       මෙය හිස කැක්කුම අවසන් වූ පසු එළඹෙන අවස්ථාවයි. සිරුරට  වෙහෙසකර ගතියක් දැනීම, කිසිදු වැඩක් කිරීමට අපහසුව මෙහිදී ඇති වන  ප්‍රධාන ලක්ෂණ ලෙස දක්වන්නට පුළුවන.
මිග්‍රේන් නැවත නැවත ඇතිවීමට බලපාන හේතු
* සෙරටොනික්  රසායනිකය අඩංගු සමහර ආහාර වර්ග ගැනීම  ( උදා. චීස් චොකලට් වැනි )
* එක දිගට රාත්‍රියට නිසි නින්දක් නොලැබීම
* සමහර හෝමෝන පෙති භාවිතය (උදා. කාන්තා  පවුල් සැලසුම් පෙති) සහ හෝමෝන අඩංගු වෙනත් ඖෂධ ගැනීම
* මානසික ආතතිය
* එක දිගට රූපවාහිනිය නැරඹීම, පරිගණකය දෙස බලා සිටීම
* අධික ශබ්දය
* අධික කුසගින්න
* එකවර මුහුණ දීමට සිදුවන කාලගුණික වෙනස්කම් ( මෙය කලාතුරකින් සිදුවන දෙයකි. උදාහරණයක් ලෙස රටකින් රටකට යාම දක්වන්නට පුළුවන.)
ප්‍රතිකාර
     මේ රෝගය නිශ්චය කිරීමට  විශේෂිත පරීක්ෂණ නොමැත. රෝගියා සමග කතා බහ කිරීමෙන් හා රෝග ලක්ෂණ  අනුව වෛද්‍යවරු මෙම රෝගය පිළිබඳව නිශ්චය කරති. කලාතුරකින් වෙනත් හේතුවක් මත ඇති වුවහොත් සී. ටී. ස්කෑන් පරීක්ෂණයක් කරන්නට සිදු විය හැකිය.
     මේ රෝගයට ප්‍රතිකාර අත්‍යවශ්‍යය.  මෙය තදබල පීඩාවක් ඇති කරන රෝගයක් නිසා රෝගියාගේ එදිනෙදා සියලු කටයුතු අවුල් කරන්නට සමත් වන බැවිනි.
      මෙම රෝගය සඳහා ක්‍රම දෙකකට ප්‍රතිකාර සිදු කරයි. ඒ, රෝගය වැළඳුණු විට සුව වීම සඳහා සහ නැවත නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ය. මෙහිදී රෝගියාට කොපමණ කලක් ප්‍රතිකාර කළ යුතුද යන්න තීරණය වන්නේ රෝග ලක්ෂණ හා රෝගය හැදෙන වාර ගණන වැනි කරුණු සැලකිල්ලට ගැනීමෙනි. ඉහත දැක්වූ රෝගය නැවත ඇති වීම සඳහා බලපාන සාධක හඳුනාගෙන ඉන් ඉවත්වීම, වෛද්‍යවරයා ප්‍රතිකාර නතර කරන තුරුම දිගටම ඖෂධ භාවිතය මෙහිදී ඉතා වැදගත් වේ.
 මිග්‍රේන් පාලනය කිරීම මිස නිට්ටාවට සුව කළ  නොහැකිද?
       මේ මතයෙහි සත්‍යතාවයක් නොමැත. නිදසුනක් ලෙස නියුමෝනියාව ගැන සිතන්න. එක වරක් නිව්මෝනියාව හැදුනු කෙනෙකුට යළි කවදා හෝ නිව්මෝනියාව හටගැනීමට බලපාන සාධක මතු වුණොත් නැවත එය හට ගැනීමේ අවකාශයක් තිබේ.
    දියවැඩියාව රෝගය ගැන සැලකුවහොත් ඊට කොයි තරම් ප්‍රතිකාර කළත් ප්‍රතිකාර  නතර කළ පසු නැවත රෝගය ඉස්මතු වේ.
    මේ දෙකෙහි වෙනස වන්නේ නිව්මෝනියාව නැවත හට ගන්නට හැකියාව තිබුණත්,  වරක් නිව්මෝනියාව හැදුනු කෙනෙකු එය නැවත ඇතිවීම  පාලනය කර ගන්නට යැයි කියමින් ජීවිත කාලය පුරා ඖෂධ නොගැනීම ය. නමුත් නැවත නිව්මෝනියාව හට ගන්නට බැරි කමකුත් නැත. දියවැඩියාව එසේ නොවේ. එයට ජීවත් වන තුරුම ප්‍රතිකාර කරමින් රෝගය පාලනය කළ යුතු වෙයි. මිග්‍රේන් ද නිව්මෝනියාව මෙන් නැවත හැදෙන්නට බැරි කමක් නැති රෝගයකි. මිග්‍රේන්වලට යම් කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවවේ. නැවත ඒ රෝගය  වැළඳීමට බලපාන ඉහත කී සාධක මතු වුවහොත් යළිත්  හැදෙන්නට ඉඩ කඩ ඇත. නමුත් සමහර අයට ඒ සාධක යළි මතු වූ විටෙක වුවද රෝගය  නොවැළඳී තිබෙන්නට ද පුළුවන. ඒ එක් එක් අයගේ ශරීර ස්වභාවය අනුව ය.
කායික රෝග විශේෂඥ
වෛද්‍ය කේමින්ද තිලකරත්න
විනිවිද සායනය