පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් “කවියා”ගෙන් ඉතිහාසයට චෝදනාවක්!

සිංහල කවි සමය තුළ සංයුක්ත කවි නම් ආකෘතියට එතරම් වැදගත් තැනක් හිමි වෙලා නැහැ.නමුත් අතීතයේ සිට මේ දක්වා ලියැවුණු නොයෙක් කවි වල ඇති සංයුක්ත කාව්‍ය ලක්ෂණ විචාරකයන්ගේ අවධානයට යොමු වෙලා තියනවා.ඒ අතරේ මේ සංයුක්ත කවියට විශේෂ ආකෘතික අනන්‍යතාවක් ලැබුණේ හැත්තෑව දශකයේ දී.සාම්ප්‍රදායික නොවූ අපූරු කාව්‍ය සම්ප්‍රදායක් සිංහල කාව්‍ය රචනා ක්ෂේත්‍රයට තිළිණ කරපු අජිත් තිලකසේන වගේ කවියන් ඒ සඳහා පුරෝගාමී වී තිබෙනවා.සාමාන්‍ය කවිය ශ්‍රව්‍ය මාධ්‍යයක් වුණත් මේ සංයුක්ත කවි ද්‍රශ්‍ය ගෝචර සම්ප්‍රදායකට අයිති බවයි පොදු විචාරක මතය.

ඒ වගේම ඉතාම අඩු වචන සංඛ්‍යාවකින් වඩාත් පුළුල් ආනන්දනීය සහ ප්‍රඥාවන්ත ප්‍රවේශයක් පාඨකයාට ලබා දීම මේ සංයුක්ත කවිය සතු සුවිශේෂ අනන්‍යතාවක් බවත් කිව යුතුයි.අද අපි Wall එක  සරසන්න තෝරා ගන්නේ ඒ සංයුක්ත කාව්‍ය ලක්ෂණ වලින් පිරිපුන් පද්‍ය රචනයක්.ඒ වගේම මේ කවියේ තේමාව සහ මෙහි කවියා ගැන කතා කරන විට වුණත් විශේෂ යමක් කිව යුතුයි.මේ සංයුක්ත කවිය ලියපු පුරා විද්‍යා මහාචාර්ය අනුර මනතුංග වර්තමාන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයායි.ඒ වගේම ඔහුගේ මේ සංයුක්ත කවියේ තේමාවත් පුරා විද්‍යාව හා ගසට පොත්ත වගේ සම්බන්ධ ඉතිහාසය ගැනයි.

ලෝකයේ දියුණු රටවල මානව විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයක් විදිහට පුළුල් බවට හා විවිධාංගීකරණයට ලක් වුණු අපේ රටේ ඉතිහාසය කියන විෂය පථය අදටත් වංස කතා සාහිත්‍යය කියන සැරයටියෙන් ගමන් කරන බවක් යමකුට සිතෙන්නට පුළුවන්.අපේ ඉතිහාසය භික්ෂූන් ගේත් පාලකයන්ගේත් ජීවිත අතර ප්‍රතිබද්ධතාවයෙන් තොර මානව විද්‍යා විෂය පථයක් ලෙස පුළුල් ව විහිදුවාලිය නොහැකිය යන විශ්වාසය බොහෝ නූතන ඉතිහාසඥයන් තුළ පවා තිබෙනවා.

ඒ අතරේ තමයි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කවියා මේ චෝදනාව එල්ල කරන්නේ.නමුත්,ඔහු මේ චෝදනාව කාටවත්ම එල්ල නොකොට ඉතිහාසය වෙතම එල්ල කොට තිබීම බෙහෙවින් පැසසිය යුත්තක්.අන්න ඒකට තමයි කවි කම කියන්නේ

එම්බා ඉතිහාසය….

උනුන් කා කොටාගත්
රජුන් සහ බලවත්
සඟුන් මිස ධනවත්
දනන් කෝ දුප්පත්?

අනුර මනතුංග

wall එක