රන්ජිත් සියඹලාපිටියටත් පාර්ලිමේන්තුවටත් එරෙහිව මහජන කෝපය මතු වී ඇත. කරුණු කාරණා සලකා බැලූ විට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාත්, මෛත්‍රී – වාසු ස්වාධීන කණ්ඩායමත් කුමන්ත්‍රණයක් සිදු කර ඇති බව ය. ඒ අනුව රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධූරයට ඉදිරිපත් වන්නට ඇත්තේ ආණ්ඩුවේ බහුතරය පෙන්වීමේ යටි අරමුණක් ලෙස විය යුතය.
ගිය මාසයේ මුල නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වූ රන්ජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම මුලින් ජනාධිපතිවරයා විසින් භාර නොගන්නා ලදී. ඒ අනුව ඔහු තවදුරටත් ධූරය දරන බව ප්‍රකාශ කරන ලදී. නමුත් පසුව හිටිහැටියේ ඉල්ලා අස්වීම භාරගෙන ඇති අතර පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධූරයට අලුතෙන් කෙනෙකු පත් කර ගන්නට පාර්ලිමේන්තුවේ දී චන්දයක් ද පවත්වන ලදි. ඊට ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ ඉල්ලා අස් වූ සියඹලාපිටියම ය.
ජනාධිපතිවරයාටත් ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ටත් “එල්ලෙන්නට වැලක්” අවශ්‍යව තිබුණි. ඒ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගන්නට ඔවුහු සූදානම් වූහ. අගමැති “තැල්ල” දී ජනාධිපති “බෙල්ල” බේරා ගැනීමට ගෝටාභයට අවශ්‍ය විය. මහින්ද රාජපක්ෂ සමග ඒකරාශී වී සිටින “ද්‍රෝහීන්”නැතිව ආණ්ඩුවක් හදන්නට ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට ද අවශ්‍ය විය. එය සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව ශක්තිමත් බව රටට පෙන්විය යුතුව තිබුණි. ඔවුන් තෝරාගෙන ඇත්තේ නියෝජ්‍ය කතානායකවරයකු පත් කර ගැනීමේ ඡන්ද විමසීමකට ගොස් විශාල වැඩි ඡන්දකින් ආණ්ඩුව ජය ලබා ගැනීමේ උපක්‍රමයයි. ඒ සඳහා ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙස නැවතත් රන්ජිත් සියඹලාපිටියම තෝරාගෙන ඇත.
දේශපාලනික මූලෝපායක් ලෙස ආණ්ඩුව කාල දේ නිවැරැදි ය. එහෙත්, සමස්ත ආණ්ඩුවම තම පැවැත්ම තහවුරු කර ගැනීමට තෝරාගෙන ඇත්තේ තක්කඩි ක්රමයකි. ආණ්ඩුවේ ජයග්‍රහණය ලෝකයාට පෙන්වීමට පාර්ලිමේන්තුවේ දවසක නඩත්තු වියදම කැප කර ඇත. එමගින් ආණ්ඩු පක්ෂය පෙන්වන්නේ තම පැවැත්ම සදහා කවර මිලක් හෝ ගෙවීමට පසුබට නොවන බව ය.
මේ තක්කඩි ක්‍රමය ආණ්ඩුව තෝරා ගත්තේ මහජන වේදනාවන් සම්බන්ධයෙන් ආණ්ඩුවට සංවේදීතාවක් නැති නිසා බව හොදටම පැහැදිලි ය. මෙවැනි අර්බූදකාරී අවස්ථාවක හෝ සත්භාවයෙන් වැඩ කරන්නට ආණ්ඩුව සූදානම් නොවීම සමාජය විසින් සුළුකොට තැකිය යුතු නැත. ඔවුන් නැවත නැවත ඔප්පු කරන්නේ ඔවුන්ගේ තක්කඩි හා ජඩ හැසිරීමේ රිද්මයයි. එහෙත් ඊට සමාන්තරව සමස්ත පාර්ලිමේන්තුවම සමාජයෙන් ප්‍රතික්ෂේප වන බව ඔවුන්ට නොතේරේ.
උද්ගතව ඇති ව්‍යසනකාරී අර්බූදයට පාර්ලිමේන්තු ක්‍රමය තුළින් විසදුම් නොලැබෙන බවට ඔවුන් ලබාදෙන හැඟවුම අතිශයෙන් භයානක ය. ලංකාවේ ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තුවාදී වුවත් පවතින අර්බූදය පාර්ලිමේන්තුව විසින් බරපතල ලෙස ගණන් නොගැනීම නිසා රට සිවිල් යුද්ධයකට වුවද තල්ලු විය හැකිය.
ලංකාවේ පවතින ප්‍රභූ පන්ති පාලනයේ ව්‍යාජය ඊයේ හොඳින්ම හෙළිවිය. පාර්ලිමේන්තුවෙන් බාහිරව ජන අරගල ව්‍යාපාරයක් නිර්මාණය වූයේ ද මේ ව්‍යාජය නිසා ය.
කේ.ජී පිලිප් ශාන්ත