මහාචාර්ය පදවියක් හොබවන පෝෂණ වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයකු වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකුගේ රෝග පරික්ෂාව ප්‍රතික්ෂේප කිරීම මුල් කොට ගත් සමාජමය කතිකාවක් දැන් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබේ.ඒ අගනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දීය.හදිසි හෝ අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දීමක් නොවන එය ප්‍රතික්ෂේප කිරීම වෛද්‍යමය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දැක්වීමට ද සමහරුන් උත්සුක වනු පෙනෙයි.එහෙත්, මා මෙම සටහනට පාදක කර ගනුයේ එය නොවේ.වත්මන් සමාජයේ ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන එම වෛද්‍ය මහාචාර්ය වරයා එම තීරණය ගෙන ඇත්තේ එම දේශපාලනඥයා ද සහිත වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළින් තමන් අත් විඳින පීඩාව මුල් කොට වීම නිසා බවට ඔහු කළ ප්‍රකාශයයි.
මෙවන් සිදුවීම් අනුව බලන විට වර්තමාන ආණ්ඩුව තරම් ජනතා අප්‍රසාදයට පත් අන් රජයක් මෙරට දේශපාලන ඉතිහාසය තුළින් සොයා ගත නොහැකි යැයි යමකුට සිතෙන්නට පුළුවන. ජනතා පරමාධිපත්‍යය පදනම් කර ගත් ප්රජාතන්ත්රවාදය අවභාවිතා කරමින් රාජ්‍ය නායකයාගේ සිට රාජ්‍ය පාලනයේ වැඩි භාරය එකම පවුලක් යටතට පවරා ගැනීමත් ඒ ඔස්සේ ගනු ලැබූ නොවිධිමත් අදූරදර්ශී දේශපාලනික තීන්දු තීරණ සේම ගත වූ කාලය මුළුල්ලේ ඔවුන් විසින් සිදු කරන ලදැයි පැවසෙන මහා පරිමාන සොරකම්, වංචා, දූෂණ ආදිය මුල් කොට වර්තමාන ලෝකයේ අපේ රට නරකම තැනකට තල්ලු වෙමින් පවතින බවට ප්‍රබල විශ්වාසයක් ජන මනැසේ සනිටුහන් ව තිබේ.මෙරට ජන විඥානය තුළ මුල් බැසගත් එම හැඟීම් දාමය ඉවත්කිරීම පහසු නැත. ඉහත සඳහන් ජනතා අප්‍රසාදයට, පිළිකුලට, සේම කෝපයට එම කරුණු හේතු භූත වී ඇති බව අපගේ පෞද්ගලික වැටහීම ය.
මේ තත්වය යටතේ පොදු ජනතාව ආණ්ඩුව වෙත එල්ල කරන උද්වේග කර ප්‍රතිචාර අතරේ ‘හෙන ගහපන්’ ‘හෙන හතම වැදියන්’ ආදිය මුල් තැනක් ගන්නා බව රහසක් නොවේ. සාමාන්‍ය ජනතාව අතුරින් නැගෙන එවන් ආවේගාත්මක ප්‍රතිචාර රූපවාහිනී ප්රවෘත්ති ප්‍රකාශ වලින් ද අපි දැක ඇත්තෙමු.පසුගිය කාලය තුළ ආණ්ඩුවට එරෙහි ලොකුම විරෝධය එල්ල වූයේ පසුව ජනාධිපති වරයා ද තම්න්ට වැරදුණු බව පිළිගත් රජය විසින් ක්‍රියාත්මක කළඅතිශය අදූරදර්ශී රසායනික පොහොර තහනම මුල් කර ගෙනය.එය බොහෝ විට ග්‍රාමීය ජන සමාජයෙන් රජයට එල්ල වූ විරෝධතාවක් විය.
එහෙත් ගත වූ කෙටි කාලය තුළ එය නාගරික ඉහළ මධ්‍යම පන්තියෙන් ආණ්ඩුවට එල්ල වන විරෝධතාවයක් දක්වා ප්‍රවර්ධනය වී තිබේ.ග්‍රාමීය සමාජයට සාපේක්ෂව බටහිර සංස්කෘතික ආභාෂය ලබන නාගරික ඉහළ මධ්‍යම සමාජය ආචාර විචාර මට්ටමින් ඉහළ තලයක පසුවන බව පොදු පිළිගැනීමකි.ගැමි සමාජයේ නොමැති ලෙස තම ශිෂ්ඨත්වය සදාචාරාත්මක බව හුවා දැක්වීම පිණිස හලෝ,හායි ආදී ව්යහාරයන් මුල් කොට ගත් ඔවුනටම ආවේණික වදන් ගති සිරිත් ආරෝපණය කරගත් මොවුන් ද අද ආණ්ඩුව සම්බන්ධයෙන් කතා කරද්දී “හෙණ ගහපන්” ආදී ප්‍රාථමික වදන් යොදනු අසන්නට දකින්නට ලැබේ.
ඒ ඕනෑම කෙනකු ලබන දරා ගත නොහැකි මානසික පීඩනය හමුවේ සිය කෘත්‍රිම සංස්කෘතික ආරෝපණ වලින් අත්මිදී ප්‍රාථමික තත්වයට(Primitive ) පැමිණෙන බැවිනි. අප ජන සංස්කෘතියේ එන ශාප කිරීම් වලින් බිහිසුණුම ශාපය “හෙණ හත වැදීම” ය.එහෙත්, මෙම ශාපය ලොව බොහෝ සමාජයන් වලින් අසන්නට නොලැබේ. ඒ හෙණ හෙවත් අකුණු ගැසීම් භෞතික ක්‍රියාවලියක් වශයෙන් එම සමාජවල ජන විඥානයන් හි බද්ධව ඇති බැවිනි. එහෙත්, අප ගේ බස් වහරෙහි “හෙන”, යන්නෙන් බිඳ වැටීම ද අදහස් කරන බැවින් මෙය යමකු ගේ විනාශය අඟවන සංකේතාත්මක වදනක් මිස ඒ තැනැත්තා අකුණු ප්‍රහාරයකට ලක් විය යුතු යැයි කෙරෙන ප්‍රාර්ථනයක් නොවන බව අපගේ වැටහීම ය.
බටහිර සංස්කෘතියේ වාසනාවේ සංකේතාංකය වන ‘හත’ අප සමාජයේ ගුප්ත ආරෝපණයක් හිමිව ඇති බව ඉතා පැහැදිලි ය. අප ජන වහරේ එන හත් වලාමේ යන්නෙන් මරණ හතක් සිදු වීම හැඟවෙන අතර එහි වලාමේ යන්න වලහම වැලදැමීම හෙවත් භූමදානය හැඟවෙන වදනකි.
මේ සියලු කරුණු කාරණා මුල්කොට රටේ ජනතාව ගේ මෙතරම් පිළිකුලට අප්‍රසාදයට සේම ද්වේෂයට පත්ව ඇති වත්මන් රජයේ නායක කාරකාදීන්ට “හෙණ හෝ හෙන” හතම වදින ලෙස පවත්නා සරල ලෙසින් කිවහොත් ‘පොදු ජන පැතුම’ ඉටු නොවනුයේ මන්ද යන්න බොහෝ දෙනකු තුළ විමතිය හා කුතුහලය දනවන පැනයකි.එහෙත්, ඒ සම්බන්ධයෙන් මෙරට ජන විඥානය තුළ පවත්නා විශ්වාසයන් පිළිබඳව විමසුම් කිරීමේ දී අනාවරණය කර ගත හැකි කරුණු කීපයක් තිබේ. එනම් කිසියම් සාධාරණ පදනමකින් යුතුව කෙරෙන.
ශාප වැදීම් ක්‍රියාත්මක වීම ලෞකිකත්වය අතික්‍රමණය කරවන්නක් බැවින් ඒ සම්බන්ධ කාල වකවානු තීරණය කිරීම ලෝකීය විනිශ්චයන් වශයෙන් අපට කළ නොහැකි බව ය.අපගේ හැඟීම් ආවේග පදනම් ව කරන මෙම ශාප කිරීම් වල බලය ශක්තිය මිහි තලයට ඉහළ අන්තරීක්ෂයේ යම් කාලයක් තැන්පත්ව පසුව එය ක්‍රියාත්මක වන බවට ජන විශ්වාසයක් තිබේ.ඒ සම්බන්ධ තොරතුරු අතිවිශාල සංඛ්‍යාවක් භාරතීය වෛදික සංස්කෘත සාහිත්‍යයෙන් ගොනු කර ගත හැක. ශ්‍රී ලංකාවේ පර්වත ආශ්‍රිතව දක්නට ලැබෙන අභිලේඛන හෙවත් ශිලා පුවරුවල සටහන්ව ඇති ශාප පාඨ බොහොමයක් ද වෛදික සංස්කෘතික බලපෑමෙන් ලියැවුණු ඒවා බව පෙනෙයි.
එමෙන්ම යමකු මෙම ශාපවලට ලක් වීම සම්බන්ධ ප්‍රධාන ලක්ෂණයක් ලෙස ඒ තැනැත්තා ගේ හෝ කණ්ඩායමේ මනැස් විකෘති වන බවත් ද ඒ සමඟම එම පුද්ගලයාගේ හෝ ශීඝ්‍ර පරිහානිය මගින් විනාශය උදාවන බවත් අප ජන විඥානයේ ස්ථාපිත කරුණකි. එම කරුණු වල සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් වර්තමානයේ රාජ්‍ය නායක කාරකාදීන් තුළ පවත්නා චින්තනමය විපරීතභාවය සහ ඔවුන් මුහුණ දෙන අනාගත ඉරණම් අනුව වත්මන් රාජ්‍ය පාලකයන් කෙරෙහි බොහෝ දෙනකු එල්ල කරන හෙණ හත වැදීමේ ශාපය කෙතෙක් දුරට සඵල හා බලාත්මක විණි දැයි නුදුරේ දීම මෙරට ජනතාව වටහා ගනු ඇත.
ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර