හිට්ලර් මාවත හරහා ලිච්ඡවීපුර

සෑම වෙසක් පුන් පොහොය දිනයක් මුල් කර ගනිමින්ම අප රටේ රාජ්‍ය නායකයෝ වෙසක් ආශිංසන,සුබ පැතුම් පණිවිඩ නිකුත් කරති. එහෙත්, අප රටේ බොහෝ දෙනකු ඒවා කියැවීමට වත් උනන්දු නොවනුයේ ඒ සුබ පැතුම් පණිවිඩ වල ඇති ඒකාකාරීත්වය නිසා ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙක් උනන්දුවක් නොදැක්වූහ. ඒ සඳහා මුල් කරුණට අමතරව බලපෑ තවත් වැදගත් කරුණක් තිබිණ. එනම් “අපේ රටට මෙච්චර හරියක් කරලා මේ මිනිහා තව ලජ්ජා නැතුව වෙසක් පණිවිඩත් නිකුත් කරන්නත් එනවා” යන හැඟීම පදනම් කර ගත් පොදු ජන අප්‍රසාදයයි. එහෙත්, ඒ වෙසක් සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ දැක්වෙයි.

“රට අසීරුතාවට පත් ව ඇති මේ මොහොතේ සියලු රට වැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා එක්ව විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු ය.ඒකායන අරමුණ විය යුත්තේ මූලික අරමුණින් බැහැර නොවී අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා වීම ය.
පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක් විය යුතු ය.ඒ බෞද්ධ පිළිවෙත ය. ඒ සඳහා ලිච්ඡවී සංකල්පය වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක් වන්නැයි මේ උතුම් වෙසඟ දිනයේදී මම ඔබගෙන් ඉල්ලා සිටිමි.”

ජනාධිපතිවරයා එමඟින් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින ලිච්ඡවී රාජ සංකල්පය ත්‍රිපිටක සාහිත්‍යය විචිත්‍රවත් කරන රාජ්‍ය පාලන දර්ශනයකින් යුතු ය. එහෙත් අද සමාජයේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව වගේ වගක් නොදනිති.

ලිච්ඡවී රාජ්‍ය පාලන ක්‍රමය පිළිබඳ අංග සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගත නොහැකි මුත් ඒ සම්බන්ධ බොහෝ තොරතුරු බෞද්ධ සාහිත්‍යයේ ඇත. චුල්ල කාලිංග ජාතකයෙහි සහ ඒකපණ්ණ ජාතකයෙහි වර්තමාන කතාවේ සඳහන් වන්නේ ලිච්ඡවී වරුන් හට රජ දරුවන් හෙවත් පාලක වරුන් හත් දහසකටත් වඩා සිටි බවයි. නමුත් මෙම සංඛ්‍යාව බොහෝ පිරිසක් බව හැඟවීමට යෙදුණු වදනක් පමණක් විය හැකිය.එමෙන්ම මෙහි ‘රජ දරුවන්’යන්න පාලන සුදුසුකම් ලැබූවන් බව ද පෙනෙයි.

මින් පැවසෙනුයේ පූර්ණ රාජාණ්ඩු සහිත තදාසන්න රාජ්‍යයන්ට වඩා වෙනස් වූ පාලන ක්‍රමයක් ලිච්ඡවීන් සතුව පැවැති බව ය.මෙම රජ දරුවන් අතුරින් පාලකයෙකු ලෙසින් අයෙකු සහ ඔහුට සහය වීමට නව දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් තෝරා ගැනීම සෑම වසරකම රැස් වූ හත් දහසකටත් වැඩි ‘රජ දරුවන්” විසින් කරන ලදී වජ්ජි මහා ජනපදයේ විසූ සමස්ත ලිච්ඡවී ජනගහණයෙන් කුඩා කොටසකට පමණක් ඡන්දය දීමේ වරම තිබුණු මෙම ක්‍රමය, අතීතයේ රෝමය,ඇතැන්ස් ආදී ඉපැරණි ශිෂ්ඨාචාර වල පැවැති පුර රාජ්‍යය( City states)ක්‍රමය තුළ එවක පුරවැසියන්(Citizen) නමින් හැඳින්වුණු ප්‍රභූ පැලැන්තියට හිමි බලයට සමාන බලයක් වූ වූ බව පෙනෙයි.නමුදු මෙම සුවිශේෂී පුරවැසි ඡන්ද ක්‍රමය සමකාලීන භාරතයේ රාජාණ්ඩු තුළ දක්නට නොලැබිණ.ඒවායෙහි වූයේ පියාගෙන් පුතුට පාලන බලය පැවරෙන ක්‍රමයකි.

නමුදු මෙම ලිච්ඡවී පාලන ක්‍රමය තුළ වුව ද රජකමට හිමිකම් කිව හැකිව තිබුණේ ක්ෂත්‍රිය කුලයට (වර්ණයට) අයත් පවුල්වල පිරිමි පාර්ශවයට පමණි.ඊට හේතුව එවක භාරත සමාජයේ පැවති කුල භේදය අනුව ක්ෂත්‍රිය නොවූ කිසිවකුට හා ක්ෂත්‍රිය කුල කාන්තාවකට වුව රාජ්‍ය පාලනයට පැමිණීමේ සමාජමය අවකාශයක් නොතිබීම ය.

ලිච්ඡවී පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වජ්ජි ජනපදයේ අගනුවර වන වෛශාලී හෙවත් විසාලා මහනුවර විය. රාජ්‍යයේ විධායක සේම අධිකරණමය බලය ද එම රජතුමා වෙත පැවරුණි.පන්සිය පනස් ජාතකයේ එන භද්දසාල ජාතකයේ වර්තමාන කතාවේ, විසාලා මහනුවර රාජකීයන් අභිෂේක කිරීම පිණිස ජලය ලබා ගැනීමට භාවිතා කළ වැවක් පිළිබඳව සඳහන් වෙයි.ඉන් පෙනී යනුයේ ඔවුන්ගේ රාජාභිෂේකයන් සුලබ වූ බව ය සාකච්ඡා සඳහා මෙම රජ දරුවන් රැස්වූ සම්මන්ත්‍රණ ශාලාව හැඳින්වුනේ සන්ථාඝාර ශාලා ලෙසිනි.බෞද්ධ අටුවා ග්‍රන්ථ වල සඳහන් අන්දමට ලිච්ඡවී පාලන ක්‍රමය තුළ විධායකය(රජ තුමා) උප විධායකය(උප රජූ) රාජ්‍යාරක්ෂකයා(සේනාධිපතී) සහ භාණ්ඩාගාර අධිපතියකු පිළිබඳව සඳහන් වෙයි.නමුදු මෙහි පවතින විශේෂත්වය වනුයේ මෙම බලතල රාජාණ්ඩුවක රජ කෙනකුට මෙන් අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට ලිච්ඡවී පාලකයකුට අවකාශයක් නොමැති වීම ය.ඒ එම සමස්ත රාජ්‍ය පාලන ක්‍රියාවලිය සෙසු රජ දරුවන්ගේ නිරීක්ෂණයට ලක් වීම නිසා ය.

ලිච්ඡවී පාලන ක්‍රමය තුළ අධිකරණ ක්‍රියාවලිය ද රාජාණ්ඩුවකට වඩා ඉදුරාම වෙනස් ය.බෞද්ධ අටුවාවේ දැක්වෙන අන්දමට අපරාධකරුවෙක් පළමුව භාර දෙනු ලබන්නේ විනිශ්චය මහාමාත්‍යවරයෙක් (විනිශ්චය කරන මහේස්ත්‍රාත්වරයෙක්) වෙතටය. ඔහු විසින් ඒ සම්බන්ධ මූලික විමර්ශනය කිරීමෙන් පසුව චූදිතයා වරදකරු බවට තීරණය වන්නේ නම්, වෝහාරික වෙත ඉදිරිපත් කෙරෙයි.වෝහාරික යනු රටේ පවත්නා නීති සම්ප්‍රදායන් ගැන ශාස්ත්‍රීය දැනුමක් ඇති රජයේ නිලධාරියෙකි. චූදිතයා නිවැරැදිකරු බව ඔහුට පැහැදිලි වූයේ නම් ඔහු නිදහස් කිරීමට වෝහාරිකට පූර්ණ බලය තිබේ.,නොඑසේ නම් සූත්‍රධාර (නීතිය පිළිබඳ අග්‍රතම නිලධාරියා) වෙත චූදිතයා භාරදෙනු ලබයි. ඔහු ද චූදිතයා වරදකරු බව අවධාරණය කරගත් සූත්‍රධාර විසින්, ඔහු අත්ථ කුලක (පවුල්මය යහපත සළසන්නා) වෙත භාර වෙත භාර දෙනු ලබයි.අත්ත කුලක යනු චූදිතයා ගේ පවුල් පසුබිම ඔහුගෙන් යැපෙන්නවුන් ආදිය පිළිබඳ විස්තර විමසා ඒ කරුණු මුල් කොට හෝ නිදහසක් දිය හැකි ද යන්න යුක්ති ධර්මානුකූලව තීරණය කරන නිලධාරියා ය.

මෙවැනි තනතුරක් වර්තමානයේ නොවීම මත යම් අපරාධකරුවකුගේ දඬුවමක් මුල් කොට ඔහුගේ අඹු දරුවන් ඊටත් වඩා දරුණු දඬුවම් විඳින අවස්ථා තිබේ.අත්ථකුලක විසින් ද චූදිතයා වරදකරු බවත් දඩුවම් ලැබිය යුතු බවත් අවධාරණය කළහොත්, ඔහු සේනාපති වෙත භාර දෙනු ලබන අතර, චූදිතයා වරදකරු බව නිසැක ලෙසම වටහා ගත් ඔහු විසින් උපරාජ වෙත චූදිතයා භාර දෙනු ලබයි. උප රාජ විසින් ද ඔහු වරදකරු බව වටහා ගත්තේ නම්, රජතුමා වෙත යොමුකරනු ලබයි. රජතුමා විසින් ද චූදිතයා වරදකරු බවට තීරණය කෙරුණු විටක, පවේණි පොත්තක (පූර්වාදර්ශ පුස්තකය) තුළ අදාල වරද සඳහා නියම කර ඇති දඬුවම පමණක් චූදිතයා වෙත පනවනු ලබයි.ඒ අනුව ලිච්ඡවී පාලන ක්‍රමය තුළ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් කොතෙක් දුරට ආරක්ෂා වන්නේ ද යන්න අපට සිතා ගත හැක.

බුද්ධ කාලීන භාරතයේ රාජ්‍ය පාලනය සිදු වූ එක් පාලකයකු හෙවත් රජ කෙනෙකු යටතේ සිදු වූ නපෘතිපති තන්ත්‍ර පාලනයට අමතරව පැවැති සමූහයක් විසින් කරනු ලබන මෙම ගණ තන්ත්‍ර රාජ්‍ය පාලනය වඩාත් හොඳ යැයි බුදුන් වහන්සේ දෙසූ තැනක් ත්‍රිපිටක සාහිත්‍යයෙන් සොයා ගත නොහැක. ඒ ලෝක වාසී සත්වයා සසර දුකින් මුදාලීම පිණිස මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විචාරීම බුදු කෙනකුගේ අභිප්‍රාය නොවන බැවිනි. එහෙත්, බුදුන් වහන්සේ ගේ ඇතැම් දෙසුම් අනුව උන්වහන්සේ පෞද්ගලික මට්ටමින් මෙම ලිච්ඡවීන් පවත්වා ගෙන ගිය ගණ තත්‍ර පාලන ක්‍රමය අගැයුමට ලක් කළ බවට සාධක සූත්‍ර පිටකයෙන් සොයා ගත හැක. එමෙන්ම ලිච්ඡවී රජ දරුවන් බුදුන් වහන්සේට ද අතිශය හිතවත් ව කටයුතු කළ බවට සූත්‍ර පිටකයෙන් කරුණු සොයා ගත හැක.

වරක් බුදුන් වහන්සේ ඉදිරියට ලිච්චවි රජ දරුවන් පිරිසක් පැමිණෙන විට උන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ සිටින භික්ෂුන් හට මහණෙනි “ඔබ තව්තිසා ලොව දෙවිවරුන් දැක නැත්නම් මෙන්න බලා ගන්න”. යනුවෙන් පැවසූ පුවතක් ද සූත්‍ර පිටකයේ එයි.ඒ ඔවුන් ප්‍රවේණිගතව අතිශය කඩවසම් සිරුරු වලින් යුතු වූවන් නිසා ද විය හැක.එමෙන්ම බුදුන් වහන්සේ ඔවුන් සමඟ කොතෙක් මිත්‍රශීලී ව සිටියේ ද යත් වරක් “දැන් ඔබ පෙර වගේ කාන්තාවන් පසුපසින් ගොස් ඔවුන්ගේ පසුපසට තට්ටු කරන්නේ නැද්ද?”යනුවෙන් සරදම් පැනයක් දැන අසා තිබේ.බුද්ධ භාෂිත අතරට අයත් මෙවන් හාස්‍ය මුසු රසවත් ප්‍රකාශ සමාජ කරලියට නො එනුයේ ඒවා මඟින් බුද්ධ ගෞරවයට හානියක් වෙතැයි යන අන්ධ විශ්වාසය නිසා ය.

එමෙන්ම ලිච්ඡවී රජ දරුවන් බුදුන් වහන්සේ ගේ අවවාද අනුශාසනා අනුව තම රාජ්‍ය පාලනය සකස් කර ගත් බව අද පාසල් දරුවන් පවා දන්නා බුදු දහමේ එන සප්ත අපරිහානීය ධර්ම පිළිබඳ පාඩමින් පැහැදිලි කරගත හැක .සප්ත අපරිහාණිය ධර්ම බුද්ධ කාලීන වජ්ජි ජනපදය පාලනය කළ ලිච්ඡවීන්ට හඳුන්වා දෙනු ලැබුයේ බුදුරජාණන් වහන්සේ විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට සප්ත අපරිහාණී ධර්ම ද මහඟු පිටුවහලකි. එම අපරිහානීය ධර්ම හත මෙසේ ය.

1. නිතර නිතර රැස්වීම

2. සමඟියෙන් රැස්ව සමඟියෙන් ක්‍රියා කොට සමඟියෙන් විසිර යාම

3. නොපැනවූ නීති නොපැනවීම, පැන වූ නීති කඩ නොකිරීම

4. වැඩිහිටියන්ට ගරු කිරීම

5. විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්ෂාව සැලසීම

6. වජ්ජි ජනපදයෙහි හා පිටත පූජනීය ස්ථාන වලට ගරු කිරීම

7. තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේට පහසුකම් හා ආරක්ෂාව ඇති කිරීම

පීතෘ ඝාතකයෙකු වූ අජාසත්ත රජතුමා සිය බලය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ලිච්ඡවීන් පාලනය කළ වජ්ජි ජනපදය යටත් කර ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය. අවසානයේ වස්සකාර මහ ඇමති නියෝජිතයා යවා ලිච්ඡවීන් වරුන් පරාජය කළ නොහැක්කේ මන්දැයි බුදුන්ගෙන් විමසනු ලැබීය.

එයට කෙලින් පිළිතුරක් නොදුන් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගෙන්, ලිච්ඡවීන් තමන්ගේ උපදෙස් පරිදි සප්ත අපරිහාණීය ධර්ම අනුව රට පාලනය කරන්නේදැයි විමසීය. ”එසේය ස්වාමීනී” යයි පිළිතුරු දුන් විට ලිච්ඡවීන් එකමුතුකම මත පදනම් වන යහ පාලනය අනුව රට පාලනය කරන තුරු ඔවුන් යටත් කළ නොහැකි බව බුදුන් වහන්සේ දේශනා කළහ. මහාපරිනිබ්බාණ සූත්‍රය තුළ මෙම කතා ප්‍රවෘත්තිය දක්නට තිබේ.

පසුව බුදු වදන බොරු කළ නොහැකි බව අවබෝධ කරගත් අජාසත් රජු ඊට අනුකූලව ක්‍රියාත්මක වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ය.එහි දී අජාසත්ත රජු ඇතැම් ජනපද තුළ උපක්‍රමශීලීව තමන්ට හිතවත් පිරිස් හා නිලධාරීන් මගින් වර දාන ලබාදී, වංචා, මැර හා දූෂණ බොරු ප්‍රචාර වපුරා අයහපත් පරිසරයක් ඇති කොට ජනතාව භේද භින්න කර අසමගිය ඇති කොට ලිච්ඡවීන් යටපත් කළේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසුව බව ද එහි සඳහන් ය.ලිච්ඡවීන්ගේ පාලන ක්‍රමය පිළිබඳව විමැසීමේදී කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය නම් පැරණි දේශපාලන මාර්ගෝපදේශ සංග්‍රහය ද අපගේ අවධානයට යොමු කළ යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමට පෙර ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ පෙර ඔහුගේ හැට නව වන උපන් දිනය මුල් කොට දෙනු ලැබූ සංඝගත දක්ෂිණාවට සහභාගී වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් ගෝඨාභයට අනුශාසනා කොට සිටියේ “ඔබ තුමාට හිට්ලර් කෙනෙක් කියලයි කියන්නේ. එහෙම කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියලා තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ; ඔබ තුමා මිලිටරි පාලනයක් අරගෙන ගිහින් මේක හදන්න කියලා නැවතත් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

මින් ඉතාමත් පැහැදිලි වනුයේ දිගු කාලයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ උපාලි අනු නා හිමියන් තුළ මිනිසුන් මිලියන ගණනක් ඝාතනය කළ මානව ඉතිහාසයේ කෲරතම පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් ගැන,මිලිටරි පාලනය ගැන තබා බුදුන් වහන්සේ විසින් අනුමත කළ ලිච්ඡවී පාලන ක්‍රමය ගැනවත් කිසිදු අවබෝධයක් නොතිබූ බවය.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ගොඩනැඟී තිබූ “මහ දරුණු මිනිසෙක්” ය යන අයහපත් ප්‍රතිරූපය තම ජනාධිපති ධුර කාලය තුළ බිඳ දමා ගැනීමට ඔහු සමත් වී තිබේ. පසුගිය කාලය තුළ ඔහු විසින් ගන්නා ලද අදූරදර්ශී දේශපාලන තීන්දු තීරණ තමන්ට සිදු වූ වැරදීම් ලෙස ගෝඨාභය පිළිගන්නා ලද්දේ මින් පෙර කිසිදු රාජ්‍ය පාලකයකු නොකළ පරිද්දෙනි.
2015 ජනපතිවරණයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ ඔහුගේ පාලනය තුළින් ජනතා පරමාධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙමින් පැවැතීම නිසා ය.

එහෙත් ඔහු තාමත් කියනුයේ තමන්ගේ පරාජයට හේතුව මහ ජනතාව වැරදි තීරණයක් ගැනීම බවය. 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් ගිලිහී යමින් තිබූ ඒ ජනතා අයිතිවාසිකම් යළි ගොඩනංවා ගැනීමටය. එහෙත්, ඉන්පසු 2019 බලයට පත් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අව ප්‍රමාණ කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ අතර එය ද තම පාලන කාලය තුළ සිදු වූ වරදක් බවත් නැවත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවථා සංශෝධනයේ සාධනීය ලක්ෂණ ද සහිතව 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වෙත යා යුතු බවත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුවම පිළිගෙන හා ප්‍රකාශ කොට ඇත. ඒ අනුව හිට්ලර් නම් කුරිරු ඒකාධිපති පරමාදර්ශය වෙතින් ලිච්ඡවී රාජ්‍ය සංකල්පය නම් බෞද්ධ දේශපාලන පරමාදර්ශය වෙත යොමු වීම ජනාධිපතිවරයා අඳුරින් එළියට ඒමක් බව නිසැක ලෙසම කිව යුතු ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර