කොවිඩ්-19 ආසාදිත වූවන් හිටිහැටියේ මහ මඟ ඇද වැටී මිය යන බවට දැන් ටික කලෙක සිට ජනමාධ්‍ය වල පුවත් පළ වීමට පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ ඇතැම් පුවත් මඟින් අනාවරණය කෙරෙනුයේ එසේ හදිසියේ මහ මඟ ඇද වැටී මිය යන පුද්ගලයන් ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ පසු ඔවුන් කොවිඩ්-19 ආසාදනය වූවන් ලෙස තහවුරු වී ඇති බවයි.
එමෙන්ම මෙම මරණ වැඩි ප්‍රමාණයකට හේතුව කොවිඩ්-19 රෝගයේ සංකූලතාවයක් වශයෙන් හට ගන්නා හෘදයාබාධ බව ද බොහෝ දෙනකු ගේ විශ්වාසයයි.
මිනිසුන් හදිසියේ මිය යාමේ තත්වයන් කොටස් දෙකක් වශයෙන් නම් කළ හැකිය. ඒ ක්ෂණික මරණ සහ හදිසි මරණ යනුවෙනි. ක්ෂණික මරණයක් යනු ජීවිතයේ සාමාන්‍ය කටයුතුවල යෙදී සිටින යමකු එක් ක්ෂණයක් තුළ මරණයට පත් වීම ය. මෙලෙස සිදුවන ක්ෂණික මරණ වලින් සියයට අනූවක්ම හෘදය වස්තුව ඇනහිටීමෙන් සිදුවන බව අනාවරණය වී තිබේ.
එනිසාම ඒවා ක්ෂණික හෘදමය මරණ (Sudden cardiac death) යනුවෙන් හඳුන්වනු ලැබේ. හෘද රෝගයක් නිසා යමෙකු ක්ෂණික මරණයකට ලක්වීමට හේතු කිහිපයක් තිබේ. ඒවා අතරින් myocardial infarction, myocarditis හා හෘදයේ රිද්මය වෙනස් වීම හෙවත් ventricular arrhythmia මුල් තැනක් ගනී. ඊට අමතරව පෙනහළුවලට රුධිරය සපයන ධමනියක ලේ කැටියක් සිරවීමෙන් එම ධමනිය අවහිර වීම හෙවත් pulmonary embolism ද හෘදය වස්තුව මුල් කොට ක්ෂණික මරණයක් ඇති කරවන හේතුවකි.
හෘද රෝගීන්, හෘද රෝග ලක්ෂණ පළ කරන්නවුන් අතරින් සේම කිසිදු හෘද රෝගයක ලක්ෂණ නොමැත්තවුන් පවා මෙවන් ක්ෂණික මරණ වලට ලක් විය හැක.
මෙම ඇතැම් මරණ වලට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි කරගත හැකි අතර ඇතැම් මරණ වලට හේතුව මළ සිරුරේ හෘදය වස්තුව සහ වෙනයම් අභ්‍යන්තර ඉන්ද්රියයන්ගෙන් දෘෂ්‍යමාන නොවීම මත මූලික මරණ පරීක්ෂණ වලදී එම මරණ වලට හේතුව අනාවරණය කරගැනීමේ යම් නොහැකියාවක් ද පවතී. ඊට අමතරව ස්වසනය ඇනහිටීමෙන් සිදුවන ක්ෂණික මරණ වාර්තා වනුයේ ඉතාමත් අඩුවෙනි.
මේ හැරුණු කොට හදිසි මරණ යනු මෙම ක්ෂණික මරණ ද ඇතුලත්ව මරණයකට තුඩු දිය හැකි රෝගාබාධයක් නොමැතිව හෝ ඒ පිළිබඳව නොදැනුවත්වම සිටිය දී සිදුවන මරණ ලෙස දැක්විය හැක.
යමකු හිටිහැටියේ රෝගී තත්වයකට පත් වීමෙන් පසු රෝහල් ගත කරන අවස්ථාවේ හෝ රෝහල් ගත කොට පැය විසි හතරක් ඉක්ම යාමට පෙර සිදුවන මරණ හදිසි මරණ ලෙස නම් කළ හැකි ය.
ලෝකයේ නිරන්තරව සිදුවන මිනිස් මරණ වලින් යම් කොටසක් මෙම ක්ෂණික හෝ හදිසි මරණ ගණයට වැටේ. “ගහක් ගලක් වගේ හිටපු මනුස්සයට එක පාරටම මොකද මේ වුණේ?” යනුවෙන් සමහරුන් ගේ ක්ෂණික හා හදිසි මරණ සම්බන්ධයෙන් ඇතැමුන් එසේ පවසනු අපි ද අසා ඇත්තෙමු.
දැනට සාමාන්‍යයෙන් අනුමාන කෙරෙන අන්දමට දිනකට අප රටේ සියයක් පමණ දෙනා හදිසි හෘදයාබාධ වලට ලක්වෙති. එමෙන්ම ඔවුන් අතුරින් විස්සක් පමණ එය වැළඳුණු මොහොතේම ක්ෂණික මරණ වලට පත් වෙති. එහෙත්, වර්තමානයේ පැතිර යන කොවිඩ්-19 ගෝලීය වසංගතය මුල් කොට එම හදිසි මරණ හා කොවිඩ්-19 වසංගතය අතර යම් සබැඳියාවක් ඇතැයි යන ස්වභාවික සිතුවිල්ල ලොව බොහෝ දෙනකු තුළ තිබේ.
එලෙස මිය යන්නවුන් ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමේ දී ඔවුනට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් එය කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවන මරණයක් බවට පොදුවේ නිගමනය කෙරේ. මෙම තත්වය සැළකිල්ලට ගත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විවිධ හේතුන් මත ක්ෂණික සහ හදිසි මරණ වලට ලක් වන්නවුන් ගේ මළ සිරුරු පිළිබඳ පීසීආර් පරීක්ෂණ වලදී එම පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් ඒවා කොවිඩ් ආසාදිත මරණ වශයෙන් ප්‍රකාශයට පත් කරයි. ඒ මානව සුරක්ෂිතතාවයට ප්‍රමුඛතාවක් හිමි විය යුතුය යන මූල ධර්මය පදනම්කර ගනිමිනි.
නමුදු ඒවා කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවූ මරණ ද නැතහොත් වෙනයම් හේතුන් මත ක්ෂණික හා හදිසි මරණයන්ට පත් වූ පුද්ගලයන් කොවිඩ් ආසාදනයන්ට ලක් වී තිබීම ද යන්න වෙන්කොට හඳුනා ගැනීමේ ගැටළුවකට මුළු ලෝකයම මුහුණ දී තිබේ.
හදවත, මොළය හෝ පෙනහළු අක්‍රියවීමෙන් පුද්ගලයන් මරණයට පත්වීම සහ ඔවුන් මරණයට පත්වීම අතර යම් සහසම්බන්ධතාවයක් ගොඩනැඟී තිබීමට පුළුවන. එහෙත්, එපමණකින්ම ඒ බව තහවුරු කිරීම විද්‍යාත්මක නැත. එබැවින් එම රෝග තත්වයන් කොවිඩ්-19 ආසාදනය නිසා සිදු වූ බව හේතු සාධක සහිතව විද්‍යාත්මකව තහවුරු කිරීම අනිවාර්යය වෙයි.
දැනට ලොව පුරා ශීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතින සංනිවේදන කුළුණු නිසා අකුණු අනතුරු බහුල වන බවට ලොව පුරා පැතිර ගත් පොදු මතයක් තිබේ. එහෙත්, එම සන්නිවේදන කුළුණු ඉදිවීමේ ප්‍රවණතාවයට සාපේක්ෂව පුද්ගලයන් අකුණු අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවයක් ඇත් දැයි කරන ලද විමර්ශනාත්මක අධ්‍යයන වලදී තහවුරු වී ඇත්තේ එම සන්නිවේදන කුළුණු ඉදිවීමට සාපේක්ෂව පුද්ගලයන් අකුණු අනතුරුවලට ලක් වීමේ සම්භාවිතාවේ වර්ධනයක් දක්නට නොලැබෙන බවයි. එසේ නම් අප රටේ තත්වය කෙසේ වුව ද ඊට සාපේක්ෂව ඉතා අඩු භූමි ප්‍රමාණයක් තුළ වැඩිම සන්නිවේදන කුළුණු සංඛ්‍යාවක් ඉදිවී ඇති සිංගප්පූරුව වැනි රටවල ජනගහනයෙන් සෑහෙන ප්‍රතිශතයක් අකුණු අනතුරුවලට ලක් වී තිබිය යුතු ය.
කොවිඩ්-19 හෝ වෙනයම් කවර වෛරසයක් වේවා මිනිස් ශරීරය තුළට පිවිසි පසු එහි බලපෑමට ලක් නොවන ඉන්ද්‍රියක් ඇත්තේම නැති තරම් ය. විවිධ වෛරසයන් සහ පුද්ගලයන් ගේ කායික තත්වයන් අනුව වෙනස් වුව ද එවන් වෛරසයන් ගෙන් අපගේ කෙස්, නියපොතු ආදියට පවා අහිතකර බලපෑම් එල්ල විය හැක. එසේ නම් හදවත, මොළය සහ පෙනහළු පමණක් ඉන් ආරක්ෂා විය හැකියැයි කෙසේ නම් පිළිගත හැකිද?
ඕනෑම වෛරසයක් මිනිසුන් හෝ සතුන් අතරේ සංසරණය වන අතරේ එය නව ප්‍රභේද ජනනය කරයි. එය කාටත් වැටහෙන ලෙසින් කිවහොත් එම වෛරසය ‘පැටව් ගැසීමකි’. එමෙන්ම එම ඒ ‘වෛරස් පැටව්’ මව් වෛරසයට වඩා අහිංසක සේම දරුණු වීමට ද පුළුවන. ඒ අනුව ඒ දරුණු බව මගින් මිනිස් ශරීරයේ එක් එක් ඉන්ද්‍රියන් කෙරෙහි විවිධාකාර බලපෑම් එල්ල වීමට ද පුළුවන.
ඒ තත්වය යටතේ වත්මන් කොවිඩ්-19 වෛරසය හෝ එහි ප්‍රභේද මගින් මිනිසාගේ හදවතට, මොළයට සහ පෙනහළුවලට එල්ල කරන බලපෑම් මිනිසුන් ක්ෂණික හෝ හදිසි මරණ වලට ලක්කිරීමට හේතු නොවන්නේ යැයි සහතික වීමට ලොව කිසිදු ජගතෙකුට නොපුළුවන.
කොහේ හෝ සිට අපගේ ඇසුරට පත්වන මිනිසුන් ගේ චරිත ලක්ෂණ, ගති ස්වභාවයන් වටහා ගැනීමට අපට යම් කලක් ගත වේ.
මෙම වෛරසය සහ එහි ප්‍රභේද සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද ඒ ටිකම ය. නමුත් යමකුගේ ක්ෂණික හෝ හදිසි මරණයක් සම්බන්ධයෙන් කරන පීසීආර් පරීක්ෂණයක දී ඒ තැනැත්තා කොවිඩ් ආසාදිතයකු බව අනාවරණය වූ පමණින් ඒ තැනැත්තා ගේ එම මරණයට හේතුව සහ කොවිඩ් ආසාදනය පිළිබඳ සහසම්බන්ධතාව විද්‍යාත්මකව සනාථ කිරීමට එම මළ සිරුර විච්ඡේදනය කරන අධිකරණ වෛද්‍යවරුන්ට නොපුළුවන. ඒ සඳහා එම මළ සිරුරේ රුධිර සහ පටක සාම්පල් රසායනික පරීක්ෂණ සඳහා යොමු කළ යුතු ය.
නමුදු එවන් පරීක්ෂණ වලදී පවා එම ක්ෂණික හෝ හදිසි මරණයට හේතුව කොවිඩ්-19 ආසාදනය වීම බව විද්‍යාත්මක වශයෙන් නිශ්චිතව සනාථ කළ හැකි නිවැරදි ක්‍රමයක් තවමත් සොයා ගෙන නැත.
මහ මඟ වැටී මිය යාම් වශයෙන් මාධ්‍ය මගින් උළුප්පා දක්වන ක්ෂණික හා හදිසි මරණ වලට හේතුව කොවිඩ්-19 වැළඳීම ද නැතහොත් මෙහි දී සැබැවින්ම සිදුවන්නේ කොවිඩ් වැළඳුණු පුද්ගලයන් වෙනයම් හේතු මුල්කොට ක්ෂණික හා හදිසි මරණ වලට ලක්වීම ද යන්න තවමත් හරිහැටි හරි උත්තරයක් සොයා ගත නොහැකි පැනයක්ව පවතින්නේ එබැවිනි.
හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ