සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට තීන්දු කළ ඉන්දීය විනිසුරු වරිය ඉන්දු මල්හෝත්‍රා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අවම නිසාත්, ඉතිහාසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉහළ අසුනක් කාන්තාවකට හිමිව නැති නිසාත් නියෝජ්‍ය කතානායකධූරයට කාන්තාවක පත්කර ගැනීම පිළිබද කතාබහක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඇති විය. ඒ සදහා කාන්තා මන්ත්‍රීවරියක යෝජනා වුව ද ඇයට අවශ්‍ය තරම් ඡන්ද සංඛ්‍යාවක් නොලැබුණු හෙයින් එකී ධූරය ඇයට හිමි නොවුණි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද බොහොමයක් ක්ෂේත්‍රවල ඉහළ තනතුරු සදහා කාන්තාවන් පත්වීම පවතින්නේ අවම අගයක ය. නමුත් ඉන්දීය ඉතිහාසයේ බොහොමයක් කාන්තාවන් ඇද බැද දමා ඇති රැහැන් බිද හෙළමින් ඉදිරියට ගොස් ඇති කාන්තාවන් ඉතා සුලු පිරිසක් සිටිති. ඉන්දු මල්හෝත්‍රා ද ඉන් කෙනෙකි.

ඉන්දු මල්හෝත්‍රා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරියක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක ලෙස නම් කරන ලද දෙවන කාන්තාව ඇයයි. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ලෙස සෘජුවම උසස් කළ පළමු කාන්තා නීතිඥවරිය ද ඇයයි.

ඇය 1983 දී නීති වෘත්තියට සම්බන්ධ වූ අතර ඉන්පසු දිල්ලි නීතිඥ කවුන්සිලයට ඇතුළත් විය. 1988 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරියක ලෙස සුදුසුකම් ලබන විභාගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තාය. ඒ සඳහා ඇයට ජාතික නීති දිනයේ දී මුකේෂ් ගොස්වාමි අනුස්මරණ ත්‍යාගය පවා පිරිනමන ලදී.

මල්හෝත්‍රා 1991 සිට 1996 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ හර්යානා ප්‍රාන්තයේ ස්ථාවර නීතීඥවරිය ලෙස පත් කරන ලදී. ඇය ඉන්දියාවේ සුරැකුම්පත් හුවමාරු මණ්ඩලය (SEBI), දිල්ලි සංවර්ධන අධිකාරිය (DDA) ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විවිධ ව්‍යවස්ථාපිත සංස්ථා නියෝජනය කළාය. 2007 දී ඇය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක ලෙස නම් කරන ලදී. වසර 30 කට වැඩි කාලයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද දෙවන කාන්තාව බවට ඇය පත්විය. සමහර කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විවිධ විනිසුරු මඩුලු විසින් ඇය ඇමරිකස් කියුරි ලෙස පත් කර ඇත. මෑතකදී, ඇය ජායිපූර් උරුම නගරයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධිකරණ ප්‍රධානී ලෙස පත් කරන ලදී.

මල්හෝත්‍රා බේරුම්කරණ නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන අතර, විවිධ දේශීය හා ජාත්‍යන්තර වාණිජ බේරුම්කරණයන්හි පෙනී සිට ඇත. 2016 දෙසැම්බරයේදී, ඉන්දියාවේ බේරුම්කරණ යාන්ත්‍රණයේ ආයතනිකකරණය සමාලෝචනය කිරීම සඳහා නීතිය හා අධිකරණ අමාත්‍යංශයේ ඉහළ මට්ටමේ කමිටුවේ (HLC) සාමාජිකාවක් ලෙස ඇයව පත් කරන ලදී.

වසර 30ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති උපදේශකයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා මල්හෝත්‍රා ඒකමතිකව නිර්දේශ කරන ලදී. ඇයගේ පත්වීම 2018 අප්‍රේල් 26 වැනි දින රජය විසින් තහවුරු කර නියෝග කරන ලදී. ඇය නීතිඥ මණ්ඩලයෙන් සෘජුවම උසස් කළ පළමු කාන්තා විනිසුරුවරිය විය.

ඇය එංගලන්තයේ බේරුම්කරුවන්ගේ වරලත් ආයතනයේ ද (CIArb.) සාමාජිකාවකි. ඇය ඉන්දියානු බේරුම්කරණ කවුන්සිලය (ICA) සහ දිල්ලි ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය (DAC) වැනි ආයතනික බේරුම්කරණ ආයතන කිහිපයක් සමඟ බේරුම්කරුවෙකු ලෙස පත් කර ඇත. 1996 දී ඇය බේරුම්කරණ සහ සමථ පනත පිළිබඳ විවරණයක් රචනා කළාය. කීර්තිමත් නීතිවේදීන් එය විස්තර කර ඇත්තේ බේරුම්කරණය පිළිබඳ නීත්‍යානුකූල සම්භාව්‍ය ග්‍රන්ථයක් ලෙසය.

සුප්‍රසිද්ධ සබරිමාල කෝවිලට කාන්තාවන්ට ඇතුළු වීමට අවසර දීමේ බහුතර තීන්දුවට අදාල ඇයගේ විසම්මුතික සටහන පුළුල් අවධානයට ලක් විය. විනිසුරු මඩුල්ලේ එකම කාන්තා විනිසුරුවරිය ලෙස ඇය සිය විරුද්ධ තීන්දුවේ සඳහන් කළේ “අත්‍යවශ්‍ය ආගමික පිළිවෙතක් යනු ආගමික ප්‍රජාව විසින් තීරණය කිරීම මිස අධිකරණය විසින් තීරණය කළ යුතු කාරණයක් නොවන” බවයි. එමෙන්ම ”උසාවි මගින් ආගම සම්බන්ධ කාරණාවලදී තාර්කිකත්වය පිළිබඳ සංකල්ප ඉදිරිපත් කළ නොහැකි” බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

විනිසුරු මල්හෝත්‍රා ඉන්දියාවේ සම්මුතිවාදී සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට පත් කළ ඓතිහාසික තීන්දුවේ විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාමය විනිසුරු මඩුල්ලේ සාමාජිකාවකි. ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය දීර්ඝ කළේ ඇගේ අනුදැනුම මතය. ඉන්දීය පොදු මහජනතාවගේ පැත්තේ සිට වරදකරුවන් වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට පසුබට නොවූ ඇය එවැනි තීන්දු රැසක් ගනු ලැබුවේ ඉන්දියානුවන් මවිතයට පත් කරමිනි. ඉන්දීය නීති පද්ධතියට සුවිශාල මෙහෙවරක් කළ ඇය 2021 මාර්තු 13 දින විශ්‍රාම ලැබුවාය.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර