බහරේන් සිට සත්‍යය පමණක් බෙදන ෆේස් බුක් මාධ්‍යවේදියා සුදේශ් කරුණාතිලක

sudesh56

“අපි සත්‍ය පමණක්ම සමාජ ගත කරමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමු.සත්‍යයම මිස,සත්‍යය පමණක් බෙදා හදා ගනිමු” යන්න ආදර්ශ පාඨය කර ගනිමින් වසර දහතුනක කාලයක් තිස්සේ ෆේස්බුක් මාධ්‍යය ඔස්සේ බහරේනයේ සිට පුවත් සේවාවක් පවත්වා ගෙන යන කලින් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු අපට හමුවිය.

ඔහු ඇතැම් විට දැනටමත් ඔබ දැන හඳුනාගෙන හිඳින සුදේශ් කරුණාතිලක ය.

මේ වන විට ෆේස් බුක් මාධ්‍ය බරපතල අයුරින් අවභාවිතා වන පසුබිමක සුදේශ් ගේ මෙම යහපත් වෑයම කෙරෙහි පොදු සමාජ අවධානය වඩාත් තීව්‍ර කරනු පිණිස අපි මෙසේ ඔහු සමඟ සුහද පිළිසඳරක යෙදුණෙමු.

සුදේශ් අපි කතාව මුල ඉඳලම පටන් ගනිමුද?

ඔව් එහෙම නම් මම මෙහෙම පටන් ගන්නම්;මම ඉගෙන ගත්තෙ කොළඹ නාලන්දා විද්‍යාලයේ. දැනට රැකියාව කරන්නෙ බහරේන් රාජ්‍යයේ පෞද්ගලික සමාගමක ජෙ‍යෂ්ඨ ව්‍යාපෘති ඉංජිනේරුවරයා හැටියට.

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් සාහිත්‍යයට, සිංහල භාෂාවට ලොකු ඇල්මක් කැක්කුමක් හිතේ තිබුණා. අපි ලියන්න පටන් ගත්තෙ ශිෂ්‍යත්ව විභාගයේ අත්දැකීම් එක්ක.මම මිහිර පත්තරෙන්  පටන් අරන් ලක්බිම පත්තරය දක්වාම ලිව්වා. කොළඹ ජේතවනාරාම මහා විහාරස්ථානයේ ශ්‍රී ධර්මපරායණ දහම් පාසලේ “දම් සභා” මාසික සඟරාවේ සංස්කාරක වරයෙක් වශයෙන් අවුරුදු ගාණක් ආසාවෙන් කටයුතු කළා.

ගණිත විෂයන් හදාරන උසස් පෙළ සිසුවෙක්ව සිටියදී නාලන්දාවෙ සාහිත්‍ය සංගමයෙ සභාපති වෙන්න මට ඉඩ කඩ ලැබුණා.  එතල් ප්‍රනාන්දු ශූරතාවය දිනාගත් ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු හැටියට හිටියා. ජීවිතය ගොඩ නැගුණෙ ඒ අත් දැකීම් වලින්.

එතකොට ඔබේ පත්තර ජීවිතය?

ඔය කාලෙ බන්දුල පද්ම කුමාර මහත්මයා තවත් යොවුන් කණ්ඩායමක් සමඟ “කුමරි” පුවත් පත ආරම්භ කොට තිබුණා. යොවුන් වයස්වල හිටි අපිට ඒක අලුත් අත්දැකීමක්. මම කුමරි පුවත්පතට දිගටම ලිව්වා.

ඉඳ හිට ලියපුවායෙන් පුංචි එකක් පත්තරේ වැටුණා. එදාට ඉතින් මල් පිපුණා හිතේ.උසස් පෙළ කරද්දී සාමාන්‍ය පෙළ හදාරමින් සිටි නංගිල මල්ලිල කීප දෙනෙක්ට පාඩම් කියා දෙන්න මට අවස්ථාවක් ලැබුණ. ඒ වෙලාවෙ මට හිතුණ ගුරු වෘත්තිය හරි වටින දෙයක් කියල. ඔහොම ටික කාලයක් ගිහින් අතිරේක පන්ති පටන් ගත්ත. කොළඹ, කළුතර, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, දෙල්ගොඩ, වරකාපොළ මේ හැම තැනම සාමාන්‍ය පෙළ (9 සහ 10 වසර සිසු සිසුවියන්ට ) විද්‍යාව සහ ගණිතය ඉගැන්වූවා..

ඔය අතරෙදිත් දිගටම මම පත්තරේට ලිව්වා. දවසක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට අත්වැලක් වෙන ආකාරයේ ලිපි මාලාවක් ලියාගෙන මම සුගතදාස ක්‍රීඩාංගණය පිටුපස බ්ලූමැන්ඩල් පාරේ තිබුණ කුමරි කාර්යාලයට ගියා. .

සතියක් ගියා දෙකක් ගියා වැඩේ සිද්ධ වුණේ නෑ. ආයෙත් දවසක තව ලිපියක් ලියාගෙන ගියා එදා බන්දුල පද්ම කුමාර මහතාවම හම්බ වෙන්න ඉඩක් ලැබුණා. ඒ තාක් ආගන්තුක තැනක් වෙලා තිබුණු  කුමරි කාර්යාලය ඊට පස්සෙ මට පුරුදු තැනක් වුණා.

බන්දුල පද්මකුමාර මහතා සංස්කරණය කරපු එකල ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව තිබූ කුමරි, අරලිය, සරසි, සත්සර, රැජිණ, මැද පෙරදිග, ලක්බිම මේ හැම පුවත්පතකටම ලිපි ලියන්න මට ඉඩ ලැබුණා.

අරලිය කර්තෘ මණ්ඩලයෙන් ‘කුමුදු’ පුවත්පතෙ සහකාර කර්තෘ පදවිය දක්වා පත්තර කලාවෙ ගමනක් යන්න ඉඩක් ලැබුණා. ඒ පුංචි කාල පරාසයේදී හඳුනා  ගත්ත බොහොමයක් අය අද ලංකාවෙ සුවිශේෂී මිනිසුන් බවට පත්වෙලා ඉන්න බව දකින්නට ලැබීම විශාල සතුටක්.

එතකොට ඔබේ බහරේන් ජීවිතය පටන් ගන්නෙ කොහොමද?

ඔය අතරෙ උසස් අධ්‍යාපනය නිමාවීමත් සමඟම බහරේනයේ රැකියාවක් ලැබුණා. සහකාර ඉංජිනේරුවරෙයෙක් හැටියට. රස්සාව ලැබෙන කොට බහරේන් තියෙන්නෙ කොහෙද කියවත් දැනනගෙන හිටියෙ නෑ. ගූගල් නොතිබ්බ ඒ කාලෙ ගුණසේන එකට ගිහින් ලෝක සිතියම් පොත අරන් බලලයි බහරේනය තියෙන තැන හොයා ගත්තෙ.

ඒ ආපු ගමනට දැන් අවුරුදු 20 කට ත් වැඩියි. මේ රමණීය පුංචි දූපත මට ජීවිතේ ගොඩක් දේවල් කියල දුන්න. කීර්ති පැස්කුවල් ඒ කාලෙ නිතර අපිට හමුවුණ ජනප්‍රිය තරුවක්. කීර්ති අයියා තමයි බහරේන් යනව කිව්වම මගෙ ඔළුවට දැම්මෙ එහෙ ගිහින් ප්‍රසංග කරන්න පටන් ගන්න කියල.

ඉතින් සුදේශ් කීර්තිගෙ උපදෙස් අනුව වැඩේ පටන් ගත්තා

ඔව්,ම්ම බහරේනයට ඇවිත් අවුරුද්දකින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් කළා. බන්දුල පද්ම කුමාර මහත්මයාටම තමයි එහි ප්‍රධාන ආරධිත අමුත්තා හැටියට මම ආරාධනා කළේ.  එතුමා සමඟ ආචාර්ය වික්ටර් රත්නායක, කරුණාරත්න දිවුල්ගනේ, කීර්ති පැස්කුවල්, රන්ජන් රාමනායක, ඉන්ද්‍රාණි පෙරේරා, නිමල් ජයමාන්න, ජගත් වික්‍රමසිංහ, උපාලි කන්නන්ගර ඒ ප්‍රසංගයට පැමිණියා. ඒක පුදුමාකාර ලස්සන අත්දැකීමක්.

ඊට පස්සේ “වැඩේ නැගලම ගියා”?

නැතුව,නැතුව,ඉන් පස්සෙ අවුරුද්දට දෙතුන් වතාවක් මෙහි සංගීත ප්‍රසංග සංවිධානය කළා. අමරදේව සර්, නන්දා මාලනී මිස් විතරයි මට ප්‍රසංගයකට එක්ක එන්න බැරි වුණේ.

ගායක ගායිකාවො, සංගීත කණ්ඩායම්, වාදකයන්, නිවේදකය, මාධ්‍යවේදීන් තුන්සීයකට වඩා මේ රටට ගෙන්වල ප්‍රසංග හැටකට අධික ප්‍රමාණයක් කරල තියෙනව. ඒ හැම එකකම මතක හරි මිහිරියි. ජීවිතේ පළවෙනි වතාවට පිටරටකට කියල බහරේන් ආපු ගායක ගායිකාවො සහ ශිල්පීන් රැසක්  ඒ ලැයිස්තුවේ ඉන්න එකම මට ලොකු සතුටක්. ආඩම්බරයක්.

ඔය අතරේ සුදේශ් ගුවන් විදුලිය එක්කත් සම්බන්ධ වෙලා හිටියා වගේ මතකයි

අපොයි,ඔව් ඔය අතරෙ නිමල් ලක්ෂපති මහත්මයා සිරස පටන් ගත්ත කාලෙ කිංස්ලිලා, නිහාල් වික්‍රම එදිරිසූරියලා එක්ක “අහසින් එහා” වැඩ සටහනට සම්බන්ධ වුණා. ලෝකෙ කොයි කෙළවරේ හිටියත් මගේ මව් බිම එක්ක දිනපතා නිතිපතා සම්බන්ධව හිටිය එක තමා කරල තියෙන්නෙ.

දැන් අපි මූලික මාතෘකාවට බහිමු.කොහොමද සුදේශ් ෆේස් බුක් ජන මාධ්‍යවේදියෙක් විදිහට නමක් දිනා ගත්තේ?

මම මේක පටන් ගත්තේ 2008 -2009 අවුරුදු වල. ඒ කාලෙ රටේ යුද්ධය ඉතා තදින් පැවති සමයක්. තොරතුරු ලැබුණෙ පත්තර ටීවී වලින් විතරයි. විදේශගත ලාංකිකයින්ට ඒවාත් හරියට ලැබුණෙ නෑ. කවුරු හරි කියන දෙයක් අහගෙන එහෙමලු, මෙහෙමලු කිය කිය හිටියෙ. ඇත්ත පුවත් වලට වඩා කට කතා රජ කරපු සමයක් ඒක.

දැන් වගේ චැනල් වලින්, පුවත් පත් ආයතන වලින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු ඒකාලෙ තිබුණෙ නෑ. චැනල් වල පිටු පටන් ගත්තෙ මේ මෑතකදි නෙ.

ඔන්න ඔය අතරෙයි අපේ  බන්දුල පද්ම කුමාර මහතා ස්වර්ණවාහිනීයේ “මුල් පිටුව” වැඩ සටහන කරගෙන ගියේ.මටත් හිතුණා; ඒ වගේම වැඩක් ෆේස් බුක් පිටුවකින් ආරම්භ කරන්න. තමන්ගෙ එදිනෙදා ඕප දූප වෙනුවට හරවත් යමක් මිනිස්සුන්ට දෙන්න ඕනෙ කියල මට හිතුණා. ඒ කාලෙ වැඩිපුරම පළ කළේ යුද්ධය පිළිබඳව පුවත් සහ ජායාරූප. හරි අමාරුවෙන් තොරතුරු හොයාගෙන ලංකාවෙන් යුද ගුවන් නාවික හමුදාවල හිටපු යාලු මිත්‍රයන්ගෙන් අදාල ජායාරූප විස්තර ගෙන්නගෙන පිටුව දැනුවත් කමින් පිරෙව්වා.

කොහොමද ඒකට ලැබුණු ප්‍රතිචාර?

ඒවා නොදිරවපු ඩයස්පෝරාවක් යුරෝපයේ හිටියා. ඒ ඇත්තො මටත් පිටුවටත් එරෙහිව මුහුණට මුහුණ සංග්‍රාමයට එළඹුණා. දෙවතාවක්ම පන් දහස ඉක්මවූ මිතුරු සමාගම් එක්ක පිටු තහනම් වුණා. බ්ලොක් වුණා. මේ පිටුව ඒ විදියට පටන් ගත්ත තුන් වෙනි එක. කලින් පිටු අහිමිවීමත් සමඟ වටිනා ලිපි ජායාරූප රැසක් මට අහිමිවුණා.

ඒත්; ඒ හැම මොහොතකම මා එක්ක ආයෙ ආයෙත් එකතුවුණු සහෘදයින් පිරිසක් මා එක්ක ඉන්නව. අවුරුදු දොළහක් දහතුනක් එක වගේ ආදරයෙන් යාලුකමෙන් ඉන්න දහස් ගණනක් ආදරණීය හදවත් වලින් පිරුණ මිනිස්සු ලෝකෙ වටේම මට ඉන්නව.

ලෝකෙ ඕනෑම රටකට ගිහින් ඒ රටට පැමිණි බවට පින්තූරයක් පළ කරන විනාඩියට ඇවිත් හමුවෙන්න, කතා කරන්න, එහෙ මෙහෙ එක්ක යන්න, උදව් කරන්න, කන්න බොන්න ගෙනත් දෙන්න, වාහන, නවාතැන් පහසුකම් දෙන්නන් බොහොමයක් අය ඉදිරිපත් වෙන්නෙ ඒ විශ්වාසය ආදරය හින්ද. නමුත් ඒ කිසිම කෙනෙක්ට පුංචියට හරි වදයක් කරදරයක් වෙන්න මම කවදාවත් කැමහි නෑ.

ඒත් සුදේශ්ගේ ෆේස් බුක් පිටුව මඟින් ඔයාගේ අදහස් මතවාද ඉදිරිපත් වෙන්නෙම  නෑ නේද?

හැමදාම මම ලෝකය දැක්කෙ ඔබේ ඇස් වලින්. ඊට මට උදව් කළේ මේ ෆේස් බුක් පිටුව.මේ පිටුවේ ඇති ලක්ෂයකට එහා ගිය පෝස්ට් කිසිවක ජරා රහ තවරලා නෑ. පළ කරනු ලැබූ එකම ජායාරූපයකවත් අසභ්‍ය දෙයක් නෑ. ඒ හින්ද මගේ මේ අහිංසක මාධ්‍ය චාරිකාවත්  එක්ක මේ වෙනකොට අති විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා

අශේන් මධුශංක

රසගඟුල