අප රටේ සබරගමු පළාතට, රත්නපුර දිස්ත්‍රික්කයට, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කුට්ටිගල පොලිස් වසමට අයත් තෙරුන්නාන්සේගම නමින් හැඳින්වෙන පැරණි ගම්වරය මැදින් ගලා බස්නා වලවේ ගං ඉවුරේ ඇති කුඹුක් ගස් කිහිපයක් ගින්නෙන් දැවෙන අයුරු මෙහි දැක්වෙන වීඩියෝවෙන් දැකිය හැකිය.
මින් පැවසෙන්නේ වන සංහාරකයන් විසින් මෙලෙස වලවේ ගං ඉවුරේ ඇති කුඹූක් ගස්වල මුලට ගිනි තබා ඒවා බිම ඇද වැටුණු පසු කපා ගෙන යාම දැන් බහුලව සිදුවන බවකි.. පසුව මම ඒ ප්‍රදේශය පිළිබඳ හොඳින් දන්නා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුගෙන් ඒ ගැන විමසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ මීට පෙර වරින් වර සිදු වූ මෙම කුරිරු වන සංහාරය මෑතක සිට වඩාත් තීව්‍රව සිදුවන බවය.
එමෙන්ම එසේ ගිනිබත් කොට බිම හෙළන කුඹුක් ගස් සමහරක් වසර සිය ගණනක් පැරණි බව ද ඔහු කීය. ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අපරාධවලට අදාළව නීතිය ද ක්‍රියාත්මක නොවන බවකි.
තත්ත්වය එසේ වුව ද එම පුවත මාධ්‍යයට එක් කළ මාධ්‍යකරුවා විසින් එම කුඹුක් ගස් හැඳින්වීම පිණිස ‘අර්ජුන්’ දෙවියන් යන වදන භාවිත කරන ලද්දේ ඇයි?
භාරතීය සංස්කෘත සහ පසුකාලීන හින්දු මූලාශ්‍රවලට අනුව ඉන්දියාවේ ඇතැම් ගස් දේවත්වයෙන් සැලකෙන අතර දෙවිවරුන්ගේ නම්වලින් හැඳින්වෙන ගස් ද ඒ අතර වෙයි. අප රටේ බොහෝ ප්‍රදේශවල ජලාශ්‍රිතව සරුවට වැඩෙන ‘කුඹුක්’ ද එලෙස දේවත්ව නාමයකින් හැඳින්වෙන වෘක්ෂයකි.
සංස්කෘත භාෂාවෙන් අර්ජුන යන හින්දි බසින් අර්ජුන් යනුවෙන් හැඳින්වෙන කුඹුක් වෘක්ෂයේ විද්‍යාත්මක නාමයට ද එම අර්ජුන් යන්න එක් කොට කුඹුක් Terminalla arjuna යනුවෙන් හඳුන්වනු ලැබේ.
ලෝක ප්‍රකට ඉන්දීය වීර කාව්‍ය දෙකක් තිබේ. ඒ රාමායනය සහ මහා භාරතයයි. රාමායනයටත් වඩා සෑම අතින්ම විශිෂ්ට ගණයේ ලක්ෂණ පෙන්වන වීර කාව්‍යයක් වන මහා භාරතයේ යුද වීරයා අර්ජුනය.
ඉන්දීය වීර කාව්‍යයන්හි යුද්ය පරමාදර්ශි කොට ඇති බවක් ඇතැම් බටහිර විචාරකයෝ කියති. එහෙත් යුද්ධය යුක්ති ධර්මය ඉස්මතු කිරීම පිණීස අයුක්තිය යටපත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන ‘ධාර්මික මෙහෙයුමක්’ බව භගවත් ගීතාව ආදී හින්දු ආගමික ග්‍රන්ථ මගින් හුවා දක්වා තිබේ.
‘යදා යදා හි ධර්ම්‍සය – ග්ලානිර් භවනි භාරත
අභ්යුත්ථානම ධර්මස්‍ය තදා තමා නම් ඍජාමයනම්
පරිත්‍රාණය සාධු නම් විනාශය දෘෂ්කෘත්ස්ම් ධර්ම සංස්ථාපනාර්ථය
සම්භවාමී යුගේ යුගේ
යනු පසුගිය කාලයේ ද අප රටේ ප්‍රචාරය වූ ‘මහා භාරත’ ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි. භාරතීය අග්‍රගණ්‍ය ගායකයකු වන මහේන්ද්‍ර කපූර් විසින් ගයනු ලබන ඒ ගීතය භගවත් ගීතාවේ පස්වැනි පරිච්ඡේදයේ එන හත් වැනි සහ අට වැනි ශ්ලෝක දෙක බව බොහෝ දෙනෙක් නොදනිති.
‘‘යම් කාලයක යුක්ති ධර්මයේ පිරිහීමත් අධර්මයේ පිබිදීමත් සිදු වේද එකල්හි මම ආත්මයක් වශයෙන් (මනුෂ්‍ය ස්වරූපයෙන්) නැගී සිටින්නෙමි. සත් පුරුෂයන් ආරක්ෂා කොට අසත්පුරුෂයන් හා ඔවුන්ගේ ක්‍රියාවන් සමග විනාශ කොට ධර්මය ස්ථාපිත කරවීම පිණිස මම යුගයෙන් යුගයට මනු ලොවට පැමිණෙන්නෙමි.’’ යන එම ශ්ලෝකය විෂ්ණු දෙවියන් විසින් අර්ජුන හට පවසන්නකි.
ඒ අනුව මහා භාරතයේ යුද වීරයා වන අර්ජුන මනුෂ්‍යත්වය ඉක්මවූ ශක්ති ප්‍රභවයක් සහිත කුමරුවෙකි. විෂ්ණු දෙවියන් නියෝජනය කොට මෙලෙස අයුක්තිය නසා යුක්තිය රජ කරවීම පිණිස කටයුතු කරන අර්ජුන හින්දූන්ගේ සූරවීර රණකාමී දෙවියෙකි.
ඒ අනුව අප ජන සමාජයේ බොහෝ දෙනකුට නිකම්ම නිකම් ගසක් සේ පෙනෙන කුඹුක් වෘක්ෂයට භාරතීය හින්දූන් කෙතරම් පූජනීයත්වයක් ආරෝපණය කොට තිබේ දැයි සිතා ගන්නට පුළුවන.
අපගේ ජන සම්මතයට අනුව ජලාශ්‍රිතව වැඩෙන කුඹුක් ශාකයේ ඇති ප්‍රධානතම වැදගත්කමක් වන්නේ ජලය සිසිල් පිරිසිදු බවට පත් කිරීමේ හැකියාවයි.
එමෙන්ම වියළි කලාපයේ ජලයේ ඇති කිවුල් ගතිය සමනය කිරීම මගින් එම ප්‍රදේශවල පැතිර යමින් පවතින හඳුනා නොගත් වකුගඩු රෝග සමනයට ද කුඹුක් ශාකයෙන් මහත් වූ පිටිවහලක් ලැබනෙ බව විද්‍යාත්මකව අනාවරණය වී තිබේ. නමුදු අතීතයට සාපේක්ෂව අද වන විට කුඹුක් දුලබ ශාකයක් වී තිබේ.
වර්තමාන ජන සමාජය තුළ මෙම මාහැඟි ශාකය පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වෙයි. බුද්ධ වංශ අටුවාවට අනුව අනෝමදස්සී බුදුන්ගේ බුද්ධත්වයට ද කුඹුක් වෘක්ෂයක් සම්බන්ධය.
භාරතීය හින්දු සමාජයේ ඍජු පුද පිළිවෙත්වලට ලක් නොවුණ ද මිනිසුන්ගේ කායික, මානසික සුවසෙත සැලසීමට ඉවහල් වන වෘක්ෂ අතරින් කුඹුක් ගසට හිමි වනුයේ මුල් තැනකි.
විශේෂයෙන් හෘද රෝග නිවාරණය සම්බන්ධයෙන් කුඹුක් ගසට යම් ආධ්‍යාත්මික හැකියාවක් පවතින්නේය යන ප්‍රබල විශ්වාසයක් භාරතීය හින්දු සමාජයේ පැතිර පවතී.
කුඹුක් ගසේ මතුපිට සිවිය හෙවත් පොත්තට යටින් ඇති රෝස පැහැති පොත්ත මිනිසාගේ හෘද මාංශය සංකේතනය කරන්නක් බවට සම්ප්‍රදායික විශ්වාසයක් හින්දු භක්තිකයන් අතර පවතී. එනිසාම කුඹුක් ගසක පෘෂ්ඨය මතට තම දකුණු අත තබා වමත හෘදය මත තබා ගන්නා ස්වයං සුවකාරක චිකිත්සාවක් අදත් ඔවුන් අතර පවතී.
ඊට අමතරව ඉන්දීය ආයුර්වේදයේ ඖෂධ ගණනාවක් සඳහාම යොදා ගන්නා කුඹුක් වෘක්ෂය අප රටේ දේශීය වෙදකම සඳහා ද බහුල ලෙසම යොදා ගන්නා ශාකයකි.
තත්ත්වය එසේ වුව ද අයුක්තිය යටපත් කොට යුක්ති ධර්මය රජ කරවීම පිණිස කැප වී ක්‍රියා කළ අර්ජුන නම් දෙවියන්ගේ නාමය සහිතව මේ මිහිතලය මත හටගෙන මිනිස්, තිරිසන් ප්‍රමුඛ සකලවිධ ජෛව ප්‍රජාවටම අමිල වූ දිව්‍යමය ආශිර්වාදයක් සලසන අර්ජුන හෙවත් කුඹුක් නම් වන රුක් දෙවි රජවරුන් ලක් පොළොවේ දී මෙලෙස පණ පිටින් ආදාහනය කෙරෙන තුරු ඒ සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශ්ව සේම සාමාන්‍ය ජනතාව ද නිසොල්මන්ව බලා සිටින්නේ නම් සියලු දේව ශාප මෙන්ම සොබාදම් මවගේ බලවත් ශාපය ද වන අපරාධවලට යොමු වේ නම් තරම හරිහැටි කිව නොහැකි මහා විනාශයක් ඒ සියලු පාර්ශ්වයන් වෙත එල්ල නොවන බවට සහතික වීමට අපට නොපුළුවන.
ඒ දෙවි දේවතාවුන් ඉත සොබා දහමේ අමිල දායාදයන් වනසා දමන්නවුන් කෙරෙහි එල්ල වන නියත විනාශය වැළකිය හැකි කිසිදු බලවේගයක් මේ ලෝකය තුළ නොමැති බැවිනි.
තිලක් සේනාසිංහ