මිනිසකු ලෙස ඉපදී, මිනිසකු ලෙස ජීවත් වී, මිනිසකු ලෙස මිය යාම ඉතාමත් ශ්‍රේෂ්ඨ වූවකි. නමුත් මිනිසකු ලෙස ඉපදුනත්, මිනිසකු ලෙසින් ජීවත් වීම සහ මිනිසකු ලෙසින් මියයාම අද සමාජය තුළ වෙසෙන මිනිසුන් වෙතින් දක්නට ලැබීම විරල ය.
ඒ විරල වූ මිනිසුන් මිය ගියත් සදා ජීවමාන ය. වසර පනස් නවයක් මෙලොව වාසය කර 2013 නොවැම්බර් 07 දින මෙලොවින් සමු ගත් පශු වෛද්‍ය සොමිසර සුන්දර බණ්ඩාර දිසානායක ද එවන් වූ සැබෑම මිනිසෙකි. මිය ගොස් වසර අටක් ඉකුත් ව තිබියදීත්, අදටත් ඔහු ගැන කතා කරන්නේ එනිසා ය. මේ ඒ උතුම් මිනිසත්කමට දක්වන උපහාරයකි.
වෛද්‍ය දිසානායක වාසය කළේ නුගේගොඩ ය. සිය ජීවිතයේ තුරුණු වියේදී නුගේගොඩ පදිංචියට පැමිණියත් ඔහු ගාල්ලේ හැදී වැඩුණු අයෙකි. පියා සමූපකාර පරීක්ෂකවරයකු වූ අතර මව ගුරුවරියක වූවාය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙනි. උසස් පෙළ ඉහළින්ම සමත් වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළත් විය.
වෛද්‍ය වෘත්තිය යනු හුදෙක් රැකියාවක්ම නොවේ. මෙම වෘත්තියෙහි යෙදෙන අයකු තුළ ආදරය, කරුණාව, දයාව මෙන්ම හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීමේ ස්වභාවය ද නිතැතින්ම පැවතිය යුතුය. මෙය ඕනෑම වෛද්‍යවරයකුට පොදු තත්වයක් වුවද අද එවැනි වෛද්‍යවරුන් දක්නට ලැබෙන්නේ යය.
වෛද්‍ය දිසානායක මුදල් ඉපයූ වෛද්‍යවරයකු නොවේ. ඔහුට මුදල් උපයන්නට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. ප්‍රතිකාර පිණිස රැගෙන එන රෝගීන් සතුන්ගෙන්ද කිසිදු අඩුවක් තිබුණේ නැත. නමුත් සමහර අවස්ථාවල ඔහු අය කළේ රෝගී සත්වයා සඳහා වැය වූ ඖෂධවල මිල පමණි. ” Animal clinic ” ” සත්ව සායනය” ආදී වශයෙන් දර්ශනීය වූ බෝඩ් ඔහුගේ සායනයෙහි වූයේ නැත.
නමුත් රෝගීන්ගෙන් නිරතුරු ඔහුගේ සායනය පිරී පැවතියේය . සුඛෝපභෝගී යානවාහන, මන්දිර කිසිවක්ද මෙම වෛද්‍යවරයාට නොතිබිණි. වුවමනාවක් තිබුණා නම් එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ඕනෑ තරම් අවස්ථාව නොතිබුණා නොවේ.
නමුත් ඔහු එවැනි දේවල් පිළිබඳව කිසිදු තැකීමක් කළේ නැත. ඒ සියල්ල අමතර කරදරයක් ලෙස සැලකූ ඔහු හැමදාමත් ප්‍රිය කළේ සරල චාම් ජීවිතයකට ය. එනිසා වෛද්‍ය දිසානායක තමන්ගේ ගමන් බිමන් සඳහා යොදා ගත්තේ කුලී ත්‍රිරෝද රථයකි.
මුල් කාලයේ වසර ගණනාවක් ම නුගේගොඩ ගම්සභා හන්දියේ සත්ව සායනය පවත්වාගෙන ගිය වෛද්‍ය දිසානායක ගම්සභා හන්දිය අවට මහ පාරේ සිටින සුනඛයන්ට දිනපතා ආහාර වේලක් දීමට පුරුදු විය.
ඒ සඳහා දිනකට හාල් කිලෝ ග්‍රෑම් 7 – 8 ක් පමණ කුකුල් මස් පීකුදු සහ සත්ව ආහාර ද එකතු කර පිසින ලද්දේ ඔහුගේම දෑතිනි. උදය වරුවේ සත්ව සායනය පවත්වා නිම වූ පසු ඔහු මෙම ආහාරය පිසියි. ඉන්පසු සවස් වරුවේ සත්ව සායනයේ කටයුතු අවසන් කර රාත්‍රී 9ට පමණ තම දෑතින්ම බත් පාර්සල් තිහක් පමණ බැඳ ගෙන තම හිතවත් ත්‍රිරෝද රථ රියදුරා සමග මගට බසින්නේ මේ ආහාර සතුන්ට දී උන්ගේ කුසගිනි නිවාලීම පිණිසය.
මෙහි ආකාරයට වසර ගණනාවක් පුරා වෛද්‍ය දිසානායක ගම්සභා හන්දිය අවට සිටින වීදි සුනඛයන්ගේ මෙන්ම බළලුන්ගේ ද කුසගිනි
නිවාලූයේය. වෛද්‍ය දිසානායක සමග අවසන් කාලයේ ගමන් බිමන් ගිය ගම්සභා හන්දියේ ත්‍රිරෝද රථ රියැදුරකු වූ ජයසිරි ද සිල්වා මහතා පවසා තිබුණේ දහසක් ත්‍රිරෝද රථ මහ පාරේ ගියත් වෛද්‍ය දිසානායක පැමිණෙන ත්‍රිරෝද රථයේ හඬ එම සතුන් වෙන්කර හඳුනා ගන්නට සමත් බව ය. ඒ අනුව රථයේ හඬට පසුපස දිව එන සතුන්ට වෛද්‍යවරයා පාර අයිනේ නතර වී බත් පාර්සල් ලිහා දෙයි.
ඉන්පසු ඔවුන් කා අවසන් වනතුරු ළඟට වී බලා සිටියි. ඒ සමහර සුනඛයන් තමන්ගේ බත් පාර්සලය ඉක්මනින් කා අවසන් කර අනෙකාගේ පාර්සලය ද බලෙන් කා දමන්නට පෙළඹෙන නිසාය. ජයසිරි ද සිල්වා මහතා පැවසූ අන්දමට දිනකට මහමග හිඳින සුනඛයන් තිස්ගණනක් සහ බළල්ලු විසිගණනක් වෛද්‍ය දිසානායක නිසා කුසගිනි නිවා ගත්හ.
මෙසේ මහමග හිඳින සුනඛයන්ගේ සහ බළලුන්ගේ කුසගිනි නිවාලන්නට කැප වී සිටි නිසාම වෛද්‍ය දිසානායක විනෝද ගමන් බිමන් යාම හෝ රාත්‍රී නිවසින් පිටව හිඳීම කවදාවත් සිදු කළේ නැත. පෝය දිනයට සායනය වසන නිසා ඔහු පාන්දරින් අවදිව සතුන්ගේ කෑම පිසියි. ඉන්පසු සිය බිරිඳ හේමමාලි සමග මහව බලා පිටත් වසහන්නේ එහි වෙසෙන තම පියාණන්ගේ දුක සැප බැලීමට ය.
ඒ කාලයේ ඔහුගේ මව ජීවතුන් අතර සිටියේ නැත. මහව ගොස් එදිනම ආපසු නිවස බලා පැමිණ ඉන්පසු රාත්‍රියේ එකට දෙකට හෝ සතුන්ගේ කෑම පාර්සල සකස් කර ගෙන උන්ගේ කුසගිනි නීවීම සඳහා යාමට වෛද්‍ය දිසානායක අමතක කළේ නැත. ඔහුට දියණියන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් ඒ වනවිට විවාපත්ව එක් දියණියක් අබුඩාබි රටේ සහ අනෙක් දියණිය පෘතුගාලයේ වාසය කළහ.
හොඳින් හැඳ පැළඳ උත්සවයකට සහභාගී වන්නට යන අවස්ථාවක වුවත් මහමග අසරණව හිඳින සුනඛයකු හෝ වෙනත් සතකු දුටුවොත් වාහනයෙන් බැස එම සතාව පරීක්ෂා කිරීම වෛද්‍ය දිසානායකගේ පුරුද්දකි. ඌ කුසගින්නෙන් පෙළෙන බව දැනුණොත් අසල තිබෙන වෙළඳ සැලකින් කෑම ටිකක් රැගෙන දී උගේ කුසගිනි නිවාලන්නට වෛද්‍ය දිසානායක මොහොතකටවත් පසු පසුබෑවේ නැත.
එම සතා සිටින්නේ රෝගී වී නම් ඒ මොහොතේම සතාට ප්‍රතිකාර කරන්නට මෙම වෛද්‍යවරයා ළඟ ඖෂධ සහ ඉන්ජෙක්ෂන් කටු ආදියද තිබිණි. ඒ වෛද්‍ය දිසානායක නිවසින් බැහැරව කුමන ආකාරයේ ගමනක් ගියත් ඖෂධ සහ ඉන්ජෙක්ෂන් කටු සහිත කුඩා බෑගයක් ද නොවරදවාම රැගෙන යාම සිරිතක් කර ගෙන සිටි නිසාය.
තාම බෙල්ලේ කුඩා ගෙඩියක් මතුව තිබෙනු මුලින්ම වෛද්‍ය දිසානායක දුටුවේ 2013 වසරේ පෙබරවාරි මාසයේදීය. මුල් කාලයේදී ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත. පසුව ගෙඩිය එන්න එන්නම විශාල වන බවක් පෙනුණු නිසා එය වෛද්‍යවරයෙකුට පෙන්වීය. එහිදී ගන්නා ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තා මගින් සනාථ වූයේ ඔහුට රෝගයක් නැති බවයි.
නමුත් ගෙඩිය වැඩිවීමක් මිස අඩු වීමක් සිදු නොවූ නිසා තවත් වෛද්‍යවරයකුට පෙන්වා ඉන්පසු කරන ලද බයොප්සි පරීක්ෂණයේදී එය වසා ගැටිතිවල හට ගන්නා පිළිකාවක් බව තහවුරු විය. ඉන්පසු වෛද්‍ය දිසානායක වරින් වර පුද්ගලික රෝහලක නතර වෙමින් මේ සඳහා ප්‍රතිකාර ගත් අතර ප්‍රතිකාර නොගන්නා දිනවල තම චිකිත්සාගාරයට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කළේය. ඒ අතරම රාත්‍රියේ ගම්සභා හන්දියේ සුනඛයින්ට සහ බළලුන්ට කෑම බීම දීමද නොවරදවා ම සිදු කරන්නට අමතක කළේ නැත.
කොතරම් ප්‍රතිකාර කළත් වෛද්‍ය දිසානායකව එම පිළිකාව විසින් දිනෙන් දිනම අඩපණ කරමින් තිබිණි. නිරෝගී පුෂ්ටිමත් සිරුරකින් යුතුව සිටි ඔහු දිනෙන් දිනම කෘෂ විය. අවසානයේ ඔහුගේ ආහාරය වූයේ සුප්, කැඳ වැනි දියර වර්ග පමණි.
2013 ජූලි 17 වෙනිදා වෛද්‍ය දිසානායකට යළිත් වරක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට නියමිතව තිබිණි. ඊට පෙර දිනයේ ඔහුට පෙර මෙන්ම තමන්ගේ අතින් පිස සතුන්ට කෑම දීමට උවමනා විය. නමුත් ඒ සඳහා ඔහුට කාය ශක්තියක් නොතිබිණි. බිරිඳ හේමමාලි එහිදී ඔහුට උපකාර කළාය. එදින එම අසරණ සතුන්ට කළ සංග්‍රහයෙන් පසු යළි කවදාවත් ඔහුට සතුන් වෙනුවෙන් කෑම පිස දීමට පිළිකා රෝගය ඉඩ දුන්නේ නැත.
ඉන්පසු ඔහුට දිගින් දිගටම රෝහල් ගත වන්නට සිදුවිය. එම වසරේ සැප්තැම්බර් හය වැනිදා වෛද්‍ය දිසානායක ගේ 59 වැනි උපන් දිනය යෙදී තිබිණි. ඉන් දෙමසකට පසු එනම් 2013 නොවැම්බර් 7 වෙනි දින මෙම අසිරිමත් මිනිසා තම සයනය දෙපසින් සිටි බිරිඳගේ සහ සොහොයුරා ගේ දෑත අල්ලා ගත් වනම අතිශයින් සුන්දර සංතෘප්තිමත් සිනාවක් පා අවසන් හුස්ම පිට කර දෑස පියා ගත්තේය.
ඉන්දු පෙරේරා