ගැසට් එක රිවස් කළ පමණින් මුතුරාජවෙල සුරැකේද?

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි..

අදාළ ගැසට් පත්‍රය පිළිබදව පවතින ගැටලු විසඳීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන ඇමති වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ජාවක් ද කොළඹදී පවත්වා තිබේ..

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධව නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් වත්තල, ජා ඇල, කටාන, මීගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචිව සිටින ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති වරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බැවින් එම ප්‍රදේශවල ආගමික නායකයින් මෙන්ම ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කියයි.මේ අනුව ඉතා මැනැවින් පෙනී යනුයේ ජනාධිපති වරයා ගේතීරණ වල අස්ථාවර හා වගකීම් විරහිත භාවයයි.

මුතුරාජවෙල තෙත් බිම් කලාපය මුල් කොටගත් තවත් ප්‍රදේශ කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත්කිරීමේ ගැසට් නිවේදනයත් සමග ආණ්ඩුවේ ඇමතිවරුන් පවා මීට විරෝධය පළ කිරීමට පටන් ගෙන තිබිණ. ඔවුන් ඉල්ලා සිටියේ මීට පෙර ගැසට් නිවේදන රිවස් කලා මෙන් මෙම ගැසට් නිවේදනය ද රිවස් කරන ලෙසටය.

මුතුරාජවෙල වගුරු බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමේ ගැසට් නිවේදනයෙන් ගම් බිම් රැසක් ද ඒ යටතට පත් වීම ඊට හේතුව ය.. මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බව කීවත් මෙම ගැසට් නිවේදනයෙන් එයටත් ඔබ්බට ගොස් ඇති බව ප්‍රදේශ වාසීහු පවසති.

රාජ්‍ය ඇමති නිමල් ලන්සා පසුගියදා පාර්ලිමේන්තුවේදි කීවේ පාරම්පරික ගම්බිම් පවා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන ඇති බවත් මෙය අත්තනෝමතික ක්‍රියාවක් බවත්ය. මෙබඳු ක්‍රියා මඟින් තවදුරටත් ජනතාවට ආණ්ඩුව එපා නොකනොකරන්නැයිද ඔහු කියා සිටියේය.රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කීවේ ද ප්‍රදේශයේ ජනතාවට බලපාන කරුණු ගැන තීන්දු තීරණ ගනිද්දී පලාතේ මහජන නියෝජිතයන් ගෙන් ද විමසිය යුතු බව ය.

ඔවුන් දෙදෙනාම ආණ්ඩුවේ මෙම තීරණය දැඩි ලෙස විවේචනය කළහ. එසේ තිබියදී නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා සදහන් කළේ අමාත්‍යාංශ දෙකක් කළ ඉල්ලීමට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කල බව ය.මීගමුව ප්‍රදේශයේ ජනතාව සඳහන් කරනුයේ නිමල් ලන්සා ගේ ඉඩම් ද ගැසට් පත්‍රයෙන් පවරාගෙන ඇති නිසා ඔහු මේ ගැටලුව වෙනුවෙන් පෙනී සිටින බවය.

මුතුරාජවෙල වගුරු බිමෙන් කොටසක් විදෙස් සමාගමක් යටතට පත්කිරීම වෙනුවෙන් මෙම පවරා ගැනීම කර ඇති බව පරිසර සංවිධාන පවසයි. මුතුරාජවෙල වගුරු බිමෙන් දකුණු කොටස පැවරීමට කෙටුම්පත් කර අවසන් බවද ඔවුහු පවසති.

මුතුරාජවෙල තෙත් බිම කෙරෙහි ආණ්ඩුව කෙළ හළමින් සිටින බව රහසක් නොවේ.මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන ගොස් තිබේ. ජනතා විරෝධයක් ද මේ වන විට ගොඩනැගී ඇත්තේ මෙම ගැසට් නිවේදනයට එරෙහිව පමණක් නොවේ.. රජය මේ වනවිට රටේ සම්පත් අලෙවි කරන්නේ බංකොලොත් ව්‍යාපාරිකයෙකු තම දේපොළ අලෙවි කරන්නාසේ ය.

එහි අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ මුතුරාජවෙල තෙත් බිමය.සංවධයේ නාමයෙන් දේශීය සහ විදේශිකයන්ට විවිධ ක්‍රියා කාරකම් සඳහා මෙම අගනා පාරිසරික කලාපය බදු දෙනු ඇතැයි පරිසරවේදීහු කියති.

ජනාධිපතිවරයා ගැසට් රිවස් කිරීමට රුසියෙකු බැවින් මෙම ගැසට් නිවේදනය රිවස් කිරීම ඔහුට අපහසු කරුණක් නොවූ බව පෙනේ. නමුත් ඔහු රිවස් කළ ගැසට් නිවේදන වලින් ජනතාව වෙනුවෙන් හා රට වෙනුවෙන් කරන වැදගත්ම රිවස් කිරීම මෙය යැයි බොහෝ දෙනකුට සිතෙනු ඇත.

එහෙත් මෙම ගැසට් රිවස් කිරීම මඟින් මුතුරාජවෙල ඉඩම් කොල්ලය නිමා වී ඇතැයි අප නොසිතිය යුතුය.නාගරික සංවර්ධන අධිකාරිය දඩමීමා කර ගනිමින් එය ඉතා බපපතල ලෙස හෙට දිනයේ සිදු වනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර