ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්ප වලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්තය දියුණු කිරීමත් කළ හැකි බවත් ඔහු පැවසී ය.මේ අතර අප රටේ සංචාරක කර්මාන්තයේ දැවැන්ත සංවර්ධනයක් තුළින් විදේශ ආදායම් ප්‍රවර්ධනය කළ යුතු නම් අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වන ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී ද ඉන් පිටත දීද අදහස් ප්‍රකශ කළා ය.
නොනිදන නගර සංකල්පය මුල් කොට ගත් හෝටල් සහ අවන්හල් ආශ්රිත මත්පැන් හල් අළුයම තෙක් විවෘතව තැබීම, ගණිකා ව්‍යාපාරය නීතිගත කිරිම ආදිය ඒ අතර විය. කෙසේ නමුත් ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම හැලි අරක්කු හෙවත් කසිප්පු අපනයනය වැනි යෝජනා අපගේ සංස්කෘතිය සමඟ දැඩිව ගැටෙන කරුණු බව පෙනෙයි.
එසේ කිසිම ආකාරයේ ගැටුමක් නොමැති, එහෙත් බලධාරීන්ගේ අවධානය යොමු නොවූ කාරණා ද සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්නට යොදා ගත හැකි බැව් පෙනේ. ඉන් එකක් වන්නේ Ghost hunting toursm යන සංකල්පයයි. මෙය ‘භූත දඩයම් සංචාරක ව්‍යාපාරය’ වැනි නමකින් සිංහල බසින් හැඳින්විය හැකි ය.
මෙය මේ වන විට ලෝකයේ බොහෝ රටවල සංචාරක ව්‍යාපාරය සඳහා භාවිතයට ගැනෙන සංකල්පයකි. ඇමරිකාවේ නිව් ඔර්ලියන්ස් සොහොන් බිම, චෙක් ජනරජයේ ප්රාග් අගනුවර ඇති පැරණි නගර ශාලාව, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇති ඉපැරණි නිරෝධායන මධ්‍යස්ථානය මේ සඳහා ඇති විදේශීය නිදසුන් අතර කිහිපයක් පමණි. භූත දඩයම් සංචාරක ව්‍යාපාරයේ දී සිදුවන්නේ හොල්මන්, අවතාර ගැවසෙතැයි කාලයක් තිස්සේ විශ්වාසයට ගැනුණු පාළු ගොඩනැගිලි, වනාන්තර, ආදිය කරා ත්‍රාසයට කැමති සංචාරකයන් කැටිව ගොස්, ඔවුන්ට ත්‍රාසය මුසු අත්දැකීමක් ලබා දීමයි.
මෙවැනි චාරිකාවල ඇති ත්‍රාසය තීව්ර කරනු වස් සංචාරකයන් සමග ගිවිසුම් අත්සන් කරන අවස්ථාවන් ද තිබේ. යම් හෙයකින් මෙවැනි ගුප්ත ස්ථානයක දි සිදුවන මොනයම් හෝ අද්භූතජනක සිදුවීමක් නිසා ජීවිතයට වුව හානි වුවහොත් ඒ සඳහා කිසිවකු වග නොකියන බව ඒ ගිවිසුම් වල සඳහන් කරනු ලබයි.ඊට අමතරව පරිසරයේ ඇති සියුම් සංවේදිතාවන් අනාවරණය කර ගත හැකි අධෝ රක්ත කැමරා ඇතුළු නවීන උපකරණ සහිත “භූත දඩයම් උපකරණ කට්ටල” මෙහි දී එම සංචාරකයන්හට ලබා දෙනු ඇත.
ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ගුප්තවාදී ආකල්ප දරන ජනතාවක් හිඳින රටක් වශයෙන් අපි ඉදිරියෙන් සිටිමු.ඒ අනුව ඩයනා ගමගේ මන්ත්‍රී වරිය කී ගණිකා වෘත්තිය කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයට සහ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී වරයා කී කසිප්පු අපනයනයට වඩා මෙම භූත දඩයම් සංචාරක කර්මාන්තය අපට අතිශයින් ගැළපෙනු ඇත.ඒ සඳහා යොදා ගත හැකි පැරණි මන්දිර,පාළු ස්ථාන කොතෙකුත් අප රටේ තිබේ.
නුවරඑළියේ ලවර්ස්ලීප් ඇල්ල එහි දී අපගේ මතකයට නැඟෙන ස්ථානයකි.මෙයින් පහළට පැන දිවි නසාගත් පෙම් යුවලක් මේ අවට හොල්මන් කරන බව ගම්මු විශ්වාස කරති. ඒ නිසා දේශීය සංචාරකයෝ මේ කරා ඇදී එති. මේ ඇල්ල ඉහළ සිට නරඹද්දී ඉතා සුන්දරය. නමුත් සවස හයෙන් පසු මේ අවට සිටීම අනතුරුදායක බවට විශ්වාසයක් පවතී.මෙම ස්ථානය මුල් කොට භූත දඩයම් සංචරක ප්‍රවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කළහොත් ඉන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
මහනුවර හෙල්ගාස් ෆොලි ද මෙම භූත දඩයම් සංචාර ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකි තවත් කදිම ස්ථානයකි.මෙය මුලින්ම කාමර 35 කින් යුක්තව තිබූ නිවසක් වූ අතර පසුව හෝටලයක් බවට පත්කරන ලද්දකි. මේ නමින් සඳහන් පුද්ගලයාගේ මව වූ එස්මි ද සිල්වා විසින් 1930 ගණන්වලදී ඉදිකරන ලැබූවක් වූ අතර එය පුරා විවිධ වූ කලා නිර්මාණ රැසක් දක්නට ලැබේ.
මහත්මා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි සහ නේරු වැනි ලොව කීර්තිමක් පුද්ගලයන් අප රටට පැමිණි අවස්ථාවන් හි දී නවාතැන ගත් ස්ථානයකි. කෙසේ නමුත් වර්තමානය වන විට මෙහි ඇත්තේ අතිශය ගුප්ත ස්වභාවයක් නිසා සාමාන්‍ය සංචාරකයන් මෙහි නවාතැන් ගන්නට මැලිකමක් දක්වන බව පෙනේ. එය තුළ මළගිය ආත්ම සැරිසරන බවට විශ්වාසයක් පවතී.එහෙත් මෙය භූත දඩයම් සංචාර සඳහා යොදා ගත හොත් විදේශ විනිමය උල්පතක් වනු ඇත.
ජෙනරාල් මන්දිරය නමින් හැඳින්වෙන මන්දිරය පිහිටා ඇත්තේ නුවරඑළියේ ය.මෙය ද අප රට පවතින තවත් සුප්‍රකට ගුප්ත මන්දිරයකි. යටත් විජිත යුගයේ ඉදිකරන ලද මෙය කලක් භාවිතයට ගැනුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාඩු නිකේතනයක් ලෙසිනි. අස්වාභාවික හේතුවක් නිසා මෙහි කාමරයක් තුළ කලකට පෙර ඉංග්‍රීසි ජාතික කාන්තාවක් මියගොස් සිටි අතර ඇය මෙය තුළ හොල්මන් කරන බව දැඩි විශ්වාසයක් පවතී. නමුදු භූත දඩයම් සංචාර ප්‍රිය කරන්නවුන් මේ පිළිබඳ තොරතුරු දැන ගත හොත් සැතපුම් දහස් ගණන් ගෙවා හෝ මෙහි පැමිණෙනු ඒකාන්ත ය.
එවන් ගුප්ත විශ්වාස රැසක් පවතින වොල්ෆෙන්ඩල් දේවස්ථානය පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ ය.වසර 300 ක් පමණ පැරණි දේවස්ථානයක් වූ මෙය ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකොට තිබේ.
මෙය පිහිටි භූමිය පුරා මළ සිරුර මිහිදන් කොට ඇත. මෙය පිටතින් වඩාත් නිහඬ, නිශ්චල ස්ථානයක් ලෙස පෙනුණ ද ඇතුළු වූ පසු ඉමහත් ගුප්ත ස්වභාවයක් සිරුරට දැනෙන්ට පටන් ගනී. කෙසේ නමුත් ගුප්ත බව මෙන්ම ඉපැරණි බව අත්විඳින්නට ද ඉතාමත් කදිම ස්ථානයකි.
මේ සඳහන් කරන ලද්දේ අප රට පවතින ගුප්ත බව පිරි ස්ථාන කිහිපයක් පමණි. මෙවැනි තවත් ස්ථාන බොහොමයක් අප රටේ තිබේ. මේවා භූත දඩයම් සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් මඟින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මේ කෙරෙහි කැමැත්තක් දක්වන ත්‍රාස රසය ප්‍රිය කරන සංචාරකයන් බොහොමයක් පහසුවෙන් අප රටට ආකර්ෂණය කරගත හැකිය.
සිදු විය යුත්තේ බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවීම පමණි.එමෙන්ම මෙම යෝජනාව මීට පෙර කිසිදු විටෙක කිසිදු පාර්ශයක් විසින් ඉදිරිපත් කොට නොමැති බව ද නිසැක ලෙසම ලියා තබමි.
නිරංජන් චාමින්ද කරුණාතිලක