සමු දෙන්න වරම් නොදුන් ගුරු තුමනි

samu

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ප‍්‍රධාන කි‍්‍රකට් පුහුණුකරු ලෙස වසර විස්සක කාලයක් කටයුතු කළ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයකු මෙන්ම දක්‍ෂ පුහුණුකරුවකු ද වන අසේල සම්පත් සේනාරත්න මහතා කොරෝනා වංසංගතයට ගොදුරුවී පසුගිය දා දිවි මඬලෙන් සමුගෙන තිබුණා.

මිය යන විට හතලිස් වන වියේ පසු වූ ඔහු සිව් දරු පියෙක්.ඔහුගේ ගුරු හරු කම් වලින් කුසලතා වර්ධනය කරගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය ගණනක් ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත්වී සුවිශේෂී දක්‍ෂතා දක්වා තිබුණා.

මෙවර අපි වෝල් එකට තෝරා ගත්තේ ඒ ‘ගුරුවරයා’ගේ අකල් වියෝව වෙනුවෙන් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු අකුරු කළ කවි පෙළක්.

ආදාහනාගාරයේ සද්දන්ත දුම්බටය

කළු – සුදු වර්ණ සම්මිශ‍්‍රණය කරමින්

හිස් අහසේ වළාකුළු අතරට

මුදාහරිනවා ගුරුතුමනි,

නිසල දේහය ළඟ දණින් වැටී

අවසන් වරට සමුදෙන්න හෝ

වරම් අහිමි කර

හීන් සීරුවේ පැමිණි කොරෝනා මාරයා අයාලේ බිලිගත්තු – ඔබේ දේහය දවාලූ දුමාරය

ඔබේ සිරුරෙන් නැඟුණ සුපුරුදු දහදිය සුවඳ

සොය සොයා ඉව අල්ලයි නාස්පුඩු

විටෙක අපට පියෙකු වූ

විටෙක කුළුපග මිතුරකු ද වූ

නුඹ අපට ඉගැන්නුවේ

පිත්ත බෝලය හසුරුවන හැටි පමණක් නොවෙයි

ජීවිතයට අවැසි සැමදේම

දක්ෂකම් දුටු විටදී පැසසුම් කළා සේම

පරාජය හමුවේදී රළු වදන් පිටකළේ

අහිතකින් නොවන වග – දන්නවා අපි සැවොම

දැඩි අදිටනින් යුතුව – ලබාගත යුතු දෙයක් මිස

ජයග‍්‍රහණය අනෙකුන් ඉබේ දෝතට – පිරිනොපමණ වග

කියා දුන්නේ ඔබ – පේළියට දණ ගස්වා

පිරිනමපු සැරම සැර පිති පහරවලින්

දයාබර ගුරුතුමනි; ඔබට සදා නිවන් සුව

සුපුන් නිසල්

wall එක