මාර්තු 20 වැනි දින IMF ණය අනුමත වන බවත් මාර්තු 21 වැනිදා මේ අනුමත මුදල් වූ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල ලැබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ ප්‍රකාශ කොට ඇති බව ප්‍රධාන පෙළේ පුවත්පතක වාර්තා කොට තිබේ. මේ මුදල ලැබිම, ශ්‍රී ලංකාව කෙරෙහි විදෙස් ආයෝජකයන්ගේ ආකර්ෂණය ඇතිවීම කෙරෙහි සුබදායී ලෙස බලපෑම් කරනු ඇති බවත්, අවශ්‍යතා ඇති අංශවල එම කටයුතු සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය තරම් විදේශ විනිමය එකතු වනු ඇති බවත් තවදුරටත් ඔහු පවසා තිබේ.
IMF ණය අනුමත වීම පිලිබඳ රජය සහ රජයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අදහස් දක්වන්නේ මහත් ජයග්‍රහණයක් ලෙසින් වුව ද අප අමතක නොකළ යුතු දෙය වන්නේ මෙය ද තවත් එක් ණයක් පමණක් වන බවය. 2022 අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 34.8 ක් වූ අතර එම ණය කන්දටම මේ ඩොලර් බිලියන 2.9 ක මුදලක් එකතු වෙයි. මේ ණය කන්ද වාරික වශයෙන් ආපසු ගෙවීම පසුගිය අප්‍රේල් මාසයේ දි නතර කොට දැමුව ද, ශ්‍රී ලාංකාවේ ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් වන්නේ මේ ණය ආපසු ගෙවීම සඳහා ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීම පිළිබඳ කතාබහට ලක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරයේ සිටින සමයේ වුව ද ඒ පිළිබඳ ඒකමතික තීරණයක් ඇති වූයේ නැත. ආර්ථික අර්බුදය කෙමෙන් උත්සන්න වෙද්දි IMF හැරුණු විට වෙනත් විසඳුමක් නොමැති තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් විය. කෙසේ නමුත් මේ සඳහා බොහෝ බාධක පැවතිණි. එක් අවස්ථාවක අසන්නට ලැබුණේ චීනයේ ස්ථාවරය මේ සඳහා වැදගත් වනු ඇති බවය. කෙසේ නමුත් අවසානයේ ශ්‍රී ලංකාවට IMF ණය ලබා ගැනීම සඳහා තීරණාත්මක් කාර්යයක් කරන්නට ඉදිරිපත් ව සිටියේ ඉන්දියාවය. මේ පිළිබඳ ඇතැම් අය පැවසුවේ සින්න වෙන්න යන රන් භාණ්ඩ වෙනත් පාර්ශ්වයක් මගින් බේරා රන් භාණ්ඩ හිමිකරුවන්ට ද අසාධාරණයක් නොවන ආකාරයේ ගනුදෙනුවක් කරනවා හා සමාන උදව්වක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන්නට සූදානම් වෙමින් සිටින බවය. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් ඉන්දියාව පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කරනු ද අසන්නට ලැබිණි. තවත් අය පැවසුයේ ඉන්දියාව තම සීමාව ඉක්මවා යමින් උදව් කරන්නට ඉදිරිපත් වී ඇති බවය. මේ සෑම කාරණයකින් පැහැදිලි වන්නේ IMF ණය ලබා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කරන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව බවය. සැබවින්ම එවැනි යටි අරමුණක් තිබේද? අප සොයා බැලිය යුත්තේ එයයි.
ඉන්දියාව ශ්‍රී ලංකාව සඳහා මේ ආකාරයෙන් උදව් කරන්නට හේතුව වී ඇත්තේ ඉන්දියාව සහ චීනය අතර කාලාන්තරයක් තිස්සේ පවතින විරසකයයි. අනාදිමත් කාලයක් සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවත්, ශ්‍රී ලංකාව සහ චීනයක් අතර සමීප සම්බන්ධකමක් පැවතිණි. කෙසේ නමුත් චිනය ඉන්දියාව සමග ඇති විරසකය නිසා ඔවුන්ට අවශ්‍ය තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධකම දුර්වල කිරීමය. මේ සඳහා ඔවුන් මතුපිටට නොපෙනෙන සේ විශාල වශයෙන් මුදල් ආයෝජනයක් සිදු කරළ බව පෙනේ. අපට එය මෙසේ පැහැදිලි කරගත හැකිය.
රාමායනය කතාවට අනුව ඉන්දියාවට රාමා වීරයෙකි. රාවණා දුෂ්ටයෙකි. රාවණා යනු ශ්‍රී ලංකාවේ සිටි රජකු බව රාමායනය අනුව පැහැදිලිය. මේ නිසා රාමාට එරෙහිව රාවණාට පක්ෂපාතී අදහස් ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ රෝපණය කරන්නට චීනය ඉදිරිපත් වූයේ යැයි සිතීම අතිශයෝක්තියක් නොවේ. රාවණා පුරාවෘත වැඩි වශයෙන් මතුවන්නට පටන් ගැනෙන්නට වූයේ මේවායේ ප්‍රතිඵලයක් ලෙස වන්නට පුළුවන. අනෙක් කාරණය වන්නේ බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුණු බවට ගෙන යන මතවාදයයි. බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවට ඓතිහාසික, සංස්කෘතික සහ පුරා විද්‍යාත්මක සාධකවලින් මොනවට ඔප්පු වී තිබිය දී පවා අප රට තුළ එවැනි මතවාදයක් පැතිර යයි. . බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥ රොබින් කොනින්හැම් නේපාලයේ ලුම්බිනි ලෝක උරුම භූමියේ කළ කැනීමකින් මායා දේවී පොකුණ හමු වී තිබේ. මෙය ද බුදුන් වහන්සේ ඉන්දියාවේ උපන් බවට වැදගත් සාධකයකි. මෙවැනි මතවාද අප රටේ ජනසමාජය තුළ රෝපණය කිරිම සඳහා චීනය ප්‍රබල කාර්යභාරයක් ගෙන ගියා යැයි සැක සිතුවහොත් එහි අසාධාරණයක් නැත.ඉන්දියාවට දැන් අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඔවුන් අතර පලුදුවෙමින් පවතින මේ ඓතිහාසික, සංස්කෘතික බැඳිම් යළිත් නගා සිටුවා ගැනීමය. ඔවුන් රාම් සේතු පාලම ඉදිකොට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පහසු කරන්නට දැවැන්ත අයෝජනයක් කරන්නට ඉදිරිපත් වි ඇත්තේ ද මේ නිසාය. එමෙන්ම ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට කරුණු සලකා බලමින් පසුවෙයි. මේ සියල්ල ඔස්සේ ඉන්දියාව කැසකවන්නේ චිනයට වඩා ඉක්මන් වෙමින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ යම්කිසි ආකාරයක තවත් ප්‍රාන්තයක් බවට පත්කරගැනීම විය හැකිය.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වූ ජවහර්ලාල් නේරු වරෙක පවසා තිබුණේ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් ලෙස සැලකිය හැකි බවකි. එයින් පෙනෙන්නේ ඔවුන් තුළ කාලයක් තිස්සේ මේ අදහස පැලපයදිම් වී පැවති බවකි. නේරු පැවසුයේ ශ්‍රී ලංකාවේ සිටින්නේ ආර්යයන් බවය. මේ අදහසට එරෙහි අදහසක් ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ ඇති වෙමින් ‘හෙළයන්’, ‘යක්ඛයින්’ වැනි අදහස් පසු කාලීනව ඉස්මතු වන්නට පටන් ගැනුණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳගැනීමට උදව්වන මුවාවෙන් ඉන්දියාව කැසකවන්නේ වෙනත් කාරණයක් සාක්ෂාත් කරගන්නට ද යන සැකය මෙවැනි කරුණුවලින් ඉස්මතු වේ. අවසානයේ ණය කන්දකුත් සමග ශ්‍රී ලංකාවේ අනාගතය කුමන ඉරණමකට ගමන් කරනු ඇති ද යන්න පිළිබඳ ඇත්තේ සිතාගත නොහැකි අවදානම් තත්ත්වයකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක