ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ දිගින් දිගටම පෙන්නුම් කරන වර්ධනය නිසා අප රටේ ආර්ථිකය සෑහෙන කාලයකට පසු සෙමින් ඉදිරියට ගමන් කරන බව මේ දිනවල නිතර අසන්නට ලැබෙන්නකි. මේ රට නැවත යථා තත්ත්වයට පත්වීමක් ද, නොඑසේ නම් එවැනි තත්ත්වයකට පත්වීමක් සේ පෙනෙන වෙනත් තත්ත්වයක්ද? රටේ ආර්ථිකය පිළිබඳ මේ විමසුම තුළින් ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබාගන්නට හැකි වෙනවා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට උත්සාහ කරන බැවින් වෙළඳපළ මගින් තීරණය කරන ලද විනිමය අනුපාතිකයක් කරා ගමන් කිරීමට රුපියලෙහි වටිනාකම ලිහිල් කරන බව ප්‍රකාශ කළේය.
පසුගිය 3 වැනි සිකුරාදා බැංකුව සිය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 15.5 සහ සියයට 16.5 දක්වා පදනම් අංක සියයකින් (Basis Points – පදනම් අංක යනු පොලී අනුපාතිකය සහ මූල්‍ය ක්ෂේත්රයේ අනෙකුත් ප්‍රතිශතයන් සඳහා වූ සම්මත මිණුමයි ) ඉහළ නැංවූ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
1948 දී මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනාධාරයක් සඳහා අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.
මහ බැංකු අධිපති පී නන්දලාල් වීරසිංහ පැවසුවේ පොලී අනුපාත වැඩිවීමත් සමඟ සියලු ණය ලබාගැනීමට අවශ්‍ය සියලු “පූර්ව ක්‍රියාමාර්ග” සම්පූර්ණ කර ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනාධාරය මෙම මාසය තුළ අනුමත වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.
පොලී අනුපාත ඉහළ දැමුව ද, මහ බැංකුව අපේක්ෂා කරන්නේ වෙළෙඳපොළ අනුපාත තවදුරටත් පහළ යනු ඇති බවත්, මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේ දී, රට ක්‍රමක්‍රමයෙන් වෙළෙඳපොළ මත පදනම් වූ විනිමය අනුපාත තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ සඳහා 7 වැනි අඟහරුවාදා දිනයේ සිට රුපියලෙහි රඳවාගෙන සිටීමේ වටිනාකම ඉවත් කරන බව ඔහු පැවසීය. බැංකුව මෙම සතිය පුරා ක්‍රමයෙන් රුපියලේ අවම සහ උපරිම වටිනාකම අතර පරතරය අන්ත දෙකින්ම රුපියල් 10 බැගින් පුළුල් කර ඇත,
පසුගිය පෙබරවාරි මාසයේ දී සියයට 50 දක්වා ඉහළ යන උද්ධමනය මධ්‍යයේ පසුගිය වසරේ ඇස්තමේන්තු ගත සියයට 9.2 කින් වර්ධනය හැකිළීමත් සමඟ දිවයිනේ ආර්ථිකය මූල්‍ය අර්බුදයෙන් මිරිකී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රකාශයේ සඳහන් කළේ, ”උද්ධමනය පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ මහ බැංකු කාර්ය මණ්ඩලය අතර යම් යම් වෙනස්කම් ඇති වී තිබෙන බවය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility ) සම්බන්ධ විධිවිධානය අවසන් කිරීමත් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා සියලු ‘පූර්ව ක්‍රියාමාර්ග‘ සපුරාලීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය එකඟතාවයකට පැමිණ තිබේ” මහ බැංකු ප්‍රකාශයෙන් තවදුරටත් එසේ සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. එම ක්‍රියාවලියේ කොටසක් ලෙස එය පොලී අනුපාත, බදු සහ විදුලි මිල ඉහළ දමා ඇති අතර, ඉතා දුෂ්කර ආර්ථිකයක් ඇති සාමාන්‍ය ජනතාව මෙයට එරෙහිව විරෝධතා මාර්ගයන්ට අවතීර්ණව සිටිනු දක්නට ලැබේ.
“මෙම වැඩසටහන අනුමත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයට ඒත්තු ගැන්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් මහ බැංකු කාර්ය මණ්ඩලය තමාට හැකි ඕනෑම යහපත් හෝ අයහපත් තීරණයක් ක්‍රියාත්මක කිරීමට පෙළඹී සිටින බව එයින් පෙන්නුම් කරයි,” යනුවෙන් සමීක්ෂණ සිදුකරන ප්‍රධාන පෙළේ ආයතනයක් වන ‘ෆ්රන්යටිර් රිසර්ච්’ ආයතනයේ ප්‍රධානී තිළිණ පඬුවාවල පැවසීය.
“එය බොහෝ විට විශ්වාස කරනවාට වඩා ඉතා ඉක්මනින් වෙළඳපළ ව්‍යාකූල කරන්ට ඉඩ තිබේ. එම තත්ත්වය රඳා පවතින්නේ මේ සියලු තීරණවල අරමුණු මාර්තු මාසය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනාධාරය ලබාගැනීමට ක්‍රියාත්මක කරන තීරණ බවට වෙළෙඳ පල තේරුම් ගන්නා ආකාරය අනුවය” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනාධාරයක් ලබාගැනීම, චීනය දක්වන යහපත් ප්‍රතිචාරය මත තීරණය වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
ශ්‍රී ලංකාවට ණය ලබාදෙන අනෙකුත් ප්‍රධාන ණය දෙන්නන් වන ඉන්දියාව සහ ණය හිමියන්ගේ පැරිස් සමාජය දැනටමත් ඔවුන්ගේ සහයෝගය මේ සඳහා ලබා දී තිබේ.
මේ සියලු කාරණා අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බවක් නොව, එය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවය. නමුත් රජය පෙන්වන්නට උත්සාහ කරන්නේ එය ඉඳුරාම වෙනස් දෙයකි. ශ්‍රී ලංකාව චිරාත් කාලයක් තිස්සේ මුහුණ දුන් අර්බුදය මෙයයි. අපට අවශ්‍ය වන්නේ මේ අර්බුදයෙන් ගොඩ ඒමට ඇති මගක් විනා සැමදා ණය මත යැපෙමින් ජීවත් වන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවක් නොවේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක