හොඳම නාඩගම් කාරයෝ ඇත්තේ ටෙලිතිරයේ ද? ආණ්ඩුවේද?

tele

“කොහු මිටි හරස් කර ගැනීම”යනුවෙන් හඳුන්වන ජන වහරක් තිබේ.ඉන් හැඟවෙනුයේ ගෘගස්ථ අර්බුදයකි.මක් නිසා ද කොස්ස යනු කිසි විටෙකත් නිවසින් පිටතට නොගන්නා ගෘහ උපකරණයක් බැවිනි.කාලයක් පටන් දිනෙන් දින මෝරමින් පැමිණි ආණ්ඩුව ඇතුළේ තිබූ “කොහු මිටි හරස් කර ගැනීම” පසුගිය දා එළියට පැමිණියේ නොසිතු වාග් ප්‍රහාරයන් ද සමගිනි. ඒ ආණ්ඩුව නියෝජනය කරන සුළු ජාතික පක්ෂ නියෝජිතයන් හා තවත් කණ්ඩායම් කිහිපයක් පිටතට පැමිණ සමුළුවක් පැවැත්වීම නිසාවෙනි. මහජන මන්ත්‍රණ සභාව ලෙස නම් කොට තිබුණු මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේකෙරවලපිටිය බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පළ කිරීම ය.

ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂයන් හි අර්බුද මතුවන්නට පටන් ගැනුණේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී මුදල් ඇමති ලෙස වැඩබාර ගැනීමෙන් අනතුරුව ය. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිලට ආරෝවක් පැවැතියේ ඔහු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොවීම කරණ කොට ගෙන ය.අපේ රටේ දී අපේ ගැමිකම විදහා දැක්වෙන කුරහන් සාටකය පැළඳ ජනතාව හමුවට එන ඔහු ඇමරිකානු පුරවැසිබව අතහැරීමට ද අකමැති බව පෙනෙයි.

බැසිල් රාජපක්ෂගේ ආගමනය හේතුකොට ගෙන දේපාර්ශවය අතර මත ගැටුමක් පැවැතිනි. ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණෙන බව දැනගත් කාලයේ පටන් ආණ්ඩුවේ සුළු පක්ෂ එක පෙරමුණකට එකතු වූයේය. විමල් වීරවංශගේ නායකත්වයෙන් ඇරමුණු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සන්ධානයට වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, ටිරාන් අලස් හා වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරු එක්ව සිටියහ. පසුව මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු විය.

ඔවුන් එක පෙරමුණකට ගොනු වෙද්දී ආණ්ඩුවේ අනෙක් පාර්ශව ද ඊට එරෙහිව කතා කරන්නට වූහ. මේ නිසා දෙපාර්ශවයේ කඹ ඇදීම දිගින් දිගටම ඉදිරියට ගියා මිස සමථයකට පත්වූයේ නැත. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ද මේ විරෝධය මතු විය. පසුව බටහිර ජැටිය දෙන විට ඔවුන් නිහඩව සිටියෝය. නමුත් මෙවර ඔවුන් එළියට පැමිණියේ කෙරවලපිටිය තාප බලාගාරය මූලික කරගෙන ය.

ඇමරිකානු ෆොට්‍රස් සමාගමට මෙම බලාගාරයෙන් 40% ක කොටසක්ද, අලුතින්ම ඉදිකරනු ලබන ස්වභාවික වායු බලාගාරයෙන් 49% ක කොටසක් ද පැවරීමේ ගිවිසුම මෙරට රජය අත්සන් කර තිබුණේ මධ්‍යම රාත්‍රියේ ය. එසේම බලාගාරයට ස්වභාවික වායු නැතිනම් ළ්ණ්ඝ් ලබාදීමේ පූර්ණ හිමිකම ද සමාගමට පවරා තිබුනි.

ඊට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ සංවිධානය වූ අතර පසුව සුළු පක්ෂ කණ්ඩායම පිටතට පැමිණියේය. ඔවුන් පිටතට පැමිණියා පමණක් නොව කැබිනට් රහස් කිහිපයක් ද ඔවුන් ප්‍රසිද්ධ කළෝය. ඇමරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරය හා ස්වභාවික ගෑස් පැවරීමේ සදාකාලික අයිතිය ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ද විමල් වීරවංශ ඇමතිවරයා කරුණු හෙළි කළේය. කැබිනට් රහස් යනු රාජ්‍ය රහස් ය. බොහෝ දෙනා ඇමති මණ්ඩල සාකච්ඡා ගැන ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ  නොකරන්නේ එබැවිනි.

කැබිනට් තීන්දු ගැන ප්‍රකාශ කිරීමට කැබිනට් ප්‍රකාශක කෙනෙකු පත් කරන්නේ සියළු දෙනා අදහස් පළ කිරීමෙන් රාජ්‍ය රහස් පිටවීම වැලැක්වීමට ය. කැබිනට් තීන්දු යනු රාජ්‍ය රහස්ය. කැබිනට් යන වචනයේ අරුත වන්නේම රහස් කාමරය යන්න ය. රහස් කාමරය තුළ කතා කරන දේ එළියට එන්නේ නැත. චන්ද්‍රිකා ජනාධිපතිවරිගේ සමයේ කැබිනට් මණ්ඩලයේ රිපෝටර්වරයෙකු සිටියේය. හිටපු ජනප්ති වරියගෙන් එම නාමය හිමිව තිබුණේ වත්මන් අගමැති එවක ඇමතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂට ය.

කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරන දේ අකුරක් නෑර පසුදින පුවත්පත් හි මුල් පිටුවේ පළවී තිබෙනු දැකීමෙන් හිටපු ජනාධිපතිනිය මෙම නම පටබැන්දාය. හොර රහසේ එය කළ ද විමල් ඇතුළු කණ්ඩායම එය ප්‍රසිද්ධියේ කීවෝය. කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව පැමිණි දිනයේ සිට එය අමාත්‍ය මණ්ඩල තීන්දුවලට ඇතුළත් වූ ආකාරය දක්වා විශේෂ හෙළිදරව්වක් කළේය.

.නමුත් විමල් ඒ කිසි අවස්ථාවක ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බවක් කීවේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන කීවේ ආණ්ඩුවෙන් ඉවත්ව කොහෙට යන්න ද කියාය.ඒ අදවන විට ශ්‍රීලනිපය වහලක් නැති ගෙයක් බවට පත් ව ඇති බැවිනි. එසේම කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයක් අසලට ගිය හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව හා කෘෂිකර්ම ඇමතිවරයා දැඩිව විවේචනය කළේය.

ආණ්ඩුවේ මෙම අර්බුදය නාඩගමක් විය හැකි බවට පිරිසක් සැක කරති.මක් නිසා ද අද රටේ හොඳටම”නාඩගම් කාරයෝ”රඟ දැක්වෙනුයේ ටෙලි තිරයේ නොව දේශපාලන කරලියේ බැවිනි. අහිමි වන ආණ්ඩුවේ ජනප්‍රියතාවය තමන් යටතට ගැනීමේ උත්සාහයක් ලෙස තවත් පිරිසක් මෙය අර්ථ දක්වති. බඩුමිල ඉහළ යාම, ඉන්ධන හා පොහොර අර්බුද යට ගැසීම උදෙසා මෙම නාඩගම රඟදක්වන බව ඔවුනට විරුද්ධ කණ්ඩායම් කියා සිටිති. එසේම ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර කතා බහ වන්නේ මේ පිටුපස චීන රජය සිටින බවකි. මෙවැනි කතා බහ රාශියක් මධ්‍යයේ හවුල්කාර පක්ෂ මෙලෙස කටයුතු කරති.

හවුල්කාර පක්ෂ සන්ධානය තුළ ඇමතිවරු තිදෙනෙක් සිටිති. ඔවුන් ආණ්ඩුවට එල්ල කළේ බරපතල විරෝධයක් වුවද ඊට අදාළව කිසිදු පියවරක් ආණඩුව පැත්තෙන් ගැණුනේ නැත. මෙම පිරිස තවමත් අමාත්‍යධූර අත්හැරියේද නැත. එනිසා ජනතාවට මෙය නාඩගම් කාරයන්ගේ වැඩක් සේ සිතුණාට  වරදක් ද නැත. ආණ්ඩුවෙන් ගිළිහෙන ඡන්ද ටික මොවුන් සාක්කුවට දමා ගන්නවාට සැකයක් නොමැත.

ආණ්ඩුව පාර්ශවයේ මන්ත්‍රීවරුන් රැසක් මෙම සම්මන්ත්‍රණයට විරෝධය පළ කර තිබුණි. සිටිය නොහැකි නම් යන ලෙස ඔවුන් පුන පුනා කීවෝය. නමුත් හවුල්කාර පක්ෂ නියෝජිතයන් තවමත් ප්‍රකාශ කරනුයේ රටේ නායකයෙක් එය කියූ සැනින් ඉවත් වන බව ය.

දෙපාර්ශවය බෝලය දෙපාර්ශවයට හුවමාරු කර ගිනිමින් සිටිනු දක්නට තිබේ. කුමන ප්‍රශ්නයක් අවසානයේ වුවද අමාරුවේ වැටෙන්නේ රටේ අහිංසක ජනතාවය. පාලකයෝ නාඩගම් නටති, කති, බොති,අනික් දේ ද කරති. . අහිංසක දුප්පතුන් සැමදා මහපාරේ ය. මෙය නාඩගම්කාරයෝ 2 ද නැති ද යන්න දැනගත හැක්කේ ඉදිරි කාලයේදීය. එතෙක් අපි කටවල් උළුක් කර ගනිමින් බලා සිටිමු.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර