ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF ) ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් අනුමත කිරීමට එකඟ වී තිබේ. ඊට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවයා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. මෙය මෑත භාගයේ අත් පත් කර ගත් දහසකුත් පරාජයන් හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයක් කීවොත් වැරදි නැත.
ඒ මන්ද යත් ශ්‍රී ලංකාව යනු මේ වන විට බංකොලොත් රාජ්‍යයකි. බංකොලොත් රාජ්‍යය කෙසේ වෙතත් බංකොලොත් පුද්ගයෙකුට වුවත් කිසිවෙකු ණය දෙන්නේ නැත.
අඩුම තරමේ බැංකුවකින් හෝ ණයක් ගැනීමට නොහැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු බැංකුවකි. මේ අවස්ථාවේ ඔවුන් ලංකාවට ණය අනුමත කිරීම ලංකාවට යාන්තමින් හුස්ම ගැනීමට ලබා දුන් අවස්ථාවකි.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හොත් එය රටක් ලෙස අපට දෙපයින් නැගී සිටීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවට කතා බහ ආරම්භ වූයේ ගිය වසරේ අවසාන භාගයේ සිට ය. මන්ද ලංකාව ආර්ථික වශයෙන් පරිහානිය කරා ගමන් කරන බව ඒ වන විටත් ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශ කරමින් සිටියහ. ජනවාරි වන විට වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියොත් ශ්‍රී ලංකාව බංකොලොත් වන බව විදෙස් ආර්ථික විශේෂඥයන් පවා තහවුරු කොට තිබිණ.
එහෙත්, ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කිරීමට උත්සාහ කළේ නැත. ඔවුන් තමන්ගේ සුපුරුදු වැරදි ආර්ථික කළමනාකරණය ඔස්සේම ඉදිරියට ගියේය. එවක රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ වාසුදේව නානායක්කාර කීවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් තමන් ඒ මොහොතේම ආණ්ඩුවෙන් ඉවත් වන බව ය.
විමල් වීරවංශ පාර්ශවය ද දැඩිව ඒ මතයේම සිටියේය. ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් හිඟා කන්න හදන බව ඔවුහු කීහ. තම අසාර්ථක භාවය මේ වන විට උවමනාවටත් වඩා පෙන්නුම් කළ වියත් මගේ බොහෝ දෙනෙකුගේ අදහස වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් දේශීය ආර්ථිකය දියුණු කළ යුතු බව ය.එය හරියට කුස ගින්නක් දැනුනු විට බතල හිටවන්න කියන්නාක් බඳු කතාවකි. රටේ අවශ්‍ය තරම් සම්පත් ඇති නිසා ඒවා දියුණු කර ගන්නවා මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යට නොවිය යුතු බව ඔවුහු කීහ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය පසු රාජ්‍ය සේවකයන් හරි අඩක් ඉවත් කරනු ඇතැයි ඔව්හු කීහ. එසේම රාජ්‍ය දේපොල පුද්ගලීකරණය කිරීමේ කොන්දේසි එන බව ද කීහ. මෙවැනි අසුබවාදී කරුණු කාරණා රැසක් ඔවුන් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයු යුතු බවට තර්ක විතර්ක ඉදිරිපත් කළෝය. අවසානයේ මෙම ප්‍රකාශ වලින් අන්ද මන්ද වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අයි.එම්.එෆ් වෙත නොයා සිටියේය.
ඉන් වූයේ බාහිර රෝගී අංශයෙන්( OPD) බෙහෙත් ගෙන සුවපත් කිරීමට සිටි රෝගියා කෙලින්ම දැඩි සත්කාර ඒකකය(ICU ) වෙත ඇතුළත් කිරීමට සිදුවීමය. ලංකා මාතාව මේ වන විට බැරෑරුම් ශල්‍ය කර්ම රැසකට ද භාජනය වී අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියි. නියපොත්තෙන් කඩන්න තිබුණ දේ පොරොවෙන් කපන්නට අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සකස් කර දී ඔහුත් රටින් පලා ගියේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම කෙරෙහි විරෝධය පළ කළවුන් ද දැන් ඊට වඩා ජනප්‍රිය මාතෘකා සොයමින් සිටිති.
මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අරුචිය නිසා පහුගිය කාලය තුළ ලංකාවට ණයකරුවන්ට ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කරන්නට සිදුවිය. ඉන්ධන, ගෑස් ගෙන්වා ගැනීමට නොහැකි තැනට රට පත් විය. ණය ගෙවන්නට නොහැකි බව ප්‍රකාශ කළ තැන සිට බොහෝ විදෙස් සමාගම් ලංකාවට ණයට භාණ්ඩ දෙන එක නවතා දැමුවේය. එම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ද පරිහානියට පත් විය.කෙසේ හෝ රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලය වන විට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට තීන්දු කළෝය. ඉන් පසු රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වූ විගස අයි.එම්.එෆ් සාකච්ඡා වේගවත් කළේය.
පසුව රට තුළ ඇතිවූ දේශපාලන අවිනිශ්චිතතාවය නිසා අගෝස්තු මස මුල සතියේ අත්සන් කිරීමට නියමිත වූ කාර්ය මණ්ඩල මූලික එකඟතාවය පස්සට ගියේය.ඔහු ජනාධිපති වූ පසු යළි සාකච්ඡා ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මූලික එකඟතාවයට පැමිණීමට හැකියාව ලැබුණි. එයින් ලැබෙන ලාභය වන්නේ ලෝකයේ අනෙක් රටවල් හා පෞද්ගලික ආයතන ලංකාවේ මූල්‍ය කළමනාකරණය ගැන විශ්වාසය තැබීම පමණකි. එය ප්‍රයෝජනයට ගෙන ලංකාව ඉදිරියට ගෙන යාම ජනාධිපති ඇතුළු පාලන තන්ත්‍රයේ වගකීම වේ.
ලසන්ත වීරකුලසූරිය