‘කාබනික’ යන්න මේ දිනවල අපට නිතරම ඇසෙන වචනයක් බවට පත්ව හමාරය. ඒ කාබනික පොහොර, කාබනික වගාව ආදිය නිතරම පාහේ මාධ්‍යවලින් කියවෙන නිසාය. අප රටේ පමණක් නොව අග්නිදිග ආසියාවේම රටවල් බොහොමයක් කාබනික වගාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ.
වේගයෙන් වෙනස්වන වගා ක්‍රමවේද තුළ තිරසාරබව, පසේ සාරවත්බව සහ ජීව විද්‍යාත්මක විවිධත්වය ආරක්ෂා කරගැනීම සඳහා ඇති විකල්පයක් වන්නේ කාබනික වගාව ය. මුඩුබිම්වල පස නැවත සාරවත් කිරීමත් ජලය රඳාපැවැත්ම වැඩිදියුණු කිරීමත් සඳහා තට්ටුමාරු ගොවිතැන සහ එම බිම්වල කොලරොඩු තැන්පත්වන්නට ඉඩහැර කාබනික තත්ත්වයක් ඇතිකිරීමේ ප්‍රවණතාවක් මෑතක සිට දකින්නට ලැබී තිබේ.
‘කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයක් සඳහා වූ ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ (International Federation of Organic Agriculture Movements – IFOAM) පවසන පරිදි කාබනික වගාව යනු පසට සහ බෝගවලට ස්වභාවිකව සත්කාර කරන ක්‍රමයක් පමණක් නොව පෘථිවිය මත ජීවය තිරසාර කිරීම සඳහා වූ ධනාත්මක පියවරක් ද වන්නේ ය. කාලගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කරමින්, ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ පෝෂණ මට්ටමත් ජීවන තත්ත්වයත් වැඩිදියුණු කිරීමට කාබනික වගාව තුළින් සිදුකළ හැකිය.
කාබනික කෘෂිකර්මය පිළිබඳ අවධානයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන අයතනයක් වූ ‘කාබනික කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ ආයතනයේ’ (Research Institute of Organic Agriculture – FiBL) දත්තවලට අනුව ආසියාවේ කාබනික ගොවිතැන සිදුකරෙන ගොවිබිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 6.1 කි. නමුත් එය ආසියානු කලාපයේ මුළු වගාබිම්වල ප්‍රතිශතයක් ලෙස ගෙන බැලුවහොත් 0.4% කි. ආසියාවේ විශාලතම කාබනික පොල් වගාව ඇත්තේ පිලිපීනයේ ය.
හෙක්ටයාර 150,000 ක් වන එය ආසියානු කලාපයේ කාබනික පොල් වගා බිම් ප්‍රමාණයෙන් 70% කි. වැඩිම කාබනික කෝපි වගාව ඇත්තේ ඉන්දුනීසියාවේ වන අතර එය හෙක්ටයාර 46,000 කි.
මේ ආයතනය පවසන පරිදි කාබනික වගාව සඳහා වැඩිවැඩියෙන් වගාබිම් යෙදවෙමින් පවතින අතර බොහෝ රටවල කාබනික ආහාර නිෂ්පාදනය නිසා ලැබෙන ආදායම ද වැඩිවෙමින් පවතී.
ලොව පුරා සංගණන සිදුකරන පිළිගත් වෙබ් අඩවියක් වන www.statista.com ට අනුව සෑම බෝගයක්ම සළකා බැලීමේ දී කාබනික වගාව සඳහා ආසියාවේ වැඩිම භූමි ප්‍රමාණයක් වෙන්කොට ඇත්තේ ඉන්දියාව වන අතර එය හෙක්ටයාර මිලියන 2.2 කි. චීනයේ ද ඒ හා සමාන ප්‍රමාණයක් වෙන් කොට තිබේ. ශ්‍රී ලංකාව ඇත්තේ හත්වැනි ස්ථානයේ වන අතර බිම් ප්‍රමාණය 70,436 කි.
සමස්ත ලෝකය ලෙස ගෙන බැලුවහොත් රටවල් 187 ක් සහ හෙක්ටයාර මිලියන 72.3 ක් මේ වන විට කාබනික කෘෂිකර්මය සඳහා වෙන්කොට තිබේ.
මේ සඳහා අවම වශයෙන් ගොවීන් මිලියන 3.1 කගේ දායකත්වය ලැබී තිබේ. කාබනික වගාව තුළින් නිෂ්පාදනය කළ ආහාර සහ පාන වර්ගවලින් 2019 වසරේ දී ඉපැයූ ආදායම පමණක් යුරෝ බිලියන 106කටත් වඩා වැඩි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි. කාබනික වගාව තුළින් කෙරෙන නිෂ්පාදන ප්‍රමාණය අභිබවා ඒ සඳහා ඉල්ලුමක් ලොව පුරා පවතින බව පැවසේ.
ආසියාවේ කාබනික කෘෂිකර්මයේ ප්‍රමුඛයා වන ඉන්දියාවේ දැනට සහතික ලත් කාබනික නිෂ්පාදන 835,000 කට වඩා තිබේ. අප්‍රිකා මහාද්වීපය තුළ කාබනික වගාව තුළ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ උගන්ඩාව වන අතර එය හෙක්ටයාර 240,000 කි.
උතුරු ඇමරිකාව තුළ ඇමරිකා එක්සත් ජනපදය හෙක්ටයාර මිලියන 2.03 ක් මේ සඳහා වෙන් කොට තිබේ. ඕස්ටේ්‍රලියාව පවසන පරිදි ඔවුන් මේ සඳහා වෙන්කොට ඇති මුළු බිම ප්‍රමාණය හෙක්ටයාර මිලියන 22 කි.
මේ පසුබිම තුළ ශ්‍රී ලංකාව තවම පසුවන්නේ අඳුරේ අතපත ගාන තත්ත්වයකය.
නිරංජන් චාමින්ද කරුණාතිලක