පසුගිය දිනයක මා දන්නා හඳුනන වෛද්‍යවරයෙකුගෙන් එක්තරා කාන්තාවක් විමසා ඇත්තේ තමන්ට විෂබීජ සියල්ලෙන්ම ආරක්ෂා විය හැකි පීපීඊ කට්ටලයක් වෙළඳ සැලකින් මිලදී ගන්නට හැකි ද කියාය.
සාමාන්‍ය කාන්තාවක් වූ ඇයට පීපීඊ කට්ටලයක අවශ්‍යතාවය කුමක්දැයි වෛද්‍යවරයා ඇසූ විට ඇයගේ පිළිතුර වී ඇත්තේ තමන්ට මළගෙදරක යන්නට ඇති නිසා කොරෝනාවෙන් ආරක්ෂා වීමට එවැන්නක් ගන්නට සිත් වූ බවයි.අතීතයේ ඉතා කලාතුරකින් පමණක් දක්නට ලැබුණු ගගන ගාමී ඇඳුම් කට්ටල වලට සමාන මෙම විශේෂිත ඇඳුම් කට්ටල මේ දින වල රූපවාහිනී ප්රවෘත්ති ප්‍රකාශ මඟින් අපට නිතර දක්නට ලැබේ. විශේෂයෙන් කොවිඩ් ආදාහන සිදු කරන්නෝ මෙම ඇඳුම් වලින් සැරසී සිටිති.
ඇය පැවසූ පී පී ඊ යන්න අපේ කනට මෙතරම්ම හුරුවූයේ කෝවිඩ් 19 වෛරසය පැතිරීමත් සමඟ වුවද පීපීඊ නැතිනම් Personal protective equipment යැයි කියූ විට බොහෝ අයට සිහිපත් වන්නේ වර්තමානයේ දී ඔබ නිතර දෙවේලේ දකින මුළු සිරුරම වැසෙන සේ අඳින ගගනගාමියෙකු සිහිපත් කරවන ඇඳුම් කට්ටලයයි .එහෙත් පීපීඊ යනු එලෙස ඔබට එසැනින් මතකයට එන එම විශේෂිත ඇඳුම පමණක් ම නොවේ .
අතීතයේ යුද සෙබළුන් යුද වදින විටදී තමන්ගේ පපුව ,මුහුණ ආරක්ෂා කරගන්නට පැළදී ලෝහ ආවරණ ,හෙල්ල පළිහ ආදියද එදා පැවැති පීපීඊ ය.වෑල්ඩින් කාර්මිකයෙකු තීව්ර ආලෝකයෙන් තම දෑස් රැකගන්නට පළදින මුහුණු ආවරණය ද පීපීඊ ය.මරණ පරීක්ෂණවලදී අප භාවිතා කරන බූට්ස් ග්ලවුස් ,ආදියද පීපීඊ මය. මේ ආකාරයට පීපීඊ යැයි කියූ විට විශාල පරාසයක් පුරා පැතිරුණු යම් අවදානම් සහගත තත්වයන් හා ගැටෙන පුද්ගලයන් තමන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කරන ඇඳුම් උපකරණ ආදී සියල්ලම අයත් වන බව දැන් ඔබට පැහැදිලි ඇති.එමෙන්ම මෙය ගගන ගාමියකුගේ ඇඳුමට සමාන වීමට ද යම් හේතුවක් තිබේ.ඊට හේතුව අභ්‍යවකාශ ගමන් වල දී අනිවාර්යෙන් මෙය හැඳ සිටිය යුතු බැවිනි.
අද වන විට කෝවිඩ් ආසාදිතයින් හා ගැටෙන සෞඛ්‍ය සේවකයින් ඇතුළු පිරිස් වෙත ඇති අවදානම හේතුවෙන් ඔවුන්ට මෙම පිපීඊ ඇඳුම් කට්ටලයට අමතරව වෙනත් පී.පී.ඊ.ද භාවිතා කරන්නට සිදුවේ .ඔවුන් ඉදිරියේ ඇති අධි අවදානම හේතුවෙන් කිසිදු ආකාරයකින් වෛරසය තමන්ගේ සිරුර තුළට නොඑන ආකාරයට නිමවා ඇති එම ඇඳුම ඔවුනට නොඇඳ ම බැරි ය .ඇතුළතින් දහදිය උරා ගන්නා ආකාරයටත් පිටතින් කිසිවක් ම අවශෝෂණය නොවන ආකාරයටත් නිමවා ඇති මෙම සුවිශේෂී ඇඳුම ඇඟලා සිටීම ම දුෂ්කර ක්‍රියාවකි .
මළ ගෙදරක යන්නට පීපීඊ සෙවූ කාන්තාවට පවසන්නට ඇත්තේ මළගෙදරකට පමණක් නොව නිවසින් පිටතට අඩිය තබන ඕනෑම මොහොතක පීපීඊ පැළඳීම අද නම් අත්‍යවශ්‍යම වන බවය .එහෙත් ඒ ඇය අදහස් කළ ආකාරයේ ඇඳුමක් නම් නොවේ .සාමාන්‍ය පුද්ගලයෙකු අත්‍යවශයෙන්ම පැළඳිය යුතු පීපී.ඊ.එක නම් වෙන කිසිවක් නොව මුව ආවරණ යයි .දෑත් නිතර පිරිසුදු කරන ගමන් මාස්ක් එකක් පැළඳීම හැරුණුකොට ග්ලවුස්ග් නැතිනම් අත් වැසුම් වත් පැළඳීම අවශ්‍ය නොවේ .
ඊට හේතුව ග්ලවුස් පැලැඳීමෙන් තම දෑත් වෛරසය හා ගැටීමෙන් වැළකුණා යන විශ්වාසය මත තැන නොතැන ස්පර්ශ කරන්නට යෑමෙන් වෛරසය පතුරුවා හැරීමේ වැඩි ප්‍රවණතාවයක් ඒ තුළ පැවතිය හැකි නිසයි.එබැවින් මේ සම්බන්ධයෙන් අවසන් වරට කීමට ඇත්තේ මේස පිහියකින් කපා ගත හැකි දෙයක් සඳහා කැත්තක්,මන්නයක් අවශ්‍ය නොවන බවයි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න
උත්පලා සුභාෂිණී ජයසේකර