පාලිත තෙවරප්පෙරුම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත්, කොළඹ කොටුවේ සිට සංගමන් කන්ද තුඩුව දක්වාත් ෆේස්බුක් පරිශීලකයන්ට ආගන්තුක චරිතයක් නොවේ. සිංහල ප්‍රජාව තුළ සේම, දමිළ ප්‍රජාව තුළත්, මුස්ලිම් ප්‍රජාව තුළත් ඔහු ජනප්‍රිය චරිතයකි.
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත ඔහු යම් පෝස්ටුවක් ඇතුළත් කළ සැනින් එය “වයිරල්” වන්නේ ඉතා වේගයෙනි. නමුත් හේ දේශපාලඥයෙකි. එක්සත් ජාතික පක්ෂ අගලවත්ත සංවිධායකවරයා වන ඔහු සෑම විටම පණ පෙව්වේ දකුණු ඉන්දීය සිනමා නළුවෙකුගේ වීර චරිතයට ය.එහෙත් එය ව්‍යාජ රඟපෑමක් ද නොවේ.
කළුතර දිස්ත්‍රික්කය යනු සිංහල, දමිළ, මුස්ලිම් යන සෑම ජන කොට්ඨාශයක්ම අඩු වැඩි වශයෙන් ජිවත් වන දිස්ත්‍රික්කයකි. එම නිසා මොහුගේ මෙම අසාධාරණයට එරෙහිව කරන නොහික්මුණු ක්‍රියාකාරකම්වලට ජනතාව කැමති ය. ඔහුට හෝ පාක්ෂිකයෙකුට අසාධාරණයක් වන සෑම අවස්ථාවකදීම ඔහු තෝරා ගත්තේ සටන්කාමියාගේ චරිතයමය හුදෙක් රඟපෑම් සේ ගත නොකැකි ඔහුගේ හැසිරීම් සහ ක්‍රියා කලාපයන් ජනතාවට ආශ්වාදනීය විය..
අගලවත්ත දුෂ්කර ගම්මානයක දමිළ පවුලක මරණයක් භූමදානය කරන්නට කුල ප්‍රශ්නයක් මත ඉඩ නොලැබීම මත ඔහු කනත්තට ගොස් නිදා ගත්තේය. පොලිස් බාධා කිරීම් මධ්‍යයේ කෙසේ හෝ ඔහු එම මරණය භූමදානය කළේ බලහත්කාරයෙනි. එම කාරණය මත ඔහුට රක්ෂිත බන්ධනාගාරගත වීමට ද සිදුවිය. මෙම කාරණය මත ඔහු ප්‍රදේශයේ සුපිරි චරිතයකි.
කළුතර දිස්ත්‍රික්කය යනු නිතර ගංවතුරට, නායයෑම්වලට ලක්වන දිස්ත්‍රික්කයකි. මෙවැනි ස්වභාවික විපත් හේතුවෙන් අසරණ වන ජනතාව සොයා දුෂ්කර ප්‍රදේශවලට මොහු ගමන් කරන්නේ කද මලු බැදගෙන ය. කඳු පල්ලම් බසිමින් ගිරි හෙල් බසිමින් ගොස් අසරණ වූ ජනතාවට කෑම ටික ලබා දෙන්නට ඔහු වෙහෙසෙන්නේය. ස්වභාවික විපත දී රජයේ නිලධාරීන්ට පෙර ඔහු එම ස්ථානයට ගමන් කරන්නේ චිත්‍රපට දර්ශන පෙළක් සැබෑ ලෝකයේ ස්ථාපිත කරමිනි.
කොරෝනා කාලයේ ඔහු දිනපතා පුවත් මැවූවේය. ඒ හුදකලා කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන වෙත ගොස් ජනතාවට අවශ්‍ය කෑම බීම ටික සැපයීමට ය. විටෙක ඔහු පිසූ ආහාර රැගෙන ගියේය. තවත් විටෙක එළවළු, පළතුරු, සහල්, පොල් රැගෙන ගියේය. වරෙක කොස් රැගෙන ගියේය. ඒවා රැගෙන යද්දී ගැටුම් මතු වූයේ රාජ්‍ය නිලධාරීන් ඔහුට එම ප්‍රදේශවලට යාමට ඉඩ නොදීමත්, ගෙන ගිය භාණ්ඩ භාර නොගැනීමත් කරනකොට ය.වරක් ඔහු මහ වැස්සේ ආධාර පටවා ගත් ලොරියක පිටුපස කොටසට නැඟීමට සැරසෙන විට හැඳ සිටි සරම ගිළිහී වැටුණි.එහෙත් ඉන් කලබලයට පත් වූයේ ඔහු නොවේ.”අනේ මල්ලි,ඔය සරම මෙහාට විසි කරපන්”ලොරියට නැඟගත් ඔහු බිම සිටි තරුණයකුට කීය.
පොලිස් නිලධාරීන්ගේ බාධක හමුවේ ඇතැම් අවස්ථාවල ඔහු වාහනය මත නැගී උපවාස කළේය. තවත් විටෙක පවතින ආණ්ඩුවේ රාජපක්ෂ කෙනෙකුට කතා කළේය. ඔහුගේ මේ නොහික්මුණු ක්‍රියාකාරකම් නිසා මධ්‍යය ද නිතර ඔහු ලුහු බදින්නේය. ඔහුගේ සෑම ක්රියාකාකමක්ම එම නිසා මාධ්‍ය හරහා ජනතාවට දැක ගැනීමට හැකිවිය. මොහුගෙන් ප්‍රකාශයක් ගැනීමට මාධ්‍යය ද වෙහෙසෙන්නේ ඔහු නිතර කට කැඩිච්ච කතාවක් දෙසාබාන බැවිනි.
යහපාලන රජයේ ඔහු වන ජීවින් භාර රාජ්‍ය ඇමතිවරයා විය. ඔහුගේ කැබිනට් ඇමතිවරයා වූවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය. මොවුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූයේ විෂය කාරණාවක් මතය. සරත් ෆොන්සේකා සමාජයේ කොපමණ වීරයෙකු වුවද සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියට ගියේ තෙවරප්පෙරුමය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතුගම නගර සභාවට තේරී පත්වූ ඔහු එහි සභාපතිවරයා ද වූවේ ය. එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැමිණි මහින්ද සමරසිංහ සමඟ ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් ඔහු එක්සත් ජාතික පක්ෂයට පියවර මැන්නේය.
ඉන් පසුව මතුගම සංවිධායකවරයා වූ ඔහු පසුව අගලවත්ත සංවිධායක ලෙස පත්වූවේය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පළමුවෙනියා වෙමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මහමැතිවරණය පැවැත්වෙන විට හා ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන විට ඔහු සිටියේ සිර ගෙදර ය. මුළු මැතිවරණ කාලය පුරාම ඔහුට ගත කරන්නට සිදුවූයේ සිපිරි ගෙදර වුවත් දේශපාලන කාරණයක් මත සිරගත වීම කරනකොට ඔහු මනාප ලැයිස්තුවේ පළවෙනියා විය.
කොතරම් ජනතාවට සේවයක් කළ ද ජනතාව ඔහුව 2020 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යැව්වේ නැත. ඒ එක්සත් ජාතික පක්ෂය එවර දෙකට බෙදීම හේතු කොට ගෙන ය.
ජනතාවට කළ සේවයට වඩා ඔවුන් එම අවස්ථාවේ දේශපාලනය තෝරාගත් බව පැහැදිලි ය. එය එසේවුව ද තෙවරප්පෙරුම තෙවරක් පෙරන ලද පානයන්ට වඩා සමාජ මාධ්‍ය තුළ තවමත් ජනප්‍රිය ය.ඉන් හැඟෙනුයේ මොනවා වුණත් රටේ බොහෝ දෙනා ඔහුට සැබැවිම ආදරය කරන බවකි.
ලසන්ත වීරකුලසූරිය