සර්පයා යන වදන ඇසුණු සැනින් යමකුගේ සිහියට තම ආරක්ෂාකාරී බව ගැන හැඟීමක් වැටහීමක් ඇතිවනු ඇත.ඊට හේතුව සර්පයා වනු අපට සැඟ වී හෝ පහර දෙන්නෙකු බවට සමාජය පුරා පැතිර යන විශ්වාසයයි.
එනිසාම සැඟවී සිට අනුන්ට විපත් පමුණුවන්නවුන්ට ද සමහරෙක් “සර්පයා” යැයි කියති.මේ අතර සර්පයන් යනු මේ පරිසර පද්ධතියෙන් අතු ගා දැමිය යුතු සත්ව කොටසක්ය යන ප්‍රබල මිථ්‍යාවක් අප සමාජයේ තිබේ.
දුටු තැන සර්පයන් ඝාතනය කරන මිනිසුන් තමන් එසේ කිරීම සාධාරණීකරණය කරන්නට කියන කියමනක් ද වේ .”විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා “යන්න අතීතයේ පටන් එන ඒ ප්‍රසිද්ධ කියමනයි.
එලෙස දුටුතැන සර්පයින් මරා දැමීම අතීතයට සාපේක්ෂව අද වන විට යම් අඩුවක් පැවතියද අදටත් සර්පයන් යනු නො මරා බැරි සත්ව විශේෂයක් යන්න සිතන බොහෝ පිරිස් සිටිති.නමුත් මේ සම්බන්ධ මගේ පෞද්ගලික විශ්වාසය නම් සමහර මිනිසුන් ඇසුරට වඩා සර්ප ඇසුර පහසු සහ සොඳුරුය යන්න ය.
විෂඝෝර වුවද සර්පයින් යනු පන්න පන්නා පහර දෙමින් මිනිසුන්ගෙන් පළි ගන්නටම උපන් සත්ව විශේෂයක් නොවේ .විශේෂයෙන් නාගයා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයින් සෑමවිටම උත්සාහ දරන්නේ කෙසේ හෝ මිනිසුන් මඟහැර යමින් තමන් ද රැකෙන්නටයි .
අප සමාජයේ මිනිසුන් අතර සමහරුන් බැන්න විට බනින, ගැසුවොත් පමණක් ගසන්නට සුදානම් පිරිස් වෙති .තවත් සමහරුන් බැන්න පමණින් නතර වන්නේ අතින් පයින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.
සර්ප ලෝකයේ ද සමහරු එසේයි.නාගයා ,තෙල් කරවලා මුදු කරවලා වැනි උරගයින් බැන්නොත් බනින ආකාරයේ එනම් තමන්ට හානියක් වන තැනදී පමණක් ප්‍රහාර එල්ල කරන පිරිසකි.එහෙත් පොළඟා, කුණකටුවා වැනි ඉක්මනින් ප්‍රකෝප වන සර්පයින් බැන්න පමණින් ගහන ආකාරයේ එනම් තමන්ට හිංසාවක් වුවත් නැතත් යමෙකු හමු වූ සැනින් ප්‍රහාර එල්ල කරන පිරිසකි.ඔවුහු තමන් අසලට එන අයෙකු මගහැර යනවා වෙනුවට දෂ්ට කරන්නට බොහෝ විට පෙළඹෙති.ඒ තමන්ට විපතක් එල්ල වේය යන බිය නිසා ය.
දිවා කාලයේ සැරිසරන විසකුරු සර්පයන් අතර නාගයා ප්‍රධාන වේ .එලෙස නිතර මිනිස් ඇසට ලක් වීම නිසාම නාගයාගේ ඉරණම බොහෝවිට විසඳෙන්නේ අවාසනාවන්ත ආකාරයට යි. එහෙත් නාගයාගේ ගති ස්වභාවය පිළිබඳව ඔබ නිවැරදි අධ්‍යයනයක යෙදී ඇත්නම් නාගයා යනු දුටු දුටු තැන මරා දැමිය යුතු සතෙකු නොව මිනිස්සුන්ට නිකරුනේ හානි නොකර තමන් ද රැකෙන්නට උත්සාහ දරන “අහිංසකයකු” බව වටහා ගනු ඇත.
නාගයා තමා ජීවත්වන ප්‍රදේශයේ යම් වපසරියක් තම ආරක්ෂක කලාප ආකාරයට පවත්වා ගනී .තමන්ගේ වපසරියේ ඈතම කෙළවරට පිවිසෙන මිනිසෙකුට තම හිස ඉහලට ඔසවා තමන් ඉන්නා බව හැඟවෙන්නට හැර තමන් යන ගමන පාඩුවේ යෑම නාගයාගේ මුල්ම ප්‍රයත්නයයි .එහිදී තමන් හිදිනා බව හඟවා තමන්ට කරදර නොකරන්නැයි වැනි ඉඟියක් පා මග හැර යෑම නාගයාගේ උත්සාහයයි.
ඒ ඉඟිය දැක හෝ නොදැක තමන් වෙත තවදුරටත් එන අය දෙස තම හිස ඔසවා ගත්වනම රැදී හිඳිමින් “තවත් නම් ඉදිරියට එමින් මට බාධා නොකරන්නැයි “හඟවමින් වුවද උත්සාහ කරන්නේ මිනිසාට හානියක් නො කරමින් මගහැර යන්නටයි .එය ද නොතකමින් තම ආරක්ෂක වළල්ලේ තවත් ඉදිරියට එන මිනිසා වෙත දරණ ගසා පෙනය ද පුප්පා “මගේ සීමාවට තවත් නම් ළං වුණොත් කරදර වෙයි “වැනි අනතුරු ඇඟවීමක් සිදුකරයි.
බොහෝ විට එලෙස සිටින නාගයා සැනින් මිනිසාගේ නෙත ගැටෙයි .තමන් දෙස නොසැලී බලා සිටින නාගයා යම් ගුප්ත ජීවියෙකැයි ඇදැහූ පැරන්නෝ “අනේ නයිහාමි අපිට කරදර නොකර යන්න “යැයි ඉල්ලා සිටි අවස්ථා ඔබ ද අසා ඇති.මේ වනවිටත් මිනිසා මග හැර යෑමේ අරමුණින් සිටින නාගයා තමන් අභිමුවට නොපැමිණෙමින් නිසොල්මනේ සිටින මිනිසා හිමින් සීරුවේ මඟහැර යයි .නාගයා යනු තමන් කියන කරන දේ වටහා ගන්නා අධ්‍යාත්මික ජීවියෙකැයි පැරැන්නන් සිතන්නට මෙවැනි සිදුවීම් ද හේතු වූවා නිසැකයි.
එසේ සිදු නොවී තමන්ගේ අවසන් ආරක්ෂිත වළල්ලද පසු කරන්නට සූදානම් වන මිනිසාට නම් ප්‍රහාරයක් එල්ල කරන්නට නාගයා පසුබට නොවෙයි.ඒ අනුව ඉහළට ඔසවා සිටින පෙනය බිම ගසමින් හා පිඹිමින් නාගයා මැන බලන්නේ තමන් සිටින්නේ සතුරාට ප්‍රහාරයක් එල්ල කල හැකි තරමේ දුරකදැයි කියායි.
එදා අපේ පැරැන්නන් සේම වර්තමානයේ ජීවත්වන සමහරුන් ද නාගයාගේ සාප කිරීමකැයි වරදවා වටහාගෙන ඇත්තේ මෙම ක්‍රියාව යි. නමුදු මේ සියළු සර්ප විශේෂයන්ගේ චර්යා රටාවන් සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගෙන් සිදු වන විපත් වළකා ගැනීමටත් පාරිසරික සමතුලිතතාවයට හේතු වන අන්දමට ඔවුන්ගේ පැවත්ම තහවුරු කිරීමටත් අපට හැකිවේ.
විශේෂයෙන් මෙය අපේ ළමා පරපුර වෙත ලබා දිය යුතු වැදගත් පණිවිඩයකි.
සත්ව චර්යා ගවේෂක රුවන් ජයලත්(ජාදූ) අනාවරණය කරයි.
සටහන : උත්පලා සුභාෂිණී ජයසේකර