පොහොර ජංජාලය අතරින් අපේ රටේ කෘෂිකර්මයට සහන් එළියක්?

මේ කාබනික – රසායනික පොහොර අර්බුදය මැද සිදු වූ විශේෂිතම සිදුවීම වන්නේ රටේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ අදහස් දක්වන්නට පටන් ගැනීමය.

මෙතෙක් කල් නිහඬව සිටි කෘෂිකර්මය පිළිබඳ විද්වතුන් පමණක් නොව මේ ක්ෂේත්‍රයට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති පුද්ගලයන් පවා අප රටේ කෘෂිකර්මය පිළිබඳ අදහස් දක්වන්නට පටන් ගෙන ඇත. එයට හොඳම නිදසුන වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වූ අනුරුද්ධ පාදෙනිය මහතා ද මේ පිළිබඳ අදහස් දැක්වීම ය.

ඔහුගේ ක්ෂේත්‍රය වෛද්‍ය වෘත්තිය වුව ද මෑතකදී ඔහු පවසා තිබුණේ කෘෂි විද්‍යාඥයන්ගේ මත වැරදි බව ය. ඔහු පවසන කාරණය කුමක් වුවත්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධයක් නොමැති අයවලුන් පවා මේ සම්බන්ධව සංවේදී වී ඇති ආකාරය එයින් පැහැදිලි වේ.

එමෙන්ම ඉන්දියාවෙන් ආනයනය කෙරෙන නැනෝ – නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් මහජනතාව තුළ නිවැරදි මතයක් ඇති කිරීම සඳහා දිවයිනේ කෘෂිකර්ම විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත වන, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, (FUTA), කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව (Action Committee for Agriculture) ද මේ වන විට පෙරමුණ ගෙන තිබේ.

අනාදිමත් කාලයක සිට අපට පැවතියේ කෘෂි ආර්ථිකයක් බව කවුරුත් දන්නා කාරණයකි. අප රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ආදී සියලු දෑ ගොඩනැගුණේ කෘෂිකර්මය කේන්ද්‍රකොට ගනිමිනි. කෘෂිකර්මයෙන් රට සශ්‍රීක කළ අතීත රජදරුවන්ගේ තොරතුරු විමසීම තුළින් මෙය හොඳින්ම පැහැදිලි වේ.

මෙසේ පැවති කෘෂි ආර්ථිකය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යම් පසුබෑමකට ලක් වූ බවක් පෙනෙන්නට තිබේ. මේ බව අවබෝධ කොටගත් අප රටේ පාලකයේ මේ නිසාම යම් යම් සැලසුම් ඉදිරිපත් කරමින් කෘෂි ආර්ථිකය යළ නගා සිටුවන්නට කටයුතු කළහ. උදාහරණයක් ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමතිව සිටි ඩී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්මය නගාසිටුවන්නට මහත් උත්සාහයක් දැරූ බව කවුරුත් දන්නා කාරණයකි. ‘වැඩි වැඩියෙන් ආහාර වගාකරන්න‘ (Grow more foods) යන තේමාව මුල්කරගනිමින් අප රට ජනතාව තුළ වගාකටයුතු පිළිබඳ උනන්දුව වර්ධනය කරන්නට උත්සාහ දැරුවේය.

ඇතැම් විට රැකියාවන් සඳහා වෙනත් විකල්ප මාර්ග විවෘතවෙමින් පැවති නිසාවෙන්දෝ ජනතාව තුළ කෘෂිකර්මය පිළිබඳ ඇති උනන්දුව සිතූ තරම් වර්ධනය කරන්නට හැකියාවක් ලැබුණේ නැත.පසුව ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් සිටිය දී මේ සම්බන්ධව යම් උත්සාහයක් දැරුව ද එය සාර්ථක වූ බවක් පෙනුණේ නැත. පසුව 1970- 1977 කාලයේ සමගි පෙරමුණ රජයේ අග්‍රාමාත්‍යව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද මේ සම්බන්ධ පෙරළිකාර ප්‍රයත්නයක් දැරුව ද එය ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම රජය ද බිඳ වැටුණි.

ඉන්පසුව 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය සමගින් අපට හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග කෘෂිකර්මය පිළිබඳ පැවති උනන්දුව තවත් පහළ වැටුණි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අප රටට ආධාර දෙමින් උනන්දුව ඇති කරන ලද්දේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට නොව නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම සඳහා ය.

කෘෂිකර්මය ලාභදායී කර්මාන්තයක් බවට පත්කොට එයින් ආර්ථිකය නගාසිටුවාලීමට එම ආයතනවලින් උපදෙස් ලැබුණේ නැති තරම් ය. එම ආයතනවලින් ලැබුණු පණිවිඩය වූයේ භූමිය, ශ්‍රමය සහ මුදල් කෘෂිකර්මය සඳහා යෙදවීම තුළින් ලැබිය හැකි ලාභය අඩු ය යන්නය.

කෙසේ නමුත් ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලදේශය සහ වියට්නාමය වැනි සෙසු ආසියාතික රටවල් කෘෂි ආර්ථකය දියුණු කරමින් සහල් නිෂ්පාදනයෙන් ප්‍රධාන රටවල් බවට පත් වූයේ මේ කාලය තුළදීම ය. මේ රටවල් ගුරු කොට ගත්තේ 1960 දශකයේ දී ලෝකයේ ඇති වූ ‘හරිත විප්ලවය‘ නම් සංකල්පයයි.

ආහාර භෝග නිෂ්පාදනය සඳහා නවීන විද්‍යාත්මක දැනුම භාවිත කිරීම මේ තුළින් සිදුවූ අතර, නව වගා ක්‍රම, ඉක්මනින් වැඩි පලදාවක් ලබන භෝග, කෘෂි රසායන භාවිතය, නවීන කෘෂි යන්ත්‍ර සූත්‍ර ආදී කාරණ මෙයට ඇතුළත් විය. කෙසේ නමුත් නමුත් ‘පෙරදිග ධාන්‍යාගාරය‘ ලෙස ප්‍රකට වූ ශ්‍රී ලංකාව පිටරටින් සහල් ආනයනය කරන්නට පටන් ගත්තේ ය. අප රටට ද කෘෂිකර්මය වෙනුවෙන් යම් යම් තාක්ෂණයන් ලැබුණ ද එහි සැලසුමක් නොපැවති නිසා ඒ කිසිවකින් උපරිම පල නෙලාගන්නට හැකියාවක් තිබුණේ ද නැත.

කෘෂිකර්මය වෙනුවෙන් ගොඩනැගුණු අප රටේ ඇතැම් සමාගම් පවා මේ වන විට හුදෙක් පිටරටින් පොහොර ආනයන කරන්නන් බවට පමණක් මේවන විට පත්ව ඇත්තේ ලාභදායී කෘෂි ආර්ථිකයක් අප රටේ ගොඩනගන්නට නොහැකි වීම තුළ ය.

මේ ආකාරයට විවිධ රජයයන් යටතේ කෘෂිකර්මය වෙනුවෙන් විවිධ මැතිඇමතිවරුන් පත්වුව ද කෘෂිකර්මය පිළිබඳ සිදුවන කතාබහ එතරම් ප්‍රබල තත්ත්වයක පැවතියේ නැත.

වර්තමාන රජය බලයට පැමිණීමත් සමග එකවර රසායනික පොහොර තහනමක් ඇති කරමින් උපදෙස් දෙනු ලැබුවේ කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු කරන ලෙසය. මෙය ප්‍රායෝගික දෙයක් නොවන බව බොහෝ දෙනෙක් පැවසුව ද රජය එම මතයේම සිටියේය. කළ යුතුව තිබුණු කාර්යය නම් අප රටේ ක්‍රමිකව කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කොට එයට සමගාමීව කෙමෙන් රසායනික පොහොර භාවිතය අඩුකරගෙන යාමය. නමුත් සිදුවූයේ පැවිදි වූ සැනින් සාමනේර හිමිනමක් මහනායක තත්ත්වයට පත් කළා වැනි කාර්යයකි.

මේ සියලු කාරණාවලින් මතුවන පොදු කරණය නම් මෑත ඉතිහාසයේ නොවූ විරූ ලෙස කෘෂිකර්මය පිළිබඳ සමාජය තුළ නව පිබිදීමක් සිදුවීම ය. මෙය ධනාත්මකව සැලකිල්ලට ගතහොත්, එය අප රටේ කෘෂිකර්මය වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් දියුණුකිරීමට එය ඉවහල්කොටගත හැකිය. ලෝකය සෑමවිටම වෙනසකට බඳුන් කරන්නට මුල් වූයේ සම්ප්‍රදාය අතික්‍රමණය කළ පුද්ගලයන් ය. එසේත් නැත්නම් ‘අසම්ප්‍රදායික‘ (Unconventional) පුද්ගලයන් ය.

තවත් ලෙසකින් පැවසුවහොත් නිදහස් චින්තකයන් ය. මේ ප්‍රවණතාව තුළ කිසිදා කුඹුරක් ඇසින් නුදුටු කොළඹ හතේ පුද්ගලයෙක් පවා කුඹුර, ගොවිතැන ගැන යම් සංවේදීතාවක් දක්වන්නට පටන්ගෙන ඇත.

අන්කවරදාටත් වඩා ගොවි ගැටලු ගැන කතා කරන්නට පටන්ගෙන ඇත. ගොවීන්ට පොහොර ලබාදීමේ දී සිදුවූ ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුව තුළ ද තියුණු සංවාද ඇතිවන්නට පටන් ගෙන ඇත.

කෘෂිකර්මය සම්බන්ධ මැතිඇමතිවරු, නිලධාරීන් ගොවීන් හමුවට යාමට බියක් දක්වන්නට පටන් ගෙන ඇත. මේ සියලු කාරණාවලින් පැහැදිලිවන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුය යන අවධාරණය සියලු පාර්ශ්වයන් වෙත එල්ල වී පවතින බව ය.

මේ තත්ත්වය මත කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ වගකිවයුතු දේශපාලන අධිකාරිය, නිලධාරීන්, වෙනත් විද්වතුන් සියල්ල එකට එකතු වී, එක අරමුණක් වෙනුවෙන් සැලසුම් සකස් කරන්නට පියවර ගන්නේ නම්, අන්රටවල පවතින වාණිජ කෘෂිකර්මයක් අප රටේ හි ද ඇති කළ හැකිය. මේ එයට හොඳම කාලයයි.

එය මගහැරගන්නේ නම්, අප රටේ කෘෂිකර්මාන්තය නැවත ගොඩගත නොහැකි තරමටම වලපල්ලට යාම වලක්වාගත නොහැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර