USAID අහිමි වුණොත් අපට මොනවා වෙයි ද?

ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබේ. එමෙන්ම USAID අරමුදල් මගින් ශ්‍රී ලංකාව තුළ LGBTQ (කාන්තා සහ පුරුෂ සමලිංගිකත්වය, ද්වි ලිංගිකත්වය, සංක්‍රාන්ති ලිංගිකත්වය සහ ස්වකීය ලිංගික දිශානතිය කුමක් විය යුතුද යන්න පිළිබඳ තවමත් අදහස් නොමැති පුද්ගලයන් යන්න මෙහි දීර්ඝ අර්ථය වේ)  අයිතීන් තහවුරු කිරීම සඳහා වැඩකටයුතු සිදු කෙරෙමින් පවතින බවට ද චෝදනා එල්ල වී තිබේ. මෙවැනි කාරණා මත ශ්‍රී ලංකාව තුළ USAID ව්‍යාපෘති නවතා දැමීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදය විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙය දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද මහත් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නට හේතු වී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති බවට පත් වූ සැනෙන් ඔහු ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිපත්තියක් ලෙස මෙය සැලකේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන විවිධ ආධාර වැඩසටහන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් වර්ෂ 1961 නොවැම්බර් 3 වැනි දින එවකට ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් USAID ආරම්භ කරන ලදී. එහි මූලික අරමුණ වූයේ ලොව පුරා සමාජීය සහ ආර්ථික දියුණුව ඇති කිරීමය. ඔවුන් එයින් බලාපොරොත්තු වූයේ ආධාර ලබන රටවල නිදහස් වෙළෙඳ පල ආර්ථිකයක් වර්ධනය කොට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව සහ සෞභාග්‍යය වර්ධනය කර ගැනීමය.

USAID අත්හිටුවීමේ දැඩි අවශ්‍යතාව පවතින්නේ ට්‍රම්පට සහ ඉලොන් මස්ක්ටය

ඇමරිකා එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන විවිධ ආධාර වැඩසටහන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් වර්ෂ 1961 නොවැම්බර් 3 වැනි දින එවකට ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් USAID ආරම්භ කරන ලදී. එහි මූලික අරමුණ වූයේ ලොව පුරා සමාජීය සහ ආර්ථික දියුණුව ඇති කිරීමය. ඔවුන් එයින් බලාපොරොත්තු වූයේ ආධාර ලබන රටවල නිදහස් වෙළෙඳ පල ආර්ථිකයක් වර්ධනය කොට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව සහ සෞභාග්‍යය වර්ධනය කර ගැනීමය. දශක ගණනාවක් තිස්සේ රටවල් සියයකට වැඩි ගණනක් තුළ ක්‍රියාත්මක වෙමින් ගෝලීය සෞඛ්‍යය, විපත් අවස්ථාවල දී සහන සැලසීම, අධ්‍යාපනය සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට USAID ඉවහල් විය. USAID හි ප්‍රකාශයට පත් කෙරුණු අරමුණු මේවා වුව ද, දේශපාලන බලපෑම් සහ විශේෂිත දෘෂ්ටිවාදී න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමේ අරමුණු ද USAID පසුපස තිබූ බව ප්‍රසිද්ධ කරුණකි.

USAID ශ්‍රී ලංකාව තුළ ද විවිධ ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක කළ අතර ජාතික ඒකාබද්ධතාව ඇති කිරීම, අපර ව්‍යුහ පහසුකම් ඇති කිරීම, ජනතාවගේ ඉහළ ආදායම් මට්ටම වර්ධනය කිරීම, බලශක්ති ව්‍යාපෘති, කෘෂිකර්මය දියුණු කිරීම ආදිය මේවායේ අරමුණු විය. මේවා තුළින් රටේ ආර්ථික හා සමාජීය වශයෙන් වර්ධනයක් ඇති කළ පසු ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ඇති කොට ලාබ ඉපයීම සහ එමගින් ඇමරිකාව කෙරෙහි එරෙහි නොවන අදහස් ඇති පිරිසක් වර්ධනය කොට ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම USAID හි අවසන් අරමුණ විය. ගෝලීය වශයෙන් ද USAID අරමුදල් සැපයීම තුළින් ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වූයේ එයය. කලකට පෙර අප රටේ පාසල්වල ‘ඇදිහැස’ නමින් බිස්කට් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වූයේ ද USAID අරමුදල් ඔස්සේය. කෙසේ නමුත් ‘ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උදෙසා මාධ්‍ය බල ගැන්වීම’ (Media Empowerment for a Democratic Sri Lanka  – MEND) ව්‍යාපෘතිය සඳහා USAID මගින් ලබා දුන් ආධාර සම්බන්ධව මහත් ආන්දෝලනයක් ඇති විය. එම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ ස්ත්‍රී පුරුෂ වෙනස සමාජය කෙරෙහි ඇති කරන බලපෑම, ඩිජිටල් සාක්ෂරතාව, විමර්ශනාත්මක පුවත්පත් කලාව සහ ජනමාධ්‍ය ආයතන දියුණු කිරීම ආදිය වුව ද, එහි යටි අරමුණ LGBTQ  වර්ධනය කිරීම බවට චෝදනා එල්ල වන්නට විය. සුප්‍රකට ඇමරිකානු තාක්ෂණික ව්‍යවසායකයකු වූ ඉලොන් මස්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවැනි කාරණා සඳහා ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් යෙදවීම හුදෙක් නාස්තියක් පමණක් බවය. මේ සිදුවීමත් සමග රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම USAID මගින් අත්හිටවූ අතර මේ වන විට රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සම්පාදනය කර ගැනීමට වෙනත් විකල්ප කරා යොමු වන්නට සිදුව තිබේ.

USAID අත්හිටුවීමට එරෙහිව වොෂිංටනයේ පැවති විරෝධතා

මේ සිදුවීමත් සමග ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා ද USAID මගින් ව්‍යාපෘතිවලට අරමුදල් සම්පාදනය අත්හිටවූ අතර එය ගෝලීය වශයෙන් මහත් බලපෑමක් ඇති කොට තිබේ. බොහෝ රටවල් විපත්වල දී සහනාධාර සැපයීම සඳහා සහ සෞඛ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් සම්පාදනය කර ගන්නේ USAID සහායෙන් වන අතර මේ තීරණයත් සමග ලොව පුරා විපතට පත් විය හැකි ජනතාවක් කිසිදු පිහිටක් නොමැතිව ‘කබලෙන් ලිපට වැටුණු‘ තත්වයකට පත්ව තිබේ. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙසේ අරමුදල් සම්පාදනය අත්හිටවූ පසු එම අඩුව පිරවීම සඳහා චීනය සහ රුසියාව වැනි විකල්ප ආර්ථිකයන්ට අවස්ථාවක් ඇති වන අතර එමගින් භූදේශපාලනයේ දැවැන්ත වෙනසක් ඇතිවීමේ ඉඩකඩක් ද පවතී. USAID ආධාර ලබන ආර්ථිකයන් මේ තත්ත්වය තුළ පසුගාමී වන අතර එය ගෝලීය වෙළෙඳ පල කෙරෙහි සහ වෙළෙඳ සබඳතා කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්නට ඉඩ තිබේ. ජාත්‍යන්තර සංවර්ධන කටයුතුවලින් ඇමරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලීනව මෙසේ ඉවත් වීම තුළින් ගෝලීයව ඇමරිකාවට එල්ල කළ හැකි බලපෑම තුරන්ව ගොස් ගෝලීය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට ඇති බලය ද අහිමිව යයි.

මෙය දශක ගණනාවක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය පවත්වාගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සංවර්ධන කටයුතු ආපස්සට ගැනීමක් බවත්, ඇමරිකාවට හිතවාදී මෙන්ම අහිතවාදී කලාප කළමනාකරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කර ගැනීමක් බවය. මේ අරමුදල් එක්වර අත්හිටුවීම සම්බන්ධයෙන් ඉලොන් මස්ක්ගේ ප්‍රමුඛත්වයෙන් වූ ‘රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (Department of Government Efficiency) දැඩි බලපෑමක් කළ බවට චෝදනා ද එල්ල වෙයි.     

ලෝකයට USAID ආධාර අහිමිවීම කෘත්‍රිම බුද්ධිය දකින ආකාරය

මේ තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය තුළම විවාදාත්මක තත්ත්වයක් ඇති කොට ඇති අතර ඇතැමුන් පවසන්නේ USAID වැඩසටහන අකාර්යක්ෂම තත්ත්වයකට පත්ව ඇති බවත් එම අරමුදල් දේශීයව යොදා ගැනීම තුළින් අඩුම තරමේ ඇමරිකානු ජනතාවගේ සුබ සිද්ධිය හෝ සලසා ගත හැකි බවය. තවත් පිරිසක් පවසන්නේ මෙය දශක ගණනාවක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය පවත්වාගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සංවර්ධන කටයුතු ආපස්සට ගැනීමක් බවත්, ඇමරිකාවට හිතවාදී මෙන්ම අහිතවාදී කලාප කළමනාකරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කර ගැනීමක් බවය. මේ අරමුදල් එක්වර අත්හිටුවීම සම්බන්ධයෙන් ඉලොන් මස්ක්ගේ ප්‍රමුඛත්වයෙන් වූ ‘රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (Department of Government Efficiency) දැඩි බලපෑමක් කළ බවට චෝදනා ද එල්ල වෙයි.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද USAID ව්‍යාපෘති අත්හිටුවීම ඇමරිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය තුළ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරයි. මේ ආධාර නැවත ඇගයීමකට සහ විධිමත් බවකට පත් කරන බවට ඇමරිකා එක්සත් ජනපදය අදහස් ප්‍රකාශ කොට සිටිය ද, ජාත්‍යන්තර සංවර්ධනය, භූදේශපාලනික සබඳතා සහ ලෝක මට්ටමින් වූ ඇමරිකානු භූමිකාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වන බව පෙනෙන්නන්ට තිබේ. මේ අරමුදල් අහිමි වීම සම්බන්ධව ලොව පුරා ජාතීන් මේ මොහොතේ පවතින ගැටලුකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා විසඳුම් සොයමින් සිටිය ද, මෙහි දීර්ඝ කාලීන බලපෑම කෙසේ වනු ඇති ද යන්න පිළිබඳ තවමත් බොහෝ දෙනෙකු තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොමැත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර