ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු.
බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර කරදර පමුණුවන්නට මෙම විෂබීජවලට ඇති හැකියාව විස්මයජනක ය.
වයිරසය මුලදීම අපගේ ශරීරය තුළට ඇතුළු වන්නේ වාතය සමඟින් හුස්ම මාර්ගය හරහා ය. පසුව සම කරා පැමිණ ශරීරය පුරාම බිබිලි ඇති කරයි. එවිට අපි එය පැපොල ලෙසින් හඳුන්වමු. සතියකින් පමණ පැපොල සුව වෙයි. ඒ සමේ කැළැල් ඉතිරි කරමිනි. ඒවාත් ක්‍රම ක්‍රමයෙන් මැකී යයි.
අප මේ කතා කරන්නට යන රෝගය අංශ පැපොල ය. පැපොල රෝගය ඔබ බොහෝ සෙයින් අසා පුරුදු වුවත් අංශ පැපොල නම් එතරම් හුරුපුරුදු බවක් නොහැඟෙන්නට පුළුවන.
මෙම රෝගය ඇති කරන්නේ හර්පීස් වර්ගයේ වයිරසයකි. මෙම වයිරසය මුලදීම අපගේ ශරීරය තුළට ඇතුළු වන්නේ වාතය සමඟින් හුස්ම මාර්ගය හරහා ය. පසුව සම කරා පැමිණ ශරීරය පුරාම බිබිලි ඇති කරයි. එවිට අපි එය පැපොල ලෙසින් හඳුන්වමු. සතියකින් පමණ පැපොල සුව වෙයි. ඒ සමේ කැළැල් ඉතිරි කරමිනි. ඒවාත් ක්‍රම ක්‍රමයෙන් මැකී යයි.
රෝගය මෙලෙස සම්පූර්ණයෙන්ම සුව වුණත් වයිරසය නම් ශරීරයෙන් ඉවත් වන්නේ නැත. ඉන්පසු වයිරසය අපේ ශරීරය තුළ ආරක්ෂිත ස්ථානයක් සොයා ගනී. ඒ ස්ථිරව පදිංචි වීමට ය. එය දිගු කලක් අපේ ස්නායු පද්ධතිය වාසය කරගෙන සිටිනු ඇත. ස්නායු පද්ධතිය තුළට වී වයිරසය කරන දේවල් තේරුම් ගැනීමට, ස්නායු පද්ධතිය යනු කුමක්දැයි මුලින් අවබෝධ කර ගනිමු.
අපේ ශරීරයේ අප ජීවත් වන්නේ හිස තුළ ඇති මොළය තුළ යි. අත්, කකුල්, බඩ, පපුව යනු අපට හිස තුළ නිදහසේ ජීවත්වීමට වුවමනා කරන උපකරණයන් ය. ඒවා හැඳි, ගෑරුප්පු, පෑන්, සපත්තු වැනි තවත් අපට අත්‍යවශ්‍ය දේවල් පමණි.
කකුල්වල ඇති මාංශපේෂි උපකාරයෙන් අත් කකුල් නවන්නට සහ දිග අරින්නට අපට පුළුවන. මොළයේ සිට අත් කකුල්වල ඇති මාංශපේශි වෙත මෙම පණිවිඩ එන්නේ ස්නායු නමින් හැඳින්වෙන වයර් වැනි කෙඳි දිගේ ය. ඔබට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට පැවසුවහොත් මෙය හරියටම ඔබේ නිවසේ ස්වීචය දැමූ විට දැල්වෙන විදුලි බල්බයක් වැනි ය. ස්වීචයේ සිට බල්බය දක්වා වයරයක් ගමන් කරයි. වයර් දිගේ පණිවිඩයක් යන්නාක් සේ අපේ මොළයේ සිට අත් කකුල් දක්වා ස්නායු දිගේ මෙම පණිවිඩය ඉදිරියට ගමන් කරයි. අතේ යමක් ඇනුණු විට එම පණිවිඩය මොළය කරා පසුපසට ආපසු ළඟාවෙන්නේත් මෙවැනිම තවත් ස්නායුවක් දිගේ ය. දත් ගලවන විට ඉන්ජෙක්ෂන් ගැසූ පසු කටේ සහ මුහුණේ එක්තරා ප්‍රදේශයක් හිරි වැටෙන හැටි ඔබට මතකද? ඉන්ජෙක්ෂන් එක ගසන්නේ හරියටම එම ප්‍රදේශය බලා ගන්නා ස්නායුව මතටය. එවිට එම ස්නායුව තාවකාලිකව අකර්මණ්‍ය වී එම සම ප්‍රදේශයේ සිට පණිවිඩ මොළයට ළඟාවීම නවතා දමයි. ශරීරයේ සියලුම ස්නායු නිසා අපට අත් කකුල්, සම ආදී ඕනෑම තැනක යමක් ගැටෙන විට ඒ සෑම දෙයක්ම අපට මේ ආකාරයට ම දැනෙයි.
හිස තුළ ශක්තිමත් හිස්කබල පිහිටා ඇත. මෙම හිස් කබල තුළ මොළය සුරක්ෂිතව පවතියි. මොළයේ සිට පහළට එන ස්නායු සියල්ල එක මිටක් ලෙස කොඳුනාරටිය තුළ සුරක්ෂිතව රඳවා ඇත. කොඳු නාරටියේ අස්ථි තිස්තුනක් පමණ මුතු ඇට මාලයක මුතු ඇට මෙන් උඩ සිට පහළට රඳවා තිබේ. කොඳු නාරටියේ ඇතුළතින් ඉහළ සිට පහළට ස්නායුමිටිය රඳවා ඇත්තේ මුතු ඇට මාලයේ නූල මෙනි. කෂේරුකා තිස්තුනක් පමණ ඇති කොඳු නාරටියේ සෑම කෂේරුකා අස්ථියක් දෙපැත්තෙන්ම සිදුරක් බැගින් පිහිටයි. මෙම සෑම සිදුරකින්ම ස්නායු එක බැගින් දෙපැත්තට විහිදේ. මේවායින් ස්නායු පහක් C5, C6, C7, C8, T1 ලෙස අත දක්වා ගමන් කරයි.
පපුවේත් බඩේත් ස්නායු සැපයුම දැන් පැහැදිලි කරගනිමු.
බඩ වටේ බඳපටියක් ඔතා ඇති අයුරු සිතින් මවාගන්න. ඊළඟට එම බඳපටියට තරමක් ඉහළින් පපුව දෙසට තවත් බඳපටියක් වෙලා ඇතැයි සිතන්න. ඊටත් ඉහළින් එක බැගින් තවත් බඳ පටි දොළහක් මුළු පපුවත් බඩත් වෙලා ඇතැයි සිතන්න. එක් බඳ පටියකට යටවුණු සමේ කොටසට ලබා දෙන්නේ එක් ස්නායුවකි. එම ස්නායුවෙන් පිටේ සිට බඩ දක්වාම පටියෙන් යටවුණු කොටස බලාගනියි. වම්පස කොටසට එක් ස්නායුවකුත්, දකුණු පස කොටසට තවත් ස්නායුවකුත් ලබා දෙනු ඇත. ලංකාව පළාත් නමයකට බෙදා ඇති ආකාරයට අපේ ශරීරයේ සම ද පළාත් ගණනාවකට බෙදා වෙන් කර, හැම ප්‍රදේශයකට ම එක ස්නායුව බැගින් කොඳුනාරටිය තුළදීම බෙදා වෙන්කර ලබා දී ඇති අයුරු දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමු. එක ස්නායුවක් විසින් බලා ගන්නේ ඒ ස්නායුවට ලබා දී ඇති ප්‍රදේශය පමණි.
කොඳුනාරටියෙන් ස්නායුව පිටතට එන විටම එය ගැටයක් ලෙස පවතී. මුලින් සඳහන් කළ වයිරසය සැඟවී සිටින්නේ මෙන්න මේ ගැටයක් තුළ ය. ශරීරයේ යම්කිසි දුර්වලතාවයක් ඇති වූ සැණින් වයිරසය මේ ස්නායුව දිගේ පහළට බසී. ඉන්පසු ස්නායුවට ලබා දී ඇති සමේ කලාපය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරයි. ඊළඟට සියල්ල සිදුවන්නේ වයිරසයට අවශ්‍ය ආකාරයටය. එම කලාපය පුරාම දින ගණනාවක් යනතුරු ගින්නක් දැල්වෙන්නාක් බඳු දැවිල්ල මුසු වේදනාවක් රෝගියාට දැනෙනු ඇත. එසේම එම ප්‍රදේශය පුරා ම සිහින් බුබුළු විශාල ප්‍රමාණයක් හටගන්නේ ක්‍රමක්‍රමයෙනි. බුබුළු එක දෙක එන විට වෛද්‍යවරයා හමුවීමට ඔබ යා යුතුමය. මුල් අවස්ථාවේදී වෛද්‍යවරයාගේ බෙහෙත්වලට වයිරසය අවනත කර ගත හැකිය. බුබුළු දැමීම එයින්ම නවතිනු ඇත.
මෙතැනදී ඔබට වෛද්‍යවරයා මගහැරුණොත් විශාල කරදරයක් ඔබ ඉදිරියේ මතුවනු නො අනුමාන ය. ඔබ ප්‍රමාද වී වෛද්‍යවරයා වෙත ගියවිට වේදනාව අඩුකර දීමට වෛද්‍යවරයා සමත් වුණත්, බුබුළු නැවැත්වීමට කිසිවකුටත් නොහැකිය. නමුත් බුබුළු පිට දාන්නේ වයිරසය පැවති ස්නායු කලාපයේ පමණි. එය වම් පැත්තේ හෝ දකුණු පැත්තේ විය හැකිය. ඇතැම් විට පිටේ හෝ පපුවේ විය හැකිය. මෙම කලාපය, පිටේ සිට බඩ දක්වා හෝ පිටේ සිට පපුව දක්වා පැතිර තිබීමට පුළුවන. නොඑසේ නම් කකුලේ යම් ප්‍රදේශයක්, බෙල්ල සිට අත දක්වා යම් ප්‍රදේශයක් විය හැකිය.
ඔබට පැපොල කවදා හෝ අතීතයේ සෑදී ඇත්නම් අද මේ සඳහන් කළ රෝගී තත්ත්වය යම් දවසක ඔබට ලබා දීමට වයිරසය, ඔබගේ ශරීරය තුළ මාන බලමින් ස්නායු පද්ධතිය තුළ සැඟවී සිටින බව හොඳින් මතක තබාගන්න.
එයට වයස අදාළ නැත. ඕනෑම වයසකදී ආරම්භ විය හැකිය. බොහෝ විට මෙය ජීවිතයේ එක් වරක් පමණක් සෑදෙන දෙයක් වන අතර ඉතාමත් කලාතුරකින් එකම පුද්ගලයාට වාර ගණනාවක් සමේ කලාප ගණනාවක් මත සෑදීමට ද ඉඩ තිබේ.
මුහුණ, ප්‍රදේශ තුනකි. ඒ, ඇසට උඩින් ප්‍රදේශය, ඇසත් කටත් අතර ප්‍රදේශය, කටට යටින් ප්‍රදේශය වශයෙනි. වයිරසයේ ආක්‍රමණය මේ ප්‍රදේශවලින් එකක වම් පැත්ත හෝ දකුණු පැත්ත යන දෙකින් එකක් වුවද විය හැකිය. කිසිවිටෙකත් පැත්ත මාරු කරන්නේ නැත. එක පැත්තක සිට අනික් පැත්තට පනින්නේ ද නැත. මෙම රෝගය තවත් කෙනෙකුට බෝ වුණත් එය මේ අයුරින්ම සිදු නොවේ. ඔහුට මුලින් හැදෙන්නේ පැපොල රෝගයයි. කලින් පැපොල සෑදී තිබේ නම් දෙවැනි වර පැපොල හැදෙන්නේ නැත. පැපොල රෝගයට ඉන්ජෙක්ෂන් ගසා තිබේ නම් ඔබ ට බිය වීමට කරුණක් නොමැත.
ඔබට පැපොල කවදා හෝ අතීතයේ සෑදී ඇත්නම් අද මේ සඳහන් කළ රෝගී තත්ත්වය යම් දවසක ඔබට ලබා දීමට වයිරසය, ඔබගේ ශරීරය තුළ මාන බලමින් ස්නායු පද්ධතිය තුළ සැඟවී සිටින බව හොඳින් මතක තබාගන්න.
එයට වයස අදාළ නැත. ඕනෑම වයසකදී ආරම්භ විය හැකිය. බොහෝ විට මෙය ජීවිතයේ එක් වරක් පමණක් සෑදෙන දෙයක් වන අතර ඉතාමත් කලාතුරකින් එකම පුද්ගලයාට වාර ගණනාවක් සමේ කලාප ගණනාවක් මත සෑදීමට ද ඉඩ තිබේ.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා