ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳව බීබීසී සේවය විකාශය කළ වාර්තා වැඩසටහනක් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ඉන්දියානුවන් මෙම වැඩසටහන නැරඹීම වැලැක්වීම සඳහා මෝදි රජය දැඩි පියවර ගෙන තිබූ ආකාරයක් ද දැකිය හැකි විය. India: The Modi Question නැමැති මෙම වැඩසටහන ඉන්දීය අගමැතිවරයා පිලිබඳ විවේචනාත්මක වැඩසටහනක් බව සඳහන් වේ. මෙම වැඩසටහනේ විකාශය අවහිර කිරීම සඳහා ඉන්දීය රජය හදිසි නීති බලතල පවා යොදාගෙන තිබිණි.
India: The Modi Question හි පළමු කොටස විකාශය කර තිබුණේ පසුගිය 17 වැනි දින යි. එහි දෙවැනි කොටස 24 වැනි දින විකාශය කර තිබිණි. එදින එය තම විශ්ව විද්‍යාල තුළ ප්‍රදර්ශණය කිරීමට ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයක් කටයුතු සූදානම් කර තිබූ බවත්, නමුත් ඊට ද බලපෑම් එල්ල වී තිබූ බවත් මාධ්‍ය වාර්තා කළේය. විදුලිය විසන්ධි කිරීම්, අන්තර්ජාල සබඳතා අවහිර කිරීම් වැනි පියවර මෙහි දී ගෙන තිබූ බව සඳහන් වේ. එය සංවිධානය කළ ඇතැම් විශ්ව විද්‍යාල සිසුන් වෙත ගල් ප්‍රහාර එල්ල වී තිබූ බවක් ද පැවසිණි. ඉහත කී විශ්ව විද්‍යාල අවට පොලිස් ආරක්ෂාව යොදා තිබී ඇති අතර ඇතැම් සිසුන් රඳවා තබා ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබිණි.
මෙම ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන නරේන්ද්‍ර මෝදි ගුජරාත් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය දැරූ කාලය පසුබිම් කරගත්තකි. ඔහු එම ධුරය දැරුවේ 2001 වසරේ සිට 2014 දක්වා ය.
2002 වසරේ පෙබරවාරි මාසයේ හින්දු වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිටි දුම්රියක් ගුජරාතයේ ගොද්රා නැමැති ප්‍රදේශයේ දී ගිනි ගැනීමකට ලක් විය. මෙයින් 58 දෙනෙක් මරණයට පත් වූහ. මෝදි නායකත්වය දුන් ගුජරාත් ප්‍රාන්ත ආණ්ඩුව චෝදනා කළේ ගොද්රා හි දුම්රිය ස්ථානයේ සිටි මුස්ලිම් කණ්ඩායමක් දුම්රියට ගිනි තැබූ බවයි.
කෙසේ හෝ වේවා, මෙම සිද්ධියත් සමග අති බිහිසුණු ආගමික ගැටුමක් ආරම්භ වූ අතර එය දින ගණනක් පුරා ඇදී ගියේය. මෙම ගැටුම්වලින් 2,000 කට වැඩි පිරිසක් මරණයට පත් වූ බැව් වාර්තා විය. මිය ගිය වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන් බව ද සඳහන් වූයේය. ඊට අමතරව කාන්තාවන් විශාල පිරිසක් දූෂණයට ලක් වූ බව ද පැවසිණි. මෙය සැලකුණේ ඉන්දියානු ඉතිහාසයේ දරුණුම ආගමික ගැටුමක් ලෙසිනි.
හින්දු වන්දනාකරුවන්ගේ දුම්රියට ගිනි තැබුවේ මුස්ලිම් ජාතිකයන් බවට ගුජරාත් හි මෝදි ආණ්ඩුව චෝදනා කළත්, මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා ඉන්දියානු මධ්‍යම රජය පත් කළ කමිටුවක වාර්තාවෙහි සඳහන් වූයේ මෙම ගිනි ගැනීම අනතුරක් බවයි. එම වාර්තාව නිකුත් වූයේ 2006 වසරේ ය.
India: The Modi Question නැමැති බීබීසී වැඩසටහන තුළ මෙම ආගමික ගැටුම ගැන විශේෂ අවධානයක් යොමු වේ. හින්දුවාදී නායකයකු ලෙස පිලිගැනෙන මෝදි මෙම ගැටුම් සමනය කිරීම සඳහා පොලිසිය පියවර ගැනීම වැලැක්වීමට කටයුතු කළ බවට මෙම වැඩසටහන තුළ චෝදනා නැගේ. මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යංශය සකස් කළ වාර්තාවක් ද මෙම වැඩසටහන තුළ අවධානයට ලක් වේ. ඉහත කී ගැටුම් අවස්ථාවේ මෝදි එම ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මුණ ගැසී මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර වැලැක්වීම සඳහා මැදිහත් නොවන ලෙස නියෝග කළ බව විවිධ මූලාශ්‍ර උපුටා දක්වමින් මෙම වාර්තාව සඳහන් කර තිබේ. මෙම ප්රචණ්ඩ ක්‍රියා දේශපාලන වුවමනාවන් මත සිදු වූ ඒවා බවත්, ඒවායෙහි අරමුණ වූයේ හින්දු ජනතාව ජීවත් වන ප්‍රදේශවලින් මුස්ලිම් ජනයා පලවා හැරීම බවත් එහි තවදුරටත් දැක්වෙන බව පැවසේ.
ඉන්දියානු රජය මෙම බීබීසී වැඩසටහන ඉන්දියාව තුළ විකාශය වීම අවහිර කිරීමට කටයුතු කර තිබුණේ මෙවැනි තත්ත්වයක් තුළ ය.
එරට රජය පවසන්නේ මෙම වැඩසටහන අගතිගාමී සහ ප්රචාරකවාදී එකක් බවය. නමුත් බීබීසී සේවය පවසා තිබුණේ India: The Modi Question වැඩසටහන නිශ්පාදනය කෙරුණේ ඉහළම ප්‍රමීතීන් අනුගමනය කරමින් කරන ලද පුළුල් ගවේෂණයකින් පසුව බවයි. ‘ඉන්දියාවේ හින්දු බහුතරය සහ මුස්ලිම් සුළුතරය අතර ඇති ආතතිය ගැන මෙම වැඩසටහන තුළින් විමසා බැලෙනවා. එමෙන්ම එම ආතතියට අදාලව අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලනය සම්බන්ධවත් ගවේෂණය කරනවා’ බීබීසී ය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබේ. මෙම වැඩසටහන තුළ මතු කර ඇති කාරණා සම්බන්ධයෙන් පිලිතුරු දීමට තමුන් ඉන්දීය රජයට අවස්ථාවක් ලබා දුන් බව ද ඔවුහු පවසති. නමුත් ඉන්දීය රජයෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව ද බීබීසී සේවය පවසා ඇත.
නිහාල් පීරිස්