පසුගිය නොවැම්බර් 26 දා ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ අසම්ප්‍රදායික ක්‍රියාවක් සමාජ ජාලා මගින් වේගවත්ව ව්‍යාප්ත වූයේ මෑත භාගයේ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු ඉහළම ජන අවධානයක් හිමි කර දෙමිනි. පසුව ඒ සම්බන්ධයෙන් අවුකන රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ වත්තල ප්‍රදේශයේ පදිංචි ලියොන් අමරනන්ද නම් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු පිරිසක් එවන් චීවර පූජාවකට අවසර ඉල්ලා සිටි අතර තමන් ඒ සඳහා අවසර ලබා දුන් බවකි.
එහෙත්, එම ආන්දෝලනාත්මක සිදුවීමට මුල් වූ බව පැවසෙන ලියොන් අමරනන්ද නමැත්තා විශේෂඥ වෛද්‍යවරයකු තබා සාමාන්‍ය වෛද්‍යවරයකු වත් නොවන බවත් ඔහු පිළිගත් වෛද්‍ය ක්‍රමයක් නොවන විශ්ව ශක්තිය නම් ගුප්ත බලවේගයක් මගින් රෝග සුව කිරීමට තමන්ට හැකි බවක් පවසා සිටින්නකු බවත් පසුව අනාවරණය විය.
කෙසේ හෝ මෙම අමුතු ගණයේ ක්‍රියාකාරම පිළිබඳව ඇසූ සැනින් මගේ සිහියට නැංවුණේ මේ වන විට අපට හිඳින ජ්‍යෙෂ්ඨතම ප්‍රතිමා කලා විශේෂඥයා වන ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන් ය. ජාතික කෞතුකාගාරයේ හා කැලණි විශ්ව විද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්යක්ෂවරයකු වූ ආචාර්ය ලක්දුසිංහ ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් වරයා ද වෙයි. පසුගිය කාලයේ අයහපත් සෞඛ්‍ය තත්වයක පසුවන ලදුව මේ වන විට පූර්ණ සුවය ලබා නිවසේ විවේක සුවයෙන් පසුවන ඒ සුවිශේෂ විද්වතා හමු වූ මා ඔහු සමඟ කළ සුහද කතා බහකි මේ;
- අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම මුල් කර ගෙන පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඉතිහාසයේ මීට කලිනුත් ඒ වගේ දේවල් සිද්ද වෙලා තියනවද?
ලොකු ඉතිහාසයක් මොකටද ? දැන් ඔය ඕනේ තරම් ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට පවා සිවුරු පොරවන්නේ. ඒකේම දිගුවක් නේද ඔය.
- ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට සිවුරු පෙරවීම කොහොමද හඳුන්වන්න පුළුවන්?
විලම්බීත, බහුබූත වගේ දේවල් කියලා තමයි ඉතින්. වෙන කොහොමද ?
- නමුත් ඒවා ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට කරන පූජා සත්කාර විදිහට සළකන්න බැරිද?
සමහරුන්ට පුළුවන් ඇති; හැබැයි ඉතින් පොඩ්ඩක් හරි සිහි කල්පනාව තියන කෙනෙකුට නම් බෑ. අනික ශ්‍රී මහා බෝධිය කියන්නේ ජෛවමය පුරා විද්‍යා උරුමයක්. ලෝකයේ දියුණු රටවල් වල ඒ වගේ දේවල් ආරක්ෂා කර ගන්න විශේෂ ක්රමෝපායන් ආරක්ෂිත වැඩ පිළිවෙලවල් තියනවා. නමුත් අපේ රටේ ඒ වගේ දියුණු තත්වයක් නැහැ.අඩුම ගාණේ ඒවා ගැන දන්නේ වත් නැහැ.තව නූලෙන් අර ඔල්මාද කාරයෙක් ඕක මුලට අර ධම්මික පැණිය ද මොකක්ද කකාරවපු ද්‍රාවණයකුත් හළනවනේ.තව මොනවද ඉතින්
- නමුත් රුවන්වැලි සෑය ඒ වගේ ජෛවමය පුරා විද්‍යා උරුමයක් නෙවෙයි නේද?
ඒ රුවන්වැලි සෑය කියන්නේ ආගමික පුරා විද්‍යා ස්මාරකයක්. නමුත් ආගමික වශයෙන් ඒකට ජෛවමය අගයක් ලබා දීලා තියනවා. ඒකනේ චෛත්‍ය රාජයාණන් වහන්සේ කොත් වහන්සේ වගේ ජීවමාන නම්වලින් හැඳින්වෙන්නේ.නමුත් ඉතින් එතනදී ආගම වගේම පුරා විද්‍යා උරුමයන් එක වගේම ආරක්ෂා වෙන්න ඕනේ.රැවුලයි කැඳයි දෙකම බේරා ගන්නවා වගේ. නමුත් ඉතින් අපේ රටේ හුඟක් ආගමික පුරාවිද්‍යා ස්මාරකවලට අන්ධ භක්තික විශ්වාස හින්දා හානි වෙන අවස්ථා ඕනෑ තරම් තියනවා. සමහර ස්මාරකවලට අන්ධ විශ්වාස නිසා බරපතල විදිහට හානි වෙලා තියනවා. නමුත් හුඟ දෙනෙක් හානි, සංහාර හානි විදිහට දකින්නේ සිංහල බෞද්ධ නොවන කෙනෙක් කළොත් විතරයිනේ. රුවන්වැලි සෑය උඩට නැගලා ඒක වටේට රෙදි ඔතන එකත් ඒ වගේ අන්ධ භක්තික ක්‍රියාවක් තමයි.අනික අපි මොකටද රෙදි අඳින්නේ පළමුවෙනි කාරණේ විළි වහ ගන්න නේ.ඒ කියන්නේ ඔය බහු බූත වැඩ කරන අයත් හිතනවද දන්නේ නෑ රුවන් වැලි සෑය නිර්වස්ත්‍රයි කියලා
- නමුත් ඕක බුද්ධාභිවන්දනයක් විදිහට නේද? අපේ සමාජය නම් කරන්නේ.
කීයටවත් නෑ, බුද්ධ ප්රතිමාවලට, දාගැබ්වලට මල්, පහන් පූජා කරනවා මිසක් ඔය විදිහට රෙදි පොරවන, ඇඳුම් අන්දවන සම්ප්රදායක් අපේ ජන සමාජයේ කවදාවත් තිබිලා නැහැ.ඕවා බොහොම පසුකාලීනව හින්දු ආගමේ භක්තිවාදී සංකල්ප වලින් බෞද්ධයන් අල්ලා ගත්තු අහු කොන් නේ.අනික ඕකට කියන නම දන්නවද?
- මම දන්න තරමින් ඕකට කියන්නේ කප් රුක් පූජාව කියලා. එහෙම නේද?
හරි; කප්රුක කියන්නේ කල්ප වෘක්ෂය. කෝ එතකොට ඔතන කප් රුකක්? ඒකෙන්ම තේරෙනවා නේද ඕක මෑත කාලීනව මැද පන්තියේ සමාජයෙන් ඉස්මතු වුණු විගඩමක් බව. හොඳයි ඕකට කප් රුක් පූජාව කියලා නම් කරන්න හේතුව දන්නවද? ඔය විදිහට දාගැබ් වටේ රෙදි එතුවම කල්ප වෘක්ෂය පහළ වුණා වගේ හැම සැප සම්පතක්ම ලැබෙනවා කියන අන්ධ විශ්වාසය නේ.
- නමුත් සෑම කෙනෙක් තුළම වගේ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාව කියන ලෞකිකත්වය හා බැඳුණු අපේක්ෂාවන් තියනවා.
තියනවා තමයි.ඒක හරි. නමුත් ඔය වගේ අන්ධ චාරිත්‍ර වලින් කිසිම කෙනෙකුට ඒ වගේ දේවල් ලබන්න බෑ කියලා. බුදු හාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරලා තියනවා නේද? මට මතක හැටියට ඔය සඳහන තියෙන්නේ පංච ඉට්ඨ ධම්ම කියන සූත්‍රයේ. හැබැයි තව දෙයක් පැහැදිලිවම කියන්න ඕනේ. ඔය පංච ඉට්ඨ ධම්ම වලින් පස්වෙනි එක ප්‍රඥාව කියන දේ ඔය වගේ අන්ධභූත ක්‍රියාවලින් ලැබීම කොහොම වුණත් ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ ඒ ප්‍රඥාව ලබන්න තියන මාර්ග මෝහයෙන් වැහිලා යාම, ඔය ජල මාර්ග වගේ දේවල් රොන්මඩ වලින් වැහෙනවා වගේ.ඒකත් මේ සේරම නස්පැත්ති වලට බලපාලා නැද්ද?
- හොඳයි, ශ්‍රී මහ බෝධියයි රුවන්වැලි සෑයයි පැත්තකින් තියෙද්දී අපි අවුකන පිළිමය ගැන කතා කරමු. ඒක පිළිමයක් හින්දා සිවුරක් ඇන්දවීමේ ලොකු දෝෂයක් නෑ කියලා සමහරු කියනවා.
ඇයි දැන් අවුකන පිළිමේ සිවුර නැද්ද? ඇයි ඒකට මොනවා වෙලාද? මොකද මට ටික කාලෙකින් ඒ පැත්තේ යන්න නම් බැරි වුණා.විකාර කතානෙ ඕවා!
- මෙතන බෞද්ධයෝ දකින්නේ ඒ පිළිමය ජීවමාන බුදුන් වහන්සේ විදිහට. ඔය සිවුරු පෙරවීමට මුල් වුණු තමන්ට විශ්ව ශක්තියක් තියනවා කියලා විශ්වාස කරන තැනැත්තත් ඒ කතාවම කියලා තියනවා.
ජීවමාන බුදුන් විදිහට දැක්ක හින්දද? ඉනිමං තියලා අවුකන පිළිමේ උඩට නැග්ගේ.ඒ කියන්නෙ බුදු හාමුදුරුවන් ගෙ කරේ ගියෙ
- නමුත් බුද්ධ ප්‍රතිමාවකට චීවර පූජාවක් කරන්න බෞද්ධයන්ට අයිතියක් තියෙන්න ඕනෙ නේද?
හරි; එහෙම අයිතියක් තියනවා.ඒත් චීවර පූජාවක් කියලා පිළිමේ කරට නැඟලා ඒක පිළිමෙට අන්දවන්න ඕනෙද? එහෙම නම් පිළිමෙට ගිලන්පස බුද්ධ පූජාවක් තිබ්බොත් පිළිමෙ උඩට නැඟලා ඒක පොවන්නත් වෙනවනේ.අවුකන පිළිමෙට නම් පුංචි වීදුරුවක් කෝප්පයක් මදි වෙයි. අඩුම ගාණේ ගිලන් පස පීප්ප බාගයක් වත් ඕනෙ වෙයි.අනික ඔය ප්‍රතිමාවේ සිවුරේ තියන මුල් රැල්ල ඔය වගේ කහ රෙද්දකින් වහනවා කියන්නේ රත්තරනින් හදපු දෙයක් උඩින් ගොම මැටි අතුල්ලනවා වගේ වැඩක්.
- මොකක්ද ඒ පිළිමේ සිවුරේ තියන විශේෂත්වය?
අවුකන පිළිමය ගැන පැය ගණන්,වරු ගණන් දවස් ගණන් කතා කරන්න දේවල් තියනවා. ඔය ප්‍රතිමාවේ තියන රැලි මාලාව ඉතාම සියුම් විදිහට කළු ගලින් නෙළලා තියනවා. ඒ තාත්වික රීතියට අනුව. නමුත් පසු කාලීන බුද්ධ ප්රතිමාවල සිවුරුවල ඒ තාත්වික බව අඩුයි. ඒ හින්දා ප්‍රතිමා කලා විකාශනය අනුව බැලුවත් ඔය නිර්මාණ කරණය පසු කාලීන නිර්මාණවලට වඩා විශිෂ්ඨ බව එක හෙළාම කියන්න පුළුවන්.
- ප්‍රතිමා කලා විශේෂඥයෙක් හැටියට ඔබට ඒ වගේ විශේෂත්වයක් පේනවා ඇති. ඒත් සාමාන්‍ය ජන සමාජයට ඔය ගැන හැඟීමක් දැනීමක් නැහැ නේද?
අද ජන මාධ්‍ය තොරතුරු තාක්ෂණය හුඟක්ම දියුණුයි කියනව නේ ඉතින් මොකද? බැරි ඒ දැනුම යොදා ජනතාව අතරේ බෙදා හරින්න. ඇයි ඔය රාවණා සංකල්පයට පණ පිහිටුවලා ඕනෙ තරම් කෙබර අත අරින්නේ
- ආගමික පුරා විද්‍යා ස්මාරක වලට උරුම කියන්න කොටස් තුනක් ඉන්නවා.ඒ ආගමික ස්ථාන භාරකරුවන් පුරා විද්‍යාඥයන් සහ සංස්කෘතික උරුමයන් වෙනුවෙන් පෙනී සිටින විද්වතුන්. ඔබ ඉන් මා කියපු කොටස් දෙකක්ම නියෝජනය කරන කෙනෙක්. මම හරිද?
නමුත් ඒ අයට අමතරව ඉතිහාසඥයන් සමාජ මානව විද්‍යාඥයන් වගේම මේ රටේ සාමාන්‍ය ජනතාවත් මේ උරුමයන් රැක ගන්න මීට වඩා උනන්දු විය යුතුයි කියලයි මම හිතන්නේ. මොකද ඔය වගේ පුරාවිද්‍යා ස්මාරකවලින් සමකාලීන සමාජ, ආර්ථික, සංස්කෘතික පසුබිම අපූරුවට දැක ගන්න පුළුවන් නිසා.
- නමුත් ඔය අවුකන පිළිමයට සිවුරු පැළඳීමේ සිද්ධියට තමනුත් සම්බන්ධ බව අවුකන රජමහා විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළා. ඒ හිමියන් පවසා සිටියේ ඒ කටයුත්තේ කිසිම දෝෂයක් නැති බවකුයි.
කිව්වේ කවුරු වුණත් ඒක නම් බරපතල දෝෂ සහිත ප්‍රකාශයක්
- මේ පරිභෝජනවාදී සමාජය තුළ ගිහියන් වගේම සමහර පැවිද්දනුත් විවිධ ලාභ ලෝභ කම්වලටත් ආධ්‍යාත්මික සහ සංස්කෘතික අගයන් අවභාවිතා කරනවා නේද?
ඔව්, මිල මුදලේ අගය අති ප්‍රමාණික විදිහට ඉහළ නැංවෙන කොට සදාචාර ලක්ෂණ ඊට සාපෙක්ෂව පහත වැටෙනවාම තමයි. අවුකන බුදුන් ජීවමානයි කියන අතරේ ඒ ප්‍රතිමාවේ කරට නැගීම ඒකට හොඳම නිදසුනක්.
- එතකොට ආර්ථික සංවර්ධනයයි සදාචාර සංවර්ධනයයි එක සැරේ ප්‍රවර්ධනය කරන්න බැහැ කියලද ඔබ කියන්නේ?
ඒක බොහොම පරිස්සම් සහගත ගමනක්. නමුත් අපේ රටේ නම් එහෙම හිරු කිරණක් තියා කලාමැදිරි එළියක්වත් පේන පාටක් නෑ.
- නමුත් එකම සමාජ පසුතලයක් තුළ එකි’නෙකට පරස්පර වෙනස් දෘෂ්ඨිවාද චින්තන රටාවන් තියෙන්න පුළුවන්ද?
මොකද බැරි, දැන් අපි ගොහොරු බිමක් ගනිමු. ඒකේ නෙළුම් මලුත් තියනවා මීහරකුත් ලගිනවා. ඒත් ඒ නෙළුම් මලුයි හරකුයි අතරේ කිසිම සම්බන්ධයක් නෑනේ. මී හරකෙකුට පුළුවන්ද නෙළුම් මලක සුවඳ විඳින්න බෑනේ. බැරි වෙලාවත් ඒ නෙළුම් මලක් කඩලා මීහරකෙකුගේ හොම්බට කිට්ටු කළොත් ඒකා මොකද කරන්නේ? සුවඳ බලනවද? නෑනේ. ජර බර ගාලා හපලා කනවා .නමුත් මම මේ උපමාවෙන් අපේ සමාජයේ සංස්කෘතික සදාචාර පක්ෂයයි අධිපරිභෝජනමය පක්ෂයයි ගැන කිව්වා මිසක් මේක කාටවත් පෞද්ගලික අපහාසයක් එල්ල කිරීමක් එහෙම නෙවෙයි.අනේ ඒකත් විශේෂයෙන්ම පත්තරේට ලියන්න.
- කොහොම නමුත් අවුකන පිළිමයට සිවුරු ඇන්දවීමේ කතාව සැලකිය යුතු සමාජ කතිකාවකට භාජනය වුණා. නමුත් තව ටික දවසකින් ඕක ඉබේම යටපත් වේවි නේද?
ඒකත් අපේ සමාජයේ තියන ප්‍රධාන දුර්වලකමක්. ඒ සිද්ධිය එතැනින් ඉවර වුණාට ඔය වගේ වගේ සිද්ධීන් තව ඕනෙ තරම් බිහි වෙන්න පුළුවන්.මොකද ඒවාට පදනම් වුණු සමාජ ආර්ථික ව්‍යාකූලතා පහවෙලා නෑනේ. ඒ හින්දා මේ විෂමකාරී සමාජ ආර්ථික මූලය සිඳීමෙන් විතරමයි මේ අර්බුද වලට තිරසාර විසඳුම් ලබා ගන්න පුළුවන්.
තිලක් සේනාසිංහ