අනියම් ලිංගික සබඳතා පවත්වමින් සිටිය දී හදිසි මරණවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් වරින් වර අසන්නට ලැබේ. හෝටල්, තානායම්, ආගන්තුක නිවාස, ලැගුම්හල් ආදියේ දී සිදු වන මෙම හදිසි මරණ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණ වල දී හෙළිවනුයේ එම මරණ සමහරක් හදිසි හෘදයාබාධ මුල් කොට සිදුව ඇති බව ය.
එමෙන්ම එසේ මරණයට පත් වූ ඇතැම් දෙනකු ඒ වන විට අනියම් ලිංගික සබඳතා වල යෙදෙමින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ. එමෙන්ම මෙලෙස නිශ්චිත ස්ථානවල සිදු වූ මරණයන් මුල් කොට සිදුකරන මරණ පරීක්ෂණ වල සාක්ෂි විමසීම් වල දී ඉහත සඳහන් පසුබිම් කරුණු අනාවරණය වුව ද එවැනි අවස්ථා මුල්කොට නිවාස වැනි වෙන යම් ස්ථාන මුල්කොට සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන් එවැනි පසුබිම් කරුණු අනාවරණය නොවීමට ද බොහෝ දුරට ඉඩ කඩ තිබේ.
ඉහත සඳහන් හදිසි මරණ වලින් වැඩි ප්‍රමාණය පුරුෂ පක්ෂයේ මරණ වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ පවතින පොදු විශ්වාසය වන්නේ එම මරණ ලිංගික උත්තේජක අධි මාත්‍රාවකින් ලබා ගැනීම මුල් කොට සිදු වී ඇති බව ය. එවැනි තත්වයක් උද්ගත වීමේ යම් අවදානමක් පැන නැඟිය හැකි බව ඇත්තකි. එහෙත්, අද අප කතා කරනුයේ ඒ සම්බන්ධයෙන් නොවේ.
අනියම් සබඳතා යනු විවාහය යන ශිෂ්ටාචාරගත සමාජමය සංසිද්ධියත් සමඟ හටගත් විකල්පමය තත්වයකි. මෙම අනියම් සම්බන්ධතා පිළිබඳ තතු විත්ති මානව ශිෂ්ටාචාරයේ ආදීතම අවදියේ සිට ලොව සෑම ජන සමාජයකින්ම අසන්නට ලැබේ. අතීතයේ පැවැති බහු පුරුෂ, බහු භාර්යා විවාහ වල දී පවා එම සංස්කෘතික රාමුවෙන් පිට පැන ලිංගික සබඳතා පැවැත්වීම සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
දාහත්වන සියවසේ එළිමහන් සිරකරුවකු ලෙස වසර විස්සකට ළංවන කාලයක් අප රටේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ ඓතිහාසික කෘතියේ ද එවක අප සමාජයේ පැවැති අනියම් සබඳතා පිළිබඳව විස්තර කෙරේ. එහි සඳහන් අන්දමට තම සැමියන් නිවසින් බැහැරව ගිය පසු සිය සොර සැමියන් නිවසට කැඳවා ගන්නා භාර්යාවෝ ඔවුන් හා ලිංගික සේවනයේ යෙදෙති.
එහි දී තම සැමියා හදිසියේ හෝ නිවසට පැමිණිය හොත් ඔහුගේ දෑසින් සොර සැමියා මුවා කරනු පිණිස මෙම භාර්යාවෝ අපූරු උපායක් යොදති. එනම් නිවසේ දොරකඩ සිට තම සැමියා එන පෙර මඟට අලු කුල්ලක් වීසි කිරීම ය. ඒ එම කුල්ලේ අලුවලින් තම සැමියා ගේ දෑස් වැසී ගිය අවකාශයෙන් සොර සැමියාට නිවසින් පලා යාමට ඉඩ සැලසීමට ය.
මෙම අලු කුල්ලේ කතාව නොක්ස් තමන් ඇසූ එක් සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් මුල් කොට තම කෘතියට එක් කළ සටහනක් බව පෙනේ. මෙවන් පසුබිමක් තුළ පවා පැවැති අනියම් ලිංගික සබඳතා අප සමාජය තුළ වික්ටෝරියානු සුචරිතවාදය ව්‍යාප්ත වීමත් සමඟ සංස්කෘතික, සදාචාරාත්මක සේම නෛතික වරදක් බවට ද පත්ව තිබේ.
ඒ අනුව අද සමාජය පුරා පැතිර පවත්නා සෑම අනියම් සබැඳියාවක්ම එම විවාහක තැනැත්තා ගේ හෝ තැනැත්තිය ගේ පවුල්මය සහ සමාජමය ප්‍රතිරෝධයක් මත සිදුවන බව පැහැදිලි ය.
සම්මත ප්‍රේම හෝ විවාහක සබඳතාවයක් වුවද හුදෙක් ආත්මාර්ථය, මමායනය පදනම් ව පවතී. තම සහකරු හෝ සහකාරිය වෙනයම් කාන්තාවක හෝ පිරිමියකු සමඟ අනියම් සබඳතාවක් ගොඩනඟා ගනු ඇතැයි යන සැකය බොහෝ අඹු සැමියන් තුළ පවතින බව පෙනේ. එහෙත්, මෙම තත්වය අනියම් සබඳතා පවත්වන්නවුන් තුළ මීට වඩා දැඩිව බලපැවැත්වෙයි.
ඊට හේතුව තම අනියම් සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් නීතිමය, සංස්කෘතික හෝ සදාචාරාත්මක බැඳීමක් නොමැති බැවින් තම අනියම් සබඳතාවය සඳහා ඉහත සඳහන් කිසිදු ආරක්ෂණයක් නොමැති බව ඒවාට සම්බන්ධ වූවන් ද දැන සිටීම ය.
එමෙන්ම සිය විවාහක සැමියා හෝ බිරිඳ හැර දමා තමන් හා අනියම් ඇසුරකට පත් ඇය හෝ ඔහු තමන්ට ද අමතරව තවත් සබඳතා ගොඩනඟා ගත නොහැකි ද? යන සැකය එලෙස අනියම් ඇසුරට පත්වන බොහොමයක් තුළ ස්වභාවිකවම ජනිත වේ.
මෙලෙස නිරතුරුව සැක මුසු බියකින් පසුවීම මානසික අවපීඩනයට, විශාදයට සේම කායික ව්‍යුහයේ යහපැවැත්මට ද නොනිසි ලෙස බලපායි. විශේෂයෙන් මෙබඳු මානසිකත්වයන් යටතේ ඇඩ්රිනලීන් (Adrenaline) වැනි හෝමෝන අධික ලෙස ශ්‍රාවය වීම හෘද සෞඛ්‍යය කෙරෙහි ද මහත්සේ අහිතකර ලෙස බලපාන බව නොරහසකි.
අනියම් හාදකම් පැවැත්වීම සහ හෘද රෝග අතර කිසියම් සබඳතාවයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විධිමත් පර්යේෂණ සිදුව ඇති බවක් නොපෙනෙයි.
මෙම අනියම් හාදකම් සහ ඊට එරෙහිව එල්ල වන පවුල්මය සහ සමාජමය ප්‍රතිරෝධය එක හා සමාන නොවීම ඊට හේතුව ය. අතීතයේ යුරෝපයේ පැවැති වික්ටෝරියානු සුචරිතවාදී පදනම බිඳවැටීම මත ලිංගික නිදහස ද මානව නිදහසේ කොටසක් වශයෙන් අර්ථ නිරූපණය කෙරෙන බටහිර සමාජවල අනියම් සබඳතා එතරම් බැරෑරුම් අයුරින් සැලකෙන්නේ නැත. එනිසාම අද ඇතැම් විවාහක ජෝඩු සමාජය හමුවේ අඹු සැමි චරිත රඟපාන්නවුන් බවට පත්ව හිඳිති.
නමුදු ලොව පුරා සමාජ විද්‍යාඥයන් මෙම තත්වය හඳුන්වනුයේ ‘ශිෂ්ටාචාරය තුළ වල්මත් වීම’ යනුවෙනි. තත්වය එසේ වුවද අප රටේ ජන සමාජය තවමත් එලෙස ශිෂ්ටාචාරය තුළ වල්මත් වීමේ ස්වභාවයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි. එය එක්තරා සාධනීය ලක්ෂණයක් සේම අනියම් සබඳතා කෙරෙහි මෙවන් පවුල් හා සමාජමය ප්‍රතිරෝධයක් එල්ල වීම පොදු සමාජමය යහපැවැත්මට ඉවහල් වන්නක් බව ද නොරහසකි.
එහෙත්, ඉහත සඳහන් වාතාවරණය යටතේ අනියම් හාදකම් පවත්වන්නවුන් ගේ කායික ව්‍යුහයට නිරන්තරව සේම අවස්ථානෝචිතව තීව්ර අහිතකර බලපෑම් ද ඇති වන බව ඒකාන්ත ය.
පුද්ගලයන් තුළ කාමාශාව වර්ධනය වීමේ සිට ලිංගික ක්‍රියාකාරීත්වය හා සුරතාන්තය දක්වා වන සියලුම කටයුතු ශරීරයේ ජෛව රසායනික හෝමෝන ක්‍රියාදාමයන් හා සම්බන්ධය.
ආදරය, අනුරාගය ආදී පසුබිමක් තුළින් ප්‍රවර්ධනය වන ලිංගිකත්වයේ දී ඔපියොඩ්ස් (Opi0ids) ඩොපමීන් (Dopamine)සෙරනොටීන් (Serotonin) ආදී සතුටු හෝමෝන ක්‍රියාත්මක වන අතර ලිංගික සුරතාන්තයේ දී එන්ඩොෆීන් (Endophins) හෝමෝනය ක්‍රියාත්මක වෙයි. හෘද සෞඛ්‍යයට සේම පොදුවේ කායික යහපැවැත්මට ඉවහල් වන එම හෝමෝන ක්‍රියාවලිය සඳහා එම හැඟීම්, ආවේග කුළුගන්වා ගැනීම පිණිස යහපත් කායික හා මානසික පසුබිමක් තිබිය යුතුම ය.
හෘදයාබාධ මතු වීමෙන් හදිසි මරණ වලට ලක් වූවන් සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශන වල දී ඇතැමුන් එලෙස මිය ගොස් ඇත්තේ ලිංගික ක්‍රියාවන්හි යෙදෙමින් සිටින විටදී බව ද අනාවරණය වී තිබේ.එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විශ්ලේෂණයන් හිදී මතු දැක්වෙන අවදානම් සාධක ද ඉස්මතු වී තිබේ.ඒවා වනුයේ අධික ලෙස ආහාර ගෙන සිටීම,අධික ලෙස මත් පැන් පානය කොට සිටීම,ආගන්තුක ස්ථානයක දී සහ තම බිරිඳ නොවන වෙනත් කාන්තාවක සමඟ ලිංගික ක්රියාවේ යෙදීමය.
විවිධ පාරිසරික බලපෑම් තත්වයන් මත ඇති වන බිය සැක මුසු අවස්ථාවන් මුල් කොට එම හෝමෝන ක්‍රියාවලිය ඒ අයුරින් සිදුනොවන අතර එහි යම් යම් විෂමතා දක්නට ලැබේ.
එනිසාම සම්මත නීති, සාදාචාර සහ සංස්කෘතික රාමුවෙන් බැහැරව සිදුකෙරෙන ලිංගික කටයුතුවලදී සාමාන්‍ය පරිදි එය දිගුවේලාවක් සිදුකිරීමට නොහැකි වන අතර එම බිය සැක මුසු අවිනිශ්චිත තත්වය යටතේ හටගන්නා හෝමෝන විෂමතා මත ඒ තැනැත්තා කඩිනම් සුරතාන්තයකට පත්වීමේ පැහැදිලි අවකාශයක් තිබේ. මෙය එක්තරා අන්දමක පුද්ගල ආරක්ෂණ ක්‍රියාවලියකි.
මෙම තත්වය සම්බන්ධයෙන් කීමට ඉතිරි වන තවත් කරුණක් තිබේ. එනම් මෙම තත්වයන් බලපවත්වනුයේ පුරුෂ පක්ෂයට පමණ ද යන්න ය. ඒ සම්බන්ධයෙන් ද අනාවරණය කළ යුතු විද්‍යාත්මක සත්‍යයක් තිබේ.
ලිංගිකත්වය යනු ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම සමාන වුවද ලිංගික ආවේගයන් පිබිදීම සම්බන්ධයෙන් එම තත්වයන් බලපැවැත්වෙනුයේ දෙයාකාරයකට ය.
ඒ සම්බන්ධයෙන් සරල නිදසුනක් ඉදිරිපත් කළ හොත් පුරුෂයා ගේ ලිංගික ජවය අශ්වයකු ගේ ධාවනයට උපමා කෙරෙන අතර කාන්තාවක ගේ ලිංගික ජවය උපමා කළ හැක්කේ චීටා නම් දිවියාගේ ධාවනයට ය. අශ්වයා ගේ ධාවනය වේගවත් හා ප්රදර්ශනාත්මකය.
නමුදු යම් දුරක් වේගයෙන් ධාවනයේ යෙදෙන අශ්වයා එක්වරම අක්‍රිය බවට පත්වේ. නමුදු චීටා ගේ ධාවනය වේගවත් වුව ද පඳුරු අතරින් දිවෙන්නක් නිසා එහි වේගය නොපෙනේ.
අශ්වයාට වඩා වැඩි වේගයකින් වැඩි දුරක් දුවන මුත් චීටා අශ්වයා මෙන් එක්වර වෙහෙසකට පත් වන්නේ හෝ අකර්මන්‍ය බවට පත් වන්නේ නැත.ඉහත සඳහන් පසුබිම යටතේ අනියම් ලිංගික සබඳතා පුරුෂ පක්ෂය කෙරෙහි වැඩිපුර අයහපත් නැඹුරුවක් ඇති කිරීමට විද්‍යාත්මක හේතුව ද යම් තරමකින් හෝ ඔබ හමුවේ අනාවරණය වී ඇතැයි මම සිතමි.
හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ