අනූවසරකට පෙර: ගුරුවරයෙකුගේ ලෝකය

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග

අප රටේ ගුරු ප්‍රජාව සිය වෘත්තීය අයිතිවාසිකම් උදෙසා සටන් වැදීම මත ඉකුත් දින දෙකක් තුළ රජයේ පාසල් වල ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යාපනික කටයුතු මුළුමනින්ම ඇන හිට තිබිණ.එම සංසිද්ධිය සම්බන්ධයෙන් අප රටේ ගුරු ප්‍රජාව සහ ඊට වගකිවයුතු යැයි ඔවුන් පවසන රජයේ පාර්ශවයන් පිළිබඳ කිසිදු අදහස් දැක්වීමක් අපි මෙහි දී සිදු නොකරමු.නමුදු ඕනෑම සමාජයක පවත්නා ආකල්පමය පරිනාමයන් අප රටේ ගුරු ප්‍රජාව සම්බන්ධයෙන් ද එක සේ බලපවත්වන බව සනාථ කෙරෙන අපූරු සාක්ෂියක් සේ ගොනු කළ හැකි මෙය හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංගයන් ගේ මුත්තනුවන් වූ තෙරිපැහැ කි.බ නිශ්ශංක නම් ගුරු භවතා 1934 වර්ෂයේ තම පෞද්ගලික දිනපොතේ ලියා තැබූ සටහන් අතුරින් කිහිපයකි .මෙම සටහන් වල අඩංගු කරුණු අනුව ගුරුවරුන් තුළ එදා මෙදා පැවැති ආකල්පමය වෙනස කෙතරම් ද යන්න ඔබට වැටහෙනු ඇත.එමෙන්ම ගත වූ අනූ වසර තුළ ගුරු සිත් තුළ එවන් ආකල්පමය පෙරැළියක් ඇති වීමට බලපෑ සමාජ,ආර්ථික ,දේශපාලනික සාධක සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චයකට එළැඹීමේ වගකීම ඔබ සතු ය.

—————————————————————————-

අපේ අත්තා සතුව යමක් තිබුණි නම් එයින් මට උරුම වූ වටිනාම දේ වන්නේ එතුමාගේ දිනපොත් ය. ඒ අතර ඇති පරණම දිනපොත 1934 වර්ෂයට අදාළය. එවකට වයස අවුරුදු 26 ක තරුණයකු වූ අත්තා එකල මහනුවර බෝපිටිය විදුහලේ උපගුරුවරයකු ව සිට ඇත. නුවර වෙනත් පාසලක ගුරුවරියකව සිටි අත්තම්මා සමඟ අත්තාගේ විවාහය සිදුවී ඇත්තේද එම අවුරුද්දේය. 1934 වර්ෂයේ මුළ සිට ඔවුන්ගේ විවාහය සිදුවූ මැයි 26 වෙනිදා දක්වා වූ සය මසක් පමණ වූ කාලයට අදාල දිනසටහන් මෙහි මවිසින් පිටපත් කර දක්වා ඇත.
දිනපතා තුණුරුවන් වැද පන්සිල් ගැනීම සහ පාසලේ නියමිත ඉගැන්වීම් කටයුතු කිරිම ගැන දිගින් දිගටම එන සටහන් හැරුණු කොට විශේෂයෙන් සදහන් කළ යුතුයැයි පෙනෙන සටහන් මෙහි පහත එහි ලියා ඇති ආකාරයෙන්ම දක්වා ඇත.

1934. 01.01- සඳුදා

මෙදින ගිලන්පස ද්‍රව්‍ය ගෙන මළුවේගොඩ පන්සලට ගොස් හාමුදුරුවන්ට පිලිගැන්වුවෙමි. වර්ෂාව පැවතින.

1934 .01.08- සඳුදා

උදේ මෛත්‍රි භාවනාවේ යෙදුනෙමි. මේ අවුරුද්දේ ප්‍රථම පාඨශාලා වාරය මෙදින පටන්ගන්නා ලදී. මෙදින රාත්‍රී ද පෙරසේම තිසරණ පන්සිල් සමාදන්වීම් ආදිය කළෙමි.

1934. 01.11 – බ්‍රහස්පතින්දා

අද දින දාතමින් කෘෂි කර්මවිද්‍යාලයට ඇතුල්වීමේ ඉල්ලුම් පත්‍රය යැවිමි.

1934. 01.12 – සිකුරාදා

දළදා මාලිගාවට ගොස් වැඳපුදා ආවෙමි.

කි.බ නිශ්ශංක මහතාගේ ගුරු හැඳුනුම්පත

1934.01.14 – ඉරිදා

ඇලිකේවෙල තිබෙන මෙහි ප්‍රා: ආ: මහතාගේ අලුත් ගෘහයට M.B.D, G.M.M. සමඟ ගොස් එහිදී බැද(ගෙන)ගොස් තිබූ දවල් බත් කෑවාට පසු ආවෙමු.රාත්‍රී තිසරණ පන්සිල් සමාදන්ව පිරිත් කියා මෙත්වඩා ලෝකයාට පින්දී නිදාගතිමි.

1933.02.01 – බ්‍රහස්පතින්දා

මෙදින මගේ පන්තිවල ශිෂ්‍යයන් ගේ සුචරිත වර්ධනය සදහා කරන ලද වැඩවලින් වැඩි ලකුණු ලැබූ අයට තෑගි දෙකක් දුන්නෙමි. අනෙක් සියලු දෙනාටද ” ධා:කු: ගේ” ගිහි දින චරියා පොත් එක බැගින් බෙදා දුනිමි.

1934. 02. 03 – සෙනසුරාදා

මෙදින දවල් 2කේ දුම්රියෙන් M.B.D. සමඟ කො: ගියෙමි. U.B.A. ගෙන් කැලැන්ඩරයක් ලැබුණා. සවස එහි නිදාගතිමි.

1934.02.95 – ඉරිදා

මෙදින උදේ 8.5 කෝච්චියෙන් ආපසු මෙහි පැමිණියෙමු. සිරිත් පරිදි රාත්‍රී තිසරණ පන්සිල් සමාදන්වීමාදී කටයුතු කළෙමි.

1934.02.15 – බ්‍රහස්පතින්දා

සිංහල බෞද්ධයා පත්‍රයට දායක මුදල් යැවීම පිණිස සවස 2ට පමණ හඟුරන්කෙතට ගියෙමි. වඩුපාඨශාලාවේ මහත්මයා හමුවිය. Y.M.L.B. මහතා හමුවී කතා කළෙමි. සමසක දායක මුදල් යැවිමි.

1934.03.03 – සෙනසුරාදා

දඹදිව භූමිකම්පා අරමුදලට (දේවප්‍රිය මහතා නමට) රු.1.00
ටී. මුනින්දවංශ හාමුදුරුවන්ට රු.3.00
නාමළුවේ මේසෙන් උන්නැහේට රු. 5.00
ල: ම: අ: අ: ස: සමාගමට මුද්දර ශ. 60.
මහනුවර බූවැලිකඩ චිත්‍රකර්ම පන්තියට ඇතුළත්වීම පිණිස ගිය නමුත් ගුරුමහතුන්ගේ නොපැමිණීමෙන් එය නොහැකිවිය.

යසවතී වික්‍රමසිංහ මහත්මියගේ විශ්‍රාමික හැඳුනුම්පත

1934.03.09 – සිකුරාදා

මෙදින ලංකා මහජන අනාගතාභිවෘධි සම්පාදක සමාගමට ඇතුළත්කරගත් බව දන්වා එවා තිබේ. මාර්තු මාසය වෙනුවෙන් සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් ශත 60ක තැපැල් මුද්දර යවන ලදී.

1934.03.10 – සෙනසුරාදා
අද දින පස්වරු කාලයෙහි මෙහි ප්‍රධානාචාර්‍යා පී.යූ. බණ්ඩා මයාගේ අස්වීම පිළිබදව ගම්වාසීන් හා සාකච්ඡා කරගැනීමට යාමට කියා තිබුණ බැවින් එහි ගියෙමි. කරල්ලියද්දේ උපාසක මයා සහ යටිබෝපිටියේ ගෙදර වෙදමයාද සම්බවිය.

1934.03.12 – සඳුදා

අද දින ගම්වාසී 15 දෙනෙක් පමණ පාඨශාලාවට පැමිණ ප්‍රධානාචාර්‍ය මහත්මයාගේ අස්වීමේ කරුණ පිළිබදව එදිනට කුමක් කළයුතුදැයි සාකච්ඡා කරගැනීමට පැමුණියහ. මේ පිරිස අතර බෝපිටියේ ආරච්චි මයා සහ උඩුදෙණියේ ඔපිසර මයාද වූහ. පෙරහැරකින් ගෙනයාමට නියම කරගත් බව දැනගතිමි.

1934.03.14- බදාදා

මෙදින හවස ප්‍රධානාචාර්‍ය මහතාගේ අස්වීම පිළිබද ස්තුතිපත්‍රයක් පිළිගැන්වීම සදහා එය අච්චුගැසීමට දීමට මහනුවරට ගොස් ටී.බී.ඇස්. ගොඩමුන්නේ මයාට දී ආවෙමි. වියදම ස්තුතිපත්‍රයට රු 10.00යි. ලංකා මහජන අනාගතාභීවෘධීසමාගමේ කලමනාකාර මහතාට ශත 14 තැපැල් මුද්දර සහිත ලිපියක් යැවිමි. ව්‍යවස්ථා පොතක් සහ සඟරාවක් ගෙන්වා ගැනීමට.

1934.03.16 – සිකුරාදා

මෙදින හවස ඒ.බී. මඩවල මහතා (ගොස්)මුද්‍රණය කිරීමට දුන් සුභාශිර්වාද පත්‍රය ගෙනාවේය. ලබන මැයි මස 16වැනි දින සිට මෙම පාසැලේ හිස්වෙන්ට තිබෙන තනතුරුවලට කහවත්තේ කේ.බී. හේරත් මහතා සහ එම මහත්මියද පත්කර තිබෙන බව දැනගන්නට ලැබුණා.

1934. 03.17 – සෙනසුරාදා

මෙදින බෝපිටියේ පාඨශාලාවේ ප්‍රධාන ගුරුමහතාගේ අස්වීයාම නිමිතිකොට එතුමා පෙරහැරකින් පාඨශාලාවේ සිට සිය නිවසට කැදවාගෙන යන ලදී. කොරලේ මහත්තයාගේ නිවසේදී ගිය පිරිසට කැවිලි හා සිසිල් බීම ආදියෙන් සංග්‍රහයක් තිබුණේය. ගලගොඩ වලව්ව ලඟදී මාරස්සන සිට පැමිණි පෙරහැර අප පිළිගන්නා ලදී. ඉන් පසු මාරස්සන පරණ පාඨශාලාවේ දි කථා කීපයක් පවත්වන ලදී.
ලාසුරුස් සමාගමෙන්, ගුරු පිරිස හා පාඨශාලා ශිෂ්‍යයන්ගේ ජායාරූපයක්ද ගන්නා ලදී.

1934 .03. 23 – සිකුරාදා

මෙදින සිට මැයි මස 1 වෙනි දින දක්වා පාඨශාලා විවේක කාලයයි. පාසැල ඇරී නුවරට ආවෙමි. මෙදින ධර්මරාජ ශාස්ත්‍රශාලාවේ ආනන්ද කෞශල්‍යාන ස්වාමීන් විසින් පවත්වන ලද ධර්ම දේශනාව අසන්නට ගියෙමි.ඉංග්‍රිසියෙන් සහ සිංහලෙන් දේශනාව පවත්වන ලදී. ඉන්පසු මහින්ද- ධර්මරාජ ශාස්ත්‍රාලයන් දෙකේ වාදයක්ද ඉංග්‍රිසියෙන් පවත්වන ලදී. රාත්‍රී රත්න හෝටලයේ නිදාගතිමි.

1934.03.24 – සෙනසුරාදා

මෙදින නුවරින් පිටත්ව එච් .ඇල්. ඩී. බස් එකෙන් වතුමුල්ලට විත් රාත්‍රි ගෙදරට පැමිණියෙමි. මා සමඟ දවටගහතැන්නේ කිරිබණ්ඩයියා, කරදකැටියේ කිරිවාන්තේ අයියා , මල්ලී යන අයද සිටියෝය.

1934.03. 26 – සඳුදා

තෙරිපැහැ පාඨශාලාවට ගියෙමි.

1934.03. 27 – අඟහරුවාදා

අද දින ගෙපල කැපීම සදහා මිනිසුන් සෙවීමට එගොඩගමට අප්පුහාමි මේසෙන් සමඟ ගියෙමි.

1934.03.28 – බදාදා

අද දින පඩි රිසිට්පත ලියා මාර්තු මාසේ පඩිය එවීමට හඟුරන්කෙත තැපැල් මහත්මයා වෙත යැවිමි. මෙදින රාත්‍රී මිනිසුන් 12ක් පමණ ගෙපොල කැපීම පිණිස පැමිණියෝය.

1934.03.29 – බ්‍රහස්පතින්දා

අද රාත්‍රියේද ගෙපල කැපීමට මිනිස්සු 6 දෙනෙක් පැමිණියෝය.

1934.03.30 – සිකුරාදා

හඟුරන්කෙතට යැවූ පඩි ගැනීමේ රිසිට් එක ප්‍රමාදයකින් අත්සන් කරන්නට නොහැකිවූ නිසා ආපසු එවා තිබුණේය. එබැවින් එය අත්සන්කොට තැපැල් කරන්නට දුනිමි.

1934.04.02 – සඳුදා

අද දින කලගම්වත්තේ ප්‍රධාන ගුරු මහත්මයා සම්බවීමට ගිය මුත් සිටියේ නැත. ගල්කැටිවෙල අලුත විවෘත කරන ලද විදානේ අයියලාගේ කඩේට ජී. වීරසිංහ (ක:පු:ගු:පු:) සමඟ ගියෙමි. සවස ගෙදර පැමිණියෙමි.

1934.04 04 – බදාදා

නිල්දණ්ඩාහීන්නට ගොස් ආවෙමි. තෙරිපැහැ ප්‍රධාන ගුරු මහත්මයාගේ අළුත් ගෘහයට ගෙවදීම හා රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවද පවත්වන ලදී. ගෙපොලේ ගඩොල් කැපීමට ආරම්භ කළා. කුඹුක්වෙල මාමාට ගඩොල් කැපීම භාර දුනිමි.

1934.04.05 – බ්‍රහස්පතින්දා

මෙදින දවල් ගුරු නිවසේදී අමරපුර නිකායික මහා සංඝයා විෂයෙහි සාංඝික දානයක් පිරිනමන ලදී. මාර්තු මාසේ පඩිය මනිඕඩරයකින් හඟුරන්කෙත තැපැල් කන්තෝරුවෙන් මා වෙත එවා තිබුණා.

1934.04.07 – සෙනසුරාදා

අද දින ලංකා මහජන අනාගතාභිවර්ධන සම්පාදක සමාගමේ කලමනාකාර මහතා වෙත අප්‍රේල් මාසයේ සාමාජික මුදල වශයෙන් ශත 30ක තැපැල් මුද්දර සහ පාස්පොත සහිත ලියුම් යවන ලදී.

1934.04.11 – බදාදා

ඉළුක්තැන්න පාඨශාලාවට ගියෙමි.

1934.04.13 – සිකුරාදා

මෙදින අළුත් අවුරුදු දිනයයි. පන්සලට ගොස් මල්, පහන්, සුවදදුම් ආදිය පූජා කෙළෙමි.
යූ.බී.ඒ., පී.යූ.බී, හී.බ. වෙ. මයා යන අයට ලියුම් ලීවෙමි.

1934.04.17 – අඟහරුවාදා

මළුවේගොඩ පන්සලට ගියෙමි. B.M. සහ Y.M. යන දෙදෙනා එව් ලියුම් ලැබුනා.

1934.04.18 – බදාදා

ගිලනුන්ට උපස්ථානකිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට සමානයයි වදාරා තිබේ. මළුවේගොඩ ගුණරතන ස්වාමීන්වහන්සෙ කුරුදු ඔයේ ආරෝග්‍ය ශාලාවට ගෙනයන ලදී. W.J. සහ මමත් බංගලාව ලඟට යන තුරු හාමුදුරුවන් ගෙන ගිය පල්ලැක්කිය ඔසවාගෙන ගියෙමු.

1934.04.22 – ඉරිදා

මෙදින දවල් ප්‍රාරම්භ විභාගය සදහා නුවර යන අය සමග තෙරිපැහින් පිටත්ව සවස වතුමුල්ලට පැමිණියෙමි. තෙ: පා: ප්‍රධානාචාර්‍ය කේ. ඇම්. කුරේ මහතා ද අප අතර විය.

1934.04.23 – සඳුදා

උදේ බස් රථයෙන් නුවරට පැමිණියෙමු. ඊ.ඇම්.ඩී. බණ්ඩා මයා සහ H.B.W. ද නුවරදී සම්මුඛවිය. ඒ මහත්වරුන් සමඟ සවස පාත දුම්බර පල්ලේකුඹුරේ වෙදමහත්මයාගේ ගෙදරට ගියෙමි.

1934.04.24- අඟහරුවාදා

මෙදින නුවරට පැමිණියෙමු. ප්‍රාරම්භ විභාග පැවතින.රාත්‍රී අස්ගිරි විහාරයේ පිරිසත් සමඟ නිදාගතිමි.

1934.04.25 – බදාදා

ප්‍රාරම්භ විභාගය පැවතුනේය. සවස බෝපිටියට පැමිණියෙමි. D.B.D ගේ ගෙදර නිදාගතිමි.

1934.04.26 – බ්‍රහස්පතින්දා

උදේ අලුත පාඨශාලාවට පත්ව ආ ගුරු මහතා දකින්නට බෝපිටියේ පාඨශාලාවට ගියෙමි. දවල් පල්ලේකුඹුරේ වෙදමයාලෑ ගෙදර ගියෙමි. විවාහ ගිවිස ගැනීම ගැන E.M.D.B සමඟ සාකච්ඡා කළෙමි.

1934.04.27 – සිකුරාදා

මෙදින පරණගම ලේකම් මහත්මයාගේ නිවසේදී වික්‍රමසිංහ රාජපක්ෂ වාසල මුදියාන්සේලාගේ යසවති වික්‍රමසිංහ මැතිනිය සමඟ විවාහ ගිවිස ගතිමි.

1934.04.28 – සෙනසුරාදා

පල්ලේකුඹුරේ සිටියෙමි. E.M.D.B. සහ එම මැතිනියද ඉළුක්තැන්න බලා ගියෝය. යසවති වික්‍රමසිංහ මැතිනිය හා ඇගේ නැගනිය H.B.W. ද තවත් කීපදෙනෙකුද කැටුව එම ගම විහාරස්ථානයට ගොස් මල් පුදා තෙරුවන් වැන්දෙමි.

1934.04.29 – ඉරිදා

පල්ලේකුඹුරේ සිටියෙමි.

1934.04.30 – සඳුදා
බෝපිටියට පැමිණියෙමි. W.B. ගලගොඩ මයාලෑ නිවසේ පදිංචිවිමි.

1934.05.01  – අඟහරුවාදා

අද දින නව පාඨශාලා වාරය පටන්ගන්නා ලදී. නියමිත පරිදි පාඨශාලාවට පැමිණියෙමි. අභිනව පත්වූ ආචාර්‍ය මහතුන් සිය ධුරවල වැඩ භාරගන්නා ලදී.

1934.05.02 – බදාදා

නියමිත පරිදි පාඨශාලාවට ගියෙමි. පස්වරු ඩබ්ලියු. බී. ගලගොඩ මහතා සමඟ පඩි ගැනීම පිණිස හඟුරන්කෙත තැපැල් කන්තෝරුවට ගියෙමි.
මහනුවර වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතියට දුන්නා ශත 25.

Y.W. ට ලියුමක් යැව්වා.

1934.05.06- ඉරිදා

ගෙවල් කුලී ගෙවීම සදහා ආණ්ඩුවේ ගුරුවරුන් විසින් අත්සන් කළ යුතු සහතිකය පුරවා තැපැල් කළෙමි. මා:, ග:, අබේ: යන මහතුන් සමඟ පී.යූ.බ. නිවසට ගියෙමි.

1934.05.09 – බදාදා

පාඨශාලාවට ගියෙමි. Y.W. ගෙන් එවූ ලිපිය 5වෙනි දින මාරස්සන තැපැල්පලට ලැබුනු මුත් මට ලැබුනේ අදයි. ඉංග්‍රිසි ඉගෙනීමේ වැඩ නැවතත් ආරම්භ කරන ලදී.

1934.05.11 -සිකුරාදා

නියමිත පරිදි පාඨශාලාවට ගියෙමි. සවස දුම්බර පල්ලේකුඹුරට ගියෙමි. Y.W ඇවිත් හිටියා.

1934.05. 12 – සෙනසුරාදා

පල්ලේකුඹුරේ සිටියෙමි. සරණ මංගල්‍ය 26 වැනිදාට නියම කොට ගෙන මාමා පියාණන්ට ලියුමක් ලීවා.

1934. 05. 18 – ඉරිදා

උදේ Y.W. සමඟ නුවරට ඇවිත් Y.W. පිටත් කොට කන්ද ලඟ බස් එකෙන් ඇවිත් ගලගොඩ වලව්වට පැමිණියෙමි.

1934. 05.19 – සෙනසුරාදා

තලාතුඔයේ බාලදක්ෂ පන්තිය බැලීමට ගියෙමි. Y.W.ට තලාතුඔයේදී ලිපියක් තැපැල් කළෙමි. W.J ට ද ලියුමක් යැවිමි.

1934.05.20 – ඉරිදා

මෙදින මහ රජතුමාගේ උප්පත්ති දිනය නිමිතිකොට ගෙන ලබන මස 4වෙනි දින පවත්වන උත්සවය ගැන සාකච්ඡා කරගැනීමට කෝරළේ මයාගේ කැදවීම පිට ප්‍රධානාචාර්‍යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ මාරස්සන මඩමට ගියෙමි. එහිදී එය පවත්වන පිළිවෙල ගැන සාකච්ඡා කරන ලදී.

1934.05. 25 – සිකුරාදා

පාඨශාලාවේදී නියමිත වැඩ කළෙමි. සවස නුවර ගොස් ,Y.W.සමඟ පල්ලේකුඹුරෙහි නිවසට ගියෙමි.

1934.05.26 – සෙනසුරාදා

අපේ අත්තා, පියාණන් සහ ඉළුක්තැන්නේ ප්‍රධානාචාර්‍ය ඊ.ඇම්. ඩී. බණ්ඩා මයා ද පැමිණියෝය. මෙදින පරණගම ලේකම් මහත්මයාලෑ නිවසේදී යසවතී වික්‍රමසිංහ මහත්මිය සමඟ ශුභ සරණ බන්ධනයට ඇතුළත් වූයෙමි.

(තෙරිපැහැ කි.බ.නිශ්ශංක මහතාගේ 1934 වර්ෂයේ දිනපොත මෙලෙස පිටපත් කළේ ඊට අනූ වසරකට පසු ඔහුගේ මුණුබුරෙකු වන අනුර මනතුංග විසින් 2024 ක්වූ ජූනි මස 27 වෙනිදා ය).

එතෙර - මෙතෙර