අප රටේ පීඩිතයා සහ පීඩකයා ද එක්ව පෙළපාලි යන මැයි දිනය අදයි

 

“ආදායම් විෂමතාවය අඩු කරන්නට නම් රොබෝවක් ඝාතනය කරන්න. ආදායම් විෂමතාවය වැඩි කරන්නට නම් කම්කරු සංගමයක් විනාශ කරන්න.”

‘කම්කරුවා යනු මුදල් සඳහා දුෂ්කර ශාරීරික කාර්යයක් කරනා පුද්ගලයා’ ලෙස බ්‍රිතාන්‍ය විශ්වකෝෂය නිර්වචනය කොට ඇති තත්ත්වය සහ ඉහත කියමන අතර පවතින සම්බන්ධතාව දෙස සාවධාන ව බැලිය යුතු කාලය එළඹ තිබේ.

1886 මැයි පළමුවැනි දා පැය අටක සේවා කාලයක් ඉල්ලා ඇමරිකානු පතල් කම්කරුවන් පිරිසක් විසින් ආරම්භ කළ අරගලය අද දිනට යෙදෙන කම්කරු දින සැමරුම දක්වා විකාශනය වී තිබේ. එය අප කවුරුත් දන්නා කාරණයක් වන අතර ඒ පිළිබඳ නැවත නැවත කතා කිරීමේ තේරුමක් නැත. මේ කම්කරු සටනේ ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන් සිය අයිතීන් දිනා ගෙන, ඒවා අද දක්වා ද තව තවත් වර්ධනය කර ගනිමින් පැමිණි අතර බැලූ බැල්මට දකින්නට ලැබුණේ පාලක පංතිය යම් පරාජයකට පත් වූ බව පමණි. කෙසේ නමුත් ධනපතීන්ට අවශ්‍ය වූයේ කම්කරු පංතියට අවනතව සිය සේවා ස්ථාන පවත්වාගෙන යාම නොව උපරිම ලාභයක් ලබාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලීමය. නව තාක්ෂණය ඔවුන් සිය මුර දේවතාවා බවට පත්කරගන්නට පෙළඹෙන්නේ ඒ අනුවය. රොබෝවරු ඉපදෙන්නේ මේ තාක්ෂණයට පින්සිදුවන්නට ය. රොබෝ තක්ෂණයේ වර්ධනය සමග ධනපති – කම්කරු අරගලයේ වාසිය කෙමෙන් නැවතත් ධනපතීන් අතට පත්වන්නට පටන් ගත්තේ ය. කම්කරුවන් කිහිප දෙනෙකුගේ කාර්යයන් එක් තනි රොබෝවක් අතට පත් වන්නට විය. පාලක පන්තිය රොබෝවරු නිසා සිය ලාභය වැඩිකරගත්තා පමණක් නොව අතීතයේ එක්තරා දිනෙක කම්කරුවන් සිය ජීවිතවලින් වන්දි ගෙවා දිනාගත් අයිතීන්වල වටිනාකම් ආපසු හරවන්නට ද හේතුවක් විය.

වර්තමානයේ කර්මාන්ත ශාලා පමණක් නොව කම්කරුවන් යන නිර්වචනයට අයත් නොවන සේවා ස්ථානවල ද බොහෝ කාර්යයන් පරිගණක ඇසුරින් ස්වයංක්‍රීය තත්ත්වයට පත්කොට තිබේ. එබැවින් ආදායම් විෂමතාවය, පරිගණකගතකරණය සහ කම්කරු සංගම් අතර ඇති සබඳතාව දෙස අප ඉතා සියුම් ව බැලිය යුතු ය. ඇමරිකානු ජාතික ආර්ථික විශ්ලේෂණවරියක වන ටාලි ක්‍රිස්ටල් පවසන්නේ මේ කාරණා තුන අතර සම්බන්ධයක් පවතින බව ය. ධනපතියාගේ මුර දේවතාවා වන පරිගණකගතකරණය, කම්කරුවාගේ බලය සහ එක්සත් ජනපද කර්මාන්ත ශාලාවල කම්කරුවන්ගේ ප්‍රමාණය අඩුවීම අද වන විට උච්ඡස්ථානයකට පත්ව ඇති බව ඇය පවසයි. කර්මාන්ත ශාලා පවතින ලෝකයේ ඕනෑම රටකට මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් අදාළ වේ. ලෝකයේ කම්කරු ප්‍රජාව අතර ආදායම් විෂමතාවය සඳහා ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ සියලු කර්මාන්ත ශාලා පරිගණකගතකිරීම තුළින් ඇති කොට තිබෙන ස්වයං ක්‍රියාකාරී තත්ත්වයයි. එමෙන්ම මේ තාක්ෂණික තත්ත්වය තුළ බොහෝ කර්මාන්ත තුළ කම්කරු සංගම් ද දුර්වලත්වයට පත් ව තිබේ. තාක්ෂණය නිසා ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර සමබරතාව වෙනස් කොට හිමිකරුවන්ට හෝ ආයෝජකයන්ට හෝ වැඩි ආදායම් කොටසක් හිමිකරගන්නට අවස්ථාව උදාකොට දී තිබේ. ඩිජිටල් තාක්ෂණය මගින් කම්කරු ව්‍යාපාරයන් පමණක් නොව ශ්‍රමිකයන්ගේ සාපේක්ෂ කේවල් කිරීමේ බලය ද දුර්වල කොට තිබේ. ඒ තුළින් නැවතත් ධනපතීන් වැඩි ලාභයක් එකතු කරගන්නා තත්ත්වයට පත්ව තිබේ.

කොවිඩ් අර්බුදයත් සමග ඇති වූ නිවසේ සිට වැඩ කිරීමේ සංකල්පය යටතේ රැකියාවන් සිදු කරන පිරිස්වල වර්ධනයක් මෑතක සිට දක්නට ලැබුණි. මෙය බොහෝ සේවායෝජකයන් ඉතා වාසිදායක විකල්පයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙය කෙතරම් වාසිදායක ද කිවහොත් ලෝකයේ බොහෝ රටවල දැනට පවතින කම්කරු නීති යටතේ නිවසේ සිට වැඩ කරන සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමේ නීති ප්‍රතිපාදන නැත. කම්කරු දිනය සැමරෙන අද වැනි දිනක මේ තත්ත්වයන් ද අදාළ පිරිස් විසින් ඉස්මතු කොට දැක්වීමේ අවශ්‍යතාව වැඩිවෙමින් පවතී.

ජෝන් මේනාර්ඩ් කේන්ස් සහ වැසිලි ලියොන්ටිෆ් යන කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් දෙදෙනා දශක ගණනාවකට පෙර අනාවැකියක් පළකරමින් පවසා සිටියේ ‘කෘත්‍රිම බුද්ධිය’ (artificial intelligence – AI) නිසා ‘තාක්ෂණික විරැකියා’ තත්ත්වයක් ඇතිවන බව ය. ඔවුන්ට අනුව ශ්‍රමය යනු තවදුරටත් වැදගත් සාධකයක් නොවන අතර ශ්‍රමිකයන්ගේ තැන වේගයෙන් යන්ත්‍ර විසින් අත්පත් කරගන්නේ ය. ඔවුන් මේ අදහස් පළ කළේ කෘත්‍රිම බුද්ධියක නම පමණක් මතුව තිබූ කාලයක ය. කෙසේ නමුත් මෙය අද සැබෑවක් වෙමින් පවතී. ඇමරිකානු කර්මාන්ත ශාලා තුළ කාර්මික රොබෝවරුන්ගේ භාවිතය නිසා කම්කරුවන්ට ගෙවිය යුතු වැටුප අධික ලෙස පහළ ගොස් තිබේ. කාර්මික රොබෝවකට මිනිස් මෙහෙයුම්කරුවෙක් අවශ්‍ය නැත. ඇමරිකා එක්සත් ජනපදයේ කර්මාන්ත හිමිකරුවන්ගේ අරමුණ වන්නේ කම්කරුවන් දහසකගෙන් කරගන්නා කාර්යයන් එකක් රොබෝවක් මගින් සිදුකරගන්නා තැනට ගෙන ඒම ය. දැනට ගණන බලා ඇති පරිදි එරට තුළ මේ වන විට රොබෝ යන්ත්‍ර මිලියන 1.5 – 1.75ක් අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර 2025 වන විට මේ ප්‍රමාණය මිලියන 4 -6 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීම අරමුණ වී තිබේ. රථවාහන, ඉලෙක්ට්‍රොනික්, ලෝහ, ප්ලාස්ටික සහ රසායනික කර්මාන්ත ශාලා ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් රොබෝ තාක්ෂණය භාවිත වේ.

කෘත්‍රිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව අප රට ද වැඩි කාලයක් ගතවන්නට පෙර කෘත්‍රිම බුද්ධියේ ආධිපත්‍යයට ලක්වීම නො වැළැක්විය හැකි සත්‍යයකි.

මේ තත්ත්වය තුළ මිනිස් ශ්‍රමය තවදුරටත් භාවිතය පිළිබඳ සියල්ල රඳා පවතින්නේ කෘත්‍රිම බුද්ධිය මත බවට පත්ව තිබේ. ලෝකයේ දියුණු රටවල කෙසේ වෙතත් අප වැනි ආර්ථික, දේශපාලනික වශයෙන් අඩු සාක්ෂරතාවක් ඇති රටක කම්කරු ප්‍රජාව මේ අමිහිරි යථාර්ථය සහ ඒ නිසාම තම වෘත්තීන්වල අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව තේරුම් ගෙන නැත.

පරිගණක කේතකරණ රැකියාවන් සඳහා ඉහළ වැටුපක් ගෙවන තත්ත්වයක් තුළ එම තාක්ෂණය තුළින් උපත ලද මේ වන විට ලෝකයේ අතිශය වේගයෙන් පැතිර යන ‘චැට්ජීපීටී’ (ChatGPT) යන කෘත්‍රිම බුද්ධිය මගින් පරිගණක කේතකරණ කටයුතු ද සිදුකරවා ගත හැකිය. මේ අනුව කෘත්‍රිම බුද්ධියට උපත දෙන්නට නියමු කාර්යයන් කළ පරිගණක ඉංජිනේරුවන්ගේ රැකියාවන් ද අනතුරට පත්වෙමින් තිබෙන බැව් පෙනේ.

ඇමරිකානු කම්කරු නීතියට අනුව යම් සේවා ස්ථානයකට නව තාක්ෂණය හඳූන්වාදීමෙන් පසු, අදාළ කාර්යය එතෙක් කරමින් සිටි සේවකයාගේ සේවය තවදුරටත් ප්‍රශස්ත මට්ටමකින් ලබා ගත නොහැකි නම් ඔහුගේ සේවය අවසන් කිරීමේ බලය අදාළ ආයතනයේ හිමිකරුවාට තිබේ. කෘත්‍රිම බුද්ධිය සේවා ස්ථානවලට පැමිණීමත් සමග මිනිස් ශ්‍රමිකයන් කෙමෙන් ‘අතුගා දැමෙන්නේ’ මේ ආකාරයටය.

අද දින ජාත්‍යන්තර මැයි දිනය සැමරෙන්නේ කම්කරු ජනතාවගේ අනාගතය අවිනිශ්චිත වෙමින් පවතින එවන් තත්ත්වයක් තුළ ය. විශේෂයෙන් අපේ රටේ නම් කම්කරු දිනය සිය අයිතීන් දිනාගන්නවාට වඩා දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයට අනුව සැමරෙන්නක් බවට පත්ව තිබේ. කම්කරුවාට දේශපාලනයක් තිබෙන බව සත්‍ය නමුත්, කම්කරු අයිතීන් යන්න නිර්වචනය කළ විට එය දේශපාලන පක්ෂ අනුව තීරණය වන්නක් නොවන බව තේරුම් ගත යුතු ය. රටක් පාලනය කරන දේශපාලන පක්ෂයට කැමැති කම්කරුවන් සිය අයිතිවාසිකම් පිළිබඳ සිතන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට කැමැති කම්කරුවන් සිතන ආකාරයට නොවේ. නමුත් කුමන පක්ෂයක වුව ද කම්කරුවා යනු කම්කරුවෙකි. ඔවුන්ගේ අයිතිවාසිකම් සමානය. ජීවන අරගලය ද සමාන ය. අද දින මැයි දින රැළියක් දෙස බැලුවහොත්, එය තුළ පීඩකයා මෙන්ම පීඩිතය ද සිටිනු දකින්නට ලැබේ. ස්වාමියා, එසේත් නැත්නම් පීඩකයා කම්කරු අයිතීන් වෙනුවෙන් රැළියක ගමන් කරනු දැකීම හුදෙක් විහිළුවකි. එය පසුපස ඇත්තේ දේශපාලන අරමුණක් මිස අන් කිසිවක් නොවේ.

කම්කරු ජනතාව මැයි දිනය සැමරීමේ දී යාවත්කාලීන විය යුතු යැයි පැවසිය යුත්තේ එබැවිනි. කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය සේවා ස්ථාන ආක්‍රමණය කරමින් පවතිද්දී සේවා යෝජකයා සහ සේවකයා සාකච්ඡා මේසයට පැමිණ මිනිස් ශ්‍රමයේ වාසි, සේවා නියමයන් සහ කොන්දේසි නැවත සමාලෝචනය කිරීමට අද දිනය මහඟු අවස්ථාවක් බවට පත් කරගත යුතුය. යම් කාර්යයකට සිත්පිත් නොමැති යන්ත්‍රයක ස්පර්ශයට වඩා හැඟීම් දැනෙන මිනිස් ශ්‍රමයේ ස්පර්ශය ලැබීමේ වාසිය පිළිබඳ කතා කළ යුතු කාලය එලැඹ තිබේ. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ දේශපාලන වුවමනාවට, බත් පාර්සලයට, මත්පැන් බෝතලයකට මැයි දිනය සමරන පරම්පරාවන් බිහි වීම පමණි. කම්කරු දිනයේ සියලු කම්කරුවන් සිහිපත් කළ යුත්තේ එම සත්‍යයි.

අවසාන වශයෙන් කිව යුත්තේ මිනිස් ශ්‍රමය තවමත් වටිනා දෙයක් බවය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර