ශ්‍රී ලංකාව පිළිබඳව දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ජාත්‍යන්තර වශයෙන් විවිධ ආකාරයේ ප්‍රචාර පැතිර ගොස් තිබේ. ඒවා අතර යහපත් සේම අයහපත් ප්‍රචාර ද කොතෙකුත් ඇති බවක් පෙනේ.
ශ්‍රී ලංකාව හෙවත් පැරණි තම්බපන්නී දේශය මිනී මස් අනුභව කරන කාමුක යක්ෂනියන් විසූ දූපතක් ලෙස දුරාතීතයේ පවා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් කුරුණැගල යුගයේ දී ලියැවුණු පන්සිය පනස් ජාතක පොතේ එන වලාහක හෙවත් වලාහස්ස ජාතකය කදිම නිදසුනකි.
එහි සඳහන් අන්දමට අතීතයේ එක් යුගයක අපේ රට දිව්‍යාංගනාවන් මෙන් රූමත් එහෙත්, ප්රිමින් මරා කන කාමුක යක්ෂණියන් ගෙන් පිරි දේශයකි. මුහුදු මාර්ගයෙන් අප රටට නැව් වලින් පැමිණෙන වෙළෙඳ කණ්ඩායම් උපායශීලීව රවටා ඔවුන් ගෙන් කම් සැප ලබන මෙම යක්ෂණියෝ නැවත එවැනි වෙළඳ නැවක් අප රටට ළංවන විට කලින් නැවෙන් පැමිණි වෙළඳුන් මරා මස් අනුභව කරති.
එසේ මුහුදේ ගමන් කරන වෙළඳ නැව් ගැන සෝදිසියෙන් ඔවුන් නාගදීපයේ සිට කැලණිය දක්වා වන මුහුදු තීරය කෙරෙහි විමසිලිමත් වූ බව ද එම ජාතක කතාවේ සඳහන්ය.
එහෙත්, ‘සිංහල’ නම් ඉන්දීය වෙළඳ ප්‍රධානියකු ගෙන් යුතු පන් සියයක වෙළඳ කණ්ඩායමක් සහිත නැවක් තම්බපන්නියට ගොඩ බසිත්ම ඔවුන් ද ඒ ක්‍රියාදාමයෙන්ම මරණයට පත් කිරීමට සැළසුම් කළ එම යක්ෂණියන්ට ඒ සඳහා අවකාශ නොලැබෙනුයේ ‘සිංහල’ නම් වන ඒ ඉන්දීය වෙළඳ නායකයා ගේ උපායශීලීත්වය නිසාය.
ඉහත සඳහන් පුරාවෘත්ත ය පන්සිය පනස් ජාතක පොත ලියැවෙන සමයේ එනම් ක්‍රි.ව 1302-1326 අතර එවක අප සමාජයේ තිබූ පැතිර ජන කතාවක් පදනම්ව සකස් වූවක් බව මූලිකව අනුමාන කළ හැකි වුව ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කරන විට පෙනී යන්නේ එය අතීතයේ අප රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පැතිර ගිය ජන විශ්වාසයක් බවය.
ඒ සඳහා ගත හැකි හොඳම නිදසුනක් නම් ක්‍රි. 629-645 අතර කාලයේ දී හිමාලය තරණය කොට ඉන්දියාවේ සංචාරය කළ හියු සියං නම් චීන තෙරුන් ගේ ගමන් විස්තරයෙහි අතීත ශ්‍රී ලංකාව පිළිබඳ එම ප්‍රවාදය වඩාත් විස්තරාත්මකව ඉදිරිපත්ව තිබීම ය.
එම කෘතියෙහි චාරිකාවේ දී උන් වහන්සේ අපේ රටට වැඩම කොට නොමැති වුව ද එහි එකොලොස්වන පරිච්ඡේදය ලියැවී ඇත්තේ ‘සිංහල දේශය’ නම් වන අප රට මුල් කර ගනිමිනි.
සිංහබාහු වෘත්තාන්තය යම් යම් වෙනස්කම් සහිතව ලියැවී ඇති එම පරිච්ඡේදයේ අප රටේ විසූ බව පැවසෙන මිනී කන කාමුක යකින්නන් ගේ කතා ප්‍රවෘත්තිය ජාතක කතාවට වඩා විස්තරාත්මකව ඉදිරිපත් කොට තිබේ.
එහි සඳහන් අන්දමට මෙලෙස අප රටට පැමිණ මෙහි වෙසෙන යකින්නන් හා විවාහ වූ සිංහල නම් වෙළඳ ප්‍රධානියා ඇතුළු පන්සියයක් පිරිසකට දාව එම යකින්නන්ට එක් දරුවකු බැගින් ලැබී තිබේ.
පසුව ඔවුන් යකින්නන් බව දැන නැවත ඉන්දියාවට පලා ගිය සිංහල වෙළෙන්දා ඇතුළු පන්සියයක් පිරිස ලුහුබැඳ ඉන්දියාවට ගිය යකින්නන් අතුරින් සිංහල හා විවාහ වී සිටි නායක යකින්න එහි රජතුමා ඇතුළු රාජකීය පිරිස ද මරා කෑ බවත් පසුව එම පුවත ජනතාවට හෙළි කළ සිංහල නම් වෙළෙන්ඳා එහි රජකම භාර ගත් බවත් හියුසියං චීන තෙරුන් ගේ ගමන් විස්තරයෙහි ඇතුලත් වෙයි. ඒ අනුව අපට ඉතා පැහැදිලිවම කිව හැක්කේ අතීත ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ‘නරක නාමය’ ජාත්‍යන්තර තලයට පවා පත්ව තිබූ බවකි.
මක් නිසා ද හියු සියං තෙරුන් ඒ සිංගල වෙළෙන්දාගේ පුරාවෘත්තය දකුණු ඉන්දියාවේදී අසා දැනගෙන තිබූ බැවිනි.මෙම පුරා වෘත්තාන්තය ප්‍රබල අතිශයෝක්තියකින් යුතු ප්‍රබන්ධයක් බව ඉතා පැහැදිලිවම පෙනෙයි. එහෙත්, කිනම් හෝ සමයෙක අපේ රට සම්බන්ධ එවන් නරක ප්‍රතිරූපයක් ජාත්‍යන්තර වශයෙන් පැතිර ගියේ ඇයි? මෙය අප හොඳින් විමසා බැලිය යුත්තකි.
පුරාතන ඉන්දු ආර්ය සමාජය පීතෘ මූලික ය. එමෙන්ම වේදය පදනම් කරගත් බ්‍රාහ්මණ ආධිපත්‍යයෙන් යුතු එය පුරුෂෝත්තම සමාජයක් බව ද නොරහසකි.
නමුදු ඒ වන විට භාරතීය පුරුෂෝත්තමවාදී පීතෘ මූලික සමාජ ක්‍රමය නොතිබූ අප රටේ මාතෘ මූලික සමාජ රටාවක් පැවැති බවට අනුමාන කළ නොහැකිද? වංශ කතා සාහිත්‍යයේ දැක්වෙන අන්දමට විජය කුමරුන් ඇතුළු ආර්යයන් අප රටට ගොඩ බසින විට මෙහි රජ කරන ලද්දේ කළු පැහැති අයහපත් වර්ණයකින් යුතු යන අරුත දෙන කු+ වණ්ණා හෙවත් කුවේණි නම් වන යක්ෂ රැජිනකි.
ඒ අනුව අප රටේ අතීතයේ පැවැති මාතෘ මූලික සමාජයක් මුල් කර ගත් දියුණු ශිෂ්ටාචාරයක් අමු අමුවේ නසා වනසා දමන්නට ඉන්දීය ආර්යයන් තුළ වූ අවශ්‍යතාව මෙම මිනී කන යකින්නන් ගේ පුරාවෘත්තයෙන් පැහැදිලි නොවන්නේද?
දුරාතීතයේ සිට ශ්‍රී ලංකාව මැණික් ඇතුළු වටිනා ඛනිජ ආදියෙන් පොහොසත් රටක් බව පෙර අපරදිග පැරණි විදේශීය ලේඛකයන් බොහෝ දෙනකු පවසා තිබේ. එසේම එවක අප රටේ ඉතා දියුණු සංස්කෘතික ලක්ෂණ පළ කරන රූමත් කතුන් සිටි බවට ද සැකයක් නැත.
ඒ අනුව වටිනා ස්වභාවික සම්පත් සහ ස්ත්‍රී රත්නයන් බහුල මේ රට සම්බන්ධයෙන් විදේශිකයන් තුළ අනිසි බියක් පුබුදුවා ඔවුන් මෙහි පැමිණීම වැලැක්වීමේ කූටෝපාය මුල් කොට කිනම් හෝ ජන කොටසක් මෙම කතා ප්‍රවෘත්තිය පතුරුවා හරින ලද්දේද?යම් හෙයකින් විදේශිකයන් මෙහි පැමිණ ඒ කතුන් විවාහ කර ගත්තේ නම් ඔවුන් ඒ මඟින් නව ශිෂ්ඨාචාරයක් ගොඩ නඟන බව දැන සිටි පෙරදිග වාසීහු අප රටේ කාන්තාවන් තම සැමියන් මරා ගෙන කන යකින්නන් බව ප්‍රචලිත කළා වීමට ද බැරි නැත.
එමෙන්ම වලාහක ජාතකයේ දැක්වෙන පරිදි තම්බපන්නියේ වෙසෙන යක්ෂණියෝ ඉන්දියාවෙන් පැමිණෙන වෙළඳ නැව් වල නැවියන් තමන් කෙරෙහි වසඟ කර ගැනීම පිණිස මෙහි සී සෑම්, බල්ලන් කුකුළන් වැනි ගෘහස්ථ සතුන් ඇති කිරීම් මවා පාති.
එමෙන්ම ඔවුන් විවිධ සංඥා සඳහා ධජ පතාක භාවිතා කළ බව ද පැවසෙයි.
ඒ අනුව ඉහත සඳහන් ‘මවා පෑම්’ කතාව පසෙක දැමුව ද එවක අප රටේ යහපත් ශිෂ්ටාචාරයක් පැවැති බව පෙනී යයි.
ඒ අනුව අප රටේ බටහිර වෙරළ තීරයට පැමිණෙන වෙළෙඳ නැව් වල නැවියන් මුලා කිරීමට සැදී පැහැදී සිටි එම ජාතක කතාවේ ම දැක්වෙන අන්දමට ‘දිව්‍යාංගනාවන් බඳු’ කතුන් අප රට අභ්‍යන්තරයේ සිට පිටතින් පැමිණෙන වෙළඳ නැව් කොල්ල කෑමේ කල්ලිවල දූතිකාවන් විය නොහැකිද? මේ කිසිවක් නිවැරදි ලෙස නිශ්චය කර ගැනීමට අද නොපුළුවන. එහෙත් අප රටේ අතීතයේ විසූ බව පැවසෙන මිනී කන, කාමුක යකින්නන් ගේ පුරාවෘත්තයේ සත්‍ය පසුබිම එවැන්නක් විය යුතුමය.
හේමන්ත රන්බණ්ඩාර