අපටත් දේව සාප වැදෙන්න පුළුවන්ද?

පසුගිය සුනාමි ආපදාව,කොරෝනා වසංගතය ආදී ස්වභාවික විපත් වල දී ‘දේව සාපයක්’ යන්න සමාජයේ අතනින් මෙතනින් ඇසුණු අයුරු අපට මතක ය. කිසියම් පුද්ගලයකු, පවුලක්, ප්‍රජාවක් හෝ සමාජයක් බරපතළ ව්‍යසනයකට පත් වීම අර්ථකථනය කරනු පිණිස බහුලවම යෙදෙන වදනක් තිබේ නම් එය ද ‘දේව සාපයක්’ යන්න ය. දෙවියන් යනු අත්‍යන්ත යහපත නියෝජනය කරන්නක් බව සමාජයේ පවත්නා පොදු හැඟීමකි. ඒ අනුව ඉහත සඳහන් අන්දමට පුද්ගලයකුට, පවුලකට, ප්‍රජාවකට හෝ සමාජයකට අත්‍යන්ත අයහපතක් සිදුවීම දේව සාපයක් සේ අර්ථකථනය කිරීමට පුළුවන. නමුදු ලොව ඇති ඒකදේවවාදී ආගම්වල ඇදහීමට ලක් වන කිසිදු දෙවියකු සාප කරන බවක් එම ආගමික මූල ග්‍රන්ථවල සඳහන් නොවේ. නමුදු නිරන්තරයෙන් නපුර, දුෂ්ට, අයහපත සහ පාපය හා ගැටෙන පුද්ගලයා එම දෙවිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන බවක් නම් පැවසෙයි. එම ප්‍රතික්ෂේප කිරීමම එම පුද්ගලයාට අති මහත් විනාශයක් අත්කර දෙන බැවින් එය දේව සාපයක් සේ සලකනු ලැබේ.

නමුදු බහු දේව වාදයක් වන හින්දු ආගමට අනුව මිනිසුන්ට සාප කිරීමේ බලයක් සහිත දෙවිවරු ද සිටිති. එසේ සාප කිරීමේ බලයක් සහිත ගාන්ධර්ව ආදී අර්ධ දෙවිවරුන් සේම ඍෂීන් වශයෙන් සැලකෙන උත්තරීතර මිනිස්සු ද සිටිති.සිල්වතුන්ගේ සාප දුසිල්වතුගේ සාප වලට වඩා බලවත් සේ සළකනු ලැබේ.එහෙත්, එසේ සාප කිරීම ඔවුන්ගේ සීලයට හානියකි.

අප ජන සංස්කෘතියට අනුව දේව සාපය යනු අතිශය දුලබ, ආගන්තුක දෙයකි. විජය කුමරුන් තමන් හමුවේ කළ ව්‍යාජ දිවුරුම මුල් කොට කුවේණිය විසින් කරන ලද දිවි දෝෂය ඇගේ සාපය නිසා හටගත් එකක් බව ජන සම්මතයයි. මෙහි ‘දිවි’ යන්නෙන් දිවුරුම යන්න හැඟවෙන අතර වසූරිය නම් වන වෛරස් රෝගය එවක රට පුරා පැතිරීම එම දිවි දෝෂයේ ප්‍රතිඵලයක් බව ද කියනු ලැබේ. එහි දී එම රෝගය පැතිරීම හා සමානව රට පුරා දිවියන් සැරිසරන්නට වූ බව ජන සම්මතයයි. වසූරිය රෝගය සහ දිවියන් අතර පවත්නා සබැඳියාව ප්‍රායෝගික සත්‍යයකි. වසූරිය වැළඳුණු රෝගියාගේ සිරුරේ හට ගන්නා වණ හෙවත් තුවාලවලින් පිටවන සැරව දුර්ගන්ධය හේතුවෙන් වනයේ සිටින දිවියෝ එම රෝගීන් වෙත ඇදී එති. එම සතුන් හැඳින්වීම පිණිස වන දිවි නාමය මුල් වරට හමුවන්නේ පසළොස් වැනි සියවසේ ලියැවුණු රුවන්මල් නිගණ්ඩුවේ ය. ඒ අනුව මෙම දිවි නාමය සහ කුවේණියගේ දිවි දෝෂය අතර යම් සබැඳියාවක් තිබේ දැයි වෙනම විමැසිය යුතු ය.

දේව සාපය හා දේව කෝපය එකි`නෙකට ඉඳුරාම වෙනස් ය. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව දෙවිවරු ද මිනිසුන් මෙන් සංසාරික සත්ත්වයෝ වෙති. ඒ අනුව ඔවුන් ද මිනිසුන් මෙන් කෝපයට පත් වීම සාමාන්‍ය ස්වභාවයකි. එහෙත්, ඒ කෝප වීම සාප කිරීමක් නොවේ.කෝපය සහ සාපය එකිනෙකට ඉඳුරාම වෙනස් ය.

ලක් ඉතිහාසයේ ප්‍රබලතම සිදුවීමක් වන විහාර මහා දේවිය මුහුදට බිලිවීමේ සිදුවීම ද දේව කෝපයක් මත පදනම් වන්නකි. විහාර මහා දේවියගේ පියාණන් වන කැලණිතිස්ස රජු රහත් හිමිනමක් උණු තෙල් කටාරමක බහා ඝාතනය කිරීම මුල් කොට සිදු වූ දේව කෝපයකින් මුහුද ගොඩ ගැලූ පුවත කුඩා දරුවෝ පවා දනිති. එහි දී සිදු වනුයේ දෙවියන්ගේ කෝපය මුල් කොට සොබාදහම විනාශකාරී අයුරින් කැළඹීම ය. කැලණිතිස්ස රජු දේව කෝපයකින් මුහුද ගොඩ ගැලූ පසු එය බැලීමට ගිය රජතුමා ඇතු ද සමඟින් පොළොවේ ගිලී අපාගත වූ පුවත කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිල සංදේශයේ තිබේ.එහි එම ස්ථානය “ඇතු බුන් වළ” ලෙස දක්වා ඇත.මෙම ස්ථානය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පසුබිමක ඒ සම්බන්ධයෙන් නිරන්තර විමසුමක යෙදුණු මට කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන නගර සීමා පුවරුවට මඳක් මෙපිටින් ඇති භූමි භාගයක් හඳුනා ගත හැකි විය.අදටත් පැරණි ගැමියන් “ඇතා එරුණු වළ “ලෙස හඳුන්වන එම ස්ථානය පිළිබඳව එහි නව පදිංචි කරුවෝ මෙලෝ හසරක් නොදනිති.අද එම භූමියෙන් කොටසක් ගොඩ කොට “කන්ටේනර් ඇතුන්ට”ලැගුම් ගන්නට ඉඩ සළසා තිබේ.

අප ජන සංස්කෘතියෙහි ප්‍රධාන තැනට පත්වන විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී දෙවිවරුන් අතුරින් කතරගම සහ සමන් දෙවිවරුන්ගේ කෝපවීම් පිළිබඳ සිදුවීම් කිහිපයක් ජනප්‍රවාද අතරට එක්ව තිබේ. විෂ්ණු දෙවියන් සම්බන්ධයෙන් මෙම කෝප වීමේ සිද්ධීන් ඇත්තේම නැති තරම් ය. අඩුම තරමින් මහනුවර යුගයේ සිට ප්‍රචලිත සෙනසුරා විසින් විෂ්ණු දෙවියන්ට බටකොළ කැවීමේ ජන කතාවට අනුව වුවත් විෂ්ණු දෙවියන් සෙනසුරාගෙන්වත් පළිගත් පුවතක් අනාවරණය නොවේ.
සිංහලයන් අතර පමණක් පවත්නා ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියන් කටු ගසා ගැනීමෙන් ශරීරයට දුක් දෙවන පරවා කාවඩි නම් චාරිත්‍ර සම්ප්‍රදාය දෙමළ ජාතිකයන්ට පමණක් උරුම කරන ලද්දේ කෝප වීමක ප්‍රතිඵලයක් වශයෙනි.නමුත් එය මහනුවර යුගයේ දී පමණ සිංහලයන් විසින් ගොඩ නඟා ගත් ප්‍රවාදයක් බව පෙනෙයි.

අපගේ ජන සංස්කෘතියට අනුව පත්තිනි දේවිය කිසි විටෙකත් කෝප නොවන්නීය. එහෙත්, තම සැමියා වන කෝවලන් හෙවත් පාළඟ නිකරුණේ මරා දැමූ වරදට එරෙහිව පඬි රජුට එරෙහිව පළි ගසා මුළු පඬි පුරයම ගිනිබත් කරන ලද්දේ පත්තිනි දේවියගේ මිනිස් ආත්මය වන කන්නගී හෙවත් කන්නකී වශයෙන් මිස පත්තිනිය නම් දිව්‍ය ආත්ම භාවය ලෙසින් නොවේ. එය ද අපගේ අවධානයට යොමු විය යුත්තකි.

අපගේ ජන සංස්කෘතියට අනුව ශ්‍රී ලාංකිකයන් විසින් අදහනු ලබන දෙවිවරුන් අතුරින් කාරුණිකම දෙවියන් සමන් දෙවිඳුන් ය. ශ්‍රී පාද වන්දනා ගමනට අන් කිසිදු වන්දනා ගමනකට නොයෙදෙන ‘කරුණාව’ යන වචන යොදනුයේ ද සමන් දෙවිඳුන්ට කරනු ලබන පූජෝපහාරයක් වශයෙනි. නමුදු එතරම් කාරුණික සමන් දෙවියන් කෝප වූ අවස්ථා කිහිපයක් පිළිබඳව ද සබරගමු ජන විශ්වාස අතර තිබේ. ඉන් පළමු කෝපවීම ඉංග්‍රීසි පාලන සමයේ බළන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලය හා සම්බන්ධ සිද්ධියකි. ඒ කාලයේ සබරගමුවේ ඒජන්ත පදවිය හෙබවූ ඉංග්‍රීසි ජාතිකයා සබරගමුවේ විහාර දේවාලවල ඇති වත්කම් පරීක්ෂා කිරීම පිණිස කරන සංචාරයේ දී බොල්තුඹේ සමන් දේවාලයට ද පිවිසී ඇත. එහි ආරක්ෂා කෙරෙන වස්තූන් අතර රාවණා රජු විසින් පරිහරණය කරන ලද බව පැවසෙන රාවණා රථය නම් වස්තුවක් ඇති බව දැනගත් ඒජන්තවරයා තමන්ට එය බැලීමට අවශ්‍ය බැවින් දේවාලයේ දේව මණ්ඩපය විවර කරන මෙන් ඉල්ලා සිටියේ එය සබරගමුවේ වත්කම් ලේඛනයට ඇතුළත් කර ගැනීමට ය.

එහෙත්, දේවාලයේ දේව මණ්ඩපය එසේ ආවාට ගියාට විවෘත කළ නොහැකි බවත් එය සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අනුව කපු මහතුන්ට පමණක් කළ හැක්කක් බවත් දේවාල භාරකාරත්වය විසින් සුදු ඒජන්තවරයාට දන්වා සිටින ලදී. නමුත් ඉන් සුදු ඒජන්තවරයාගේ කුතුහලය තවත් ඉස්මතු වූ අතර ඔහු දේවාල භාරකාරත්වයේ දැඩි අකැමැත්ත මත දේවාලය විවෘත කරවා ගන්නා ලද බව පැවසේ. ඒ මොහොතේ දේවාලයට ඉහළ අහසේ අකුණු හතක් පුපුරා ගොස් ඇරඹුණු වර්ෂාව දිවා රෑ මුළුල්ලේ දින හතක් එක දිගටම පැවතුණු බවත් ඊට කොටු වී සිටි සුදු ඒජන්තවරයා සමන් දෙවියන්ගෙන් සමාව අයැදීමෙන් පසු එම වර්ෂාව පහව ගිය බවත් ඔහු නැඟ ගිය ඇතු ගේ කරවටක් තෙක් ඒ වන විටත් වැසි ජලය තිබූ බවත් ජනප්‍රවාදයන්හි සඳහන් ය.

එමෙන්ම මීට දශක හත හතකට ඉහත උඳුවප් පොහොයට පෙර දින ගල්පොත්තාව රජමහා විහාරයේ සිට ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සිරිපා උඩ මළුවට පෙරහරකින් රැගෙන යන අතරේ එම පිරිස අතරමග ගිමන් හැරීම පිණිස ඒවා ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගය අද්දර කරවල බක්කියක් මත තැබීමත් සමග මහා සුළි සුළඟක් සමග වර්ෂාවක් හටගත් බවත් පසුව දෙවියන් කමා කර ගන්නා තෙක් ඒ සුළඟ සහ වර්ෂාව එලෙසම පැවැති බවත් ශ්‍රී පලාබද්දල පැරණි ගැමියෝ අදත් කියති. මේ අනුව කිව හැක්කේ අපගේ දෙවිවරු කෝප වනු මිස සාප නොකරන බව ය.එමෙන්ම අප යම් හෙයකින් දේව කෝප වලට ලක් වුව ද දේව සාප වලට ලක් වීමට නම් කිසිදු ඉඩක් නොමැති බව ය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය