අපේ කාලයේ “ගුරු සඳ මඬල” බැස ගිය වගයි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

vinivida

ශ්‍රී ලාංකේය භාෂා ශාස්ත්‍ර, මානව සමාජ විද්‍යා, සන්නිවේදන සිනමා, වේදිකා නාට්‍ය ආදී විෂය පථයන් කිහිපයක් ආලෝකමත් කරමින් පායා තිබූ “අපේ කාලයේ සඳ මඬල” පසුගිය විසි දෙවන දා සදහටම බැස ගියේ ය. එතුමෝ නම් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගුරු පියාණෝ ය.
හොර මන්තර ගුරුකම් කරුවන් හැඳින්වීම පිණිස පවා වත්මන් මාධ්‍ය මඟින් අවිචාරවත් ලෙස යොදන මහාචාර්ය නාමය එම පදවිය දරන්නවුන් වෙතින් වුව නිගරුවට, අවමානයට,හෑල්ලුවට ලක්වනු නිරතුරුවම දක්නට ලැබෙන වර්තමානයේ චන්ද්‍රසිරි පල්ලියගුරු නාමය විලසින් මහාචාර්ය පදවිය ආලෝකමත් වූ තවත් පුද්ගල නාමයන් මෑත භාගයේ අප රටේ විණි නම් ඒ ඉතා සීමිත ප්‍රමාණයක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය. මෙය වඩාත් පැහැදිලි ලෙස කිවහොත් මහාචාර්ය යන පදවිය මඟින් චන්ද්‍රසිරි පල්ලියගුරු යන පුද්ගල නාමයට ආලෝක ප්‍රභාවක් ගෙන දෙනු වෙනුවට චන්ද්‍රසිරි පල්ලියගුරු යන පුද්ගල නාමය මඟින් මහාචාර්ය පදවියට දීප්තිමත් ආලෝක ප්‍රභාවක් ගෙන දුන් බව නිසැක ලෙසම කිව හැකි ය.

මාතර, පල්ලියමුල්ලේ කුඩා පරිමාන ව්‍යාපාරිකයකු ගේ පුතකු වූ චන්ද්‍රසිරි නම් සිහින් කුඩා සිරුරැති කොලු ගැටයාට ළමා වියේ සිටම සිංහල සේම මනා ඉංග්‍රීසි දැනුමක් ද තිබිණ. එබැවින්, තව තවත් භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමේ ආශාවක් කුඩා කල සිටම ඔහුගේ සිත තුළ පැළපදියම් විය. ඒ කාලයේ චන්ද්‍රසිරි මුල් පෙළේ සිනමා රසිකයෙකි. සරල බසින්ම කිව හොත් නොම්බර එකේ පික්චර් පිස්සෙකි.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගුරුකම තම පෙළපත් නමින් ම දායාද කොට ගත් විද්වතෙකි. වර්තමානයේ කිතුනු හා ඉස්ලාම් දේවස්ථාන හැඳින්වීම පිණිස යෙදෙන ‘පල්ලි’යන නාමය අදටත් භාරතයේ දී හැඳින්වෙනුයේ කුඩා ගම්මාන සහ එබඳු ස්ථාන හඳුන්වනු පිණිස ය. ඒ අනුව අප රට ඕලන්ද යටත් විජිතයක්ව පැවැති සමයේ ඔවුන් ගේ දේවස්ථාන හා සම්බන්ධ පාසල් ස්ථාපිත වූ අතර ඒවා ද ‘පල්ලි’ යනුවෙන් හඳුන්වනු ලැබීය. එවක භාෂා ශාස්ත්‍ර සම්බන්ධයෙන් යම් ප්‍රමිතිගත දැනුමක් සහිත විද්වතුන් එවක දකුණේ පිහිටි ඒ පල්ලි හෙවත් පාසල් වල ආචාර්ය වරුන් ලෙස ද බඳවා ගන්නා ලද අතර ඔව්හු පල්ලියේ ගුරු ලෙස හැඳින්වෙනු ලදහ. පසුව ඕලන්ද සමයේ මෙරට විවාහ ලියාපදිංචිය ඇරඹීමත් සමඟ ඒ පල්ලියේ ගුරුන් හට ගුරුකමට අමතරව විවාහ ලේකම් පදවිය ද දැරීමට සිදුවිය.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් ගේ උපන් ගම මාතර, පල්ලියමුල්ල වීම ඒ නිහඬ යටගියාව කදිමට ඉස්මතු කරන්නකි. එමෙන්ම ඔහුගේ ඥාති පරපුරේ වැඩිම පිරිසක් මේ වන විටත් ගුරු වෘත්තිකයන් බව මට අසන්නට ලැබී තිබේ.
මාතර, පල්ලියමුල්ලේ කුඩා පරිමාන ව්‍යාපාරිකයකු ගේ පුතකු වූ චන්ද්‍රසිරි නම් සිහින් කුඩා සිරුරැති කොලු ගැටයාට ළමා වියේ සිටම සිංහල සේම මනා ඉංග්‍රීසි දැනුමක් ද තිබිණ. එබැවින්, තව තවත් භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමේ ආශාවක් කුඩා කල සිටම ඔහුගේ සිත තුළ පැළපදියම් විය. ඒ කාලයේ චන්ද්‍රසිරි මුල් පෙළේ සිනමා රසිකයෙකි. සරල බසින්ම කිව හොත් නොම්බර එකේ පික්චර් පිස්සෙකි.එහෙත්, තමන් නිතර දෙවේලේ දකින හින්දි චිත්‍රපටවල දෙබස් හරි හැටි නොවැටහීම ඔහුට බරපතල පැනයක් විය. නමුදු එම චිත්‍රපට වල වැඩිම වාර ගණනක් පැවසෙන වදන් සහ නළු නිළියන් ඒවා හසුරුවන අවස්ථා මුල්කොට හින්දි වචන කිහිපයක අදහස අනුමාන වශයෙන් වටහා ගැනීමට චන්ද්‍රසිරිට හැකි විය.

මාතර රෝහණ විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලත් චන්ද්‍රසිරි 1961 වසරේ ඊට වසර තුනකට පෙර එනම් 1959 ආරම්භ කරන ලද කැලණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට සමත් වනුයේ එම පාසලින් සරසවියට තේරුණු පළමු සිසුවා වීමේ ගෞරවය ද හිමිකර ගනිමිනි. 1959 තෙක් පිරුවනක්ව පැවැති විද්‍යාලංකාරය සරසවියක් බවට පත් වීමත් එහි අධ්‍යක්ෂ පදවිය භාෂා ශාස්ත්‍ර සහ ධර්ම ශාස්ත්‍රීය විෂයන් සම්බන්ධ ප්‍රාමාණික පඬි රුවනක් වූ යක්කඩුවේ ප්‍රඥාසාර හිමි පාණන්ට හිමි වීමත් සමඟ නව විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය පෙරදිග භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ලා කදිම තෝතැන්නක් විය. එමෙන්ම එහි පාලි, සංස්කෘත, වංග, හින්දි ආදී විෂයයන් සඳහා එම විෂයයන් පිළිබඳ ප්‍රමාණික දැනුම සහිත භාරතීය පඬිවරු ද එක්ව සිටියහ. නමුත් විද්‍යාලංකාර සරසවියේ තෙවන ශිෂ්‍ය කණ්ඩායමේ සිසුවකු ලෙස 1961 වසරේ එයට තේරී පත් වූ චන්ද්‍රසිරිට හින්දි භාෂාව සහ සාහිත්‍යය සම්බන්ධ විශේෂවේදී උපාධියක් දිනා ගැනීමේ පහසුකම් එහි නොවීය. එබැවින් ඒ වෙනුවට සිංහල විශේෂවේදී පාඨමාලාවකට යොමු වූ ඔහු එහි උප විෂය ලෙස තම ප්‍රියතම හින්දි භාෂාව සහ සාහිත්‍යය තෝරා ගත්තේය. මුලදී පික්චර් පිස්සුවෙන් ඇරඹුණු චන්ද්‍රසිරි ගේ මෙම ‘හින්දි උණ’ පසුව එම භාෂා සාහිත්‍යායාංග වල පරාසය සහ රසාස්වාදනය විමසීම තෙක් කෙතරම් පැතිරුණි ද යත් පසු කලෙක ඔහු “හින්දි භාෂාව සහ සාහිත්‍යය” නම් කෘතියක් ද එළි දක්වා තිබිණ.එය ඔහුගේ මුල්ම කෘතිය ද වේ.
පසුව විද්‍යාලංකාර සරසවියෙන් සිංහල විශේෂවේදී උපාධියක් හිමිකර ගත් නමුදු තරුණ චන්ද්‍රසිරි ගේ සුවිශේෂ අවධානය මානව හා සමාජ විද්‍යා, සන්නිවේදන, ශ්‍රව‍ය ද්‍රශ්‍ය කලා රසාස්වාදන ආදී පැතිකඩ කිහිපයක් වෙත විහිද ගිය අතර ඔහු ඉංග්‍රීසි අකුරු දෙකක් නමේ වලිගයට එක්කරගත් නිකම්ම නිකම් උපාධිධාරී ඊනියා උගතෙකු නොවන බව එවක බොහෝ දෙනෙකුට වැටහිණ. එමෙන්ම ඔහු ඉහත සඳහන් විෂය ක්ෂේත්‍ර තුළ කුමක් හෝ අමුතු පෙරැලියක් කිරීමට මාන බලන දඟකාරයෙකු, හිතුවක්කාරයෙකු,හා වැඩ කාරයකු ලෙස ද එවක විද්වත් බොහෝ දෙනකුගේ අවධානයට යොමු ව තිබිණ.

ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක්වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අනුගමනය කොට ඇත්තේ වර්තමානයේ බොහෝ දෙනකුට එය සිහිනයකින් පෙනීමටත් පෙර සිටම කිව යුතු ය.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වෙතින් මා පෞද්ගලිකව අධ්‍යාපනය ලබා නැත.එහෙත්, එදා මෙදා තුර මා ඔහු වෙතින් ලත් ශාස්ත්‍ර කලා විෂයන් සම්බන්ධ පන්නරය සුළු පටු නොවේ. විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවට අයත් මහාචාර්ය වරයකු තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු පවා ‘සර්’ යන ගෞරවාන්විත ආමන්ත්‍රණයෙන් හැඳින්වීම පොදු සම්ප්‍රදායකි.

එක් දහස් නවසිය හැටේ දශකයේ දක්නට නොලද තරුණ පෙළ කේන්ද්‍ර කර ගත් චින්තන විප්ලවයක් 1970 දශකයේ ඇරඹුමත් සමඟ ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් දක්නට ලැබිණ. 1971 කැරැල්ල ලෙසින් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළින් පිටාර ගලන්නට වූයේ එහි එක් පැතිකඩක් බව මගේ වැටහීම ය. මෙම චින්තන ධාරාව තුළ එවන් සන්නද්ධ අරගලයක් නොවන යම් විප්ලවයක් සමාජමය පෙරැලියක් කිරීමට සිහින දකින තරුණ පෙළක් ද වූහ. එම සමාජමය පිබිදුම සමකාලීන සිනමා නාට්‍ය සහ සාහිත්‍ය කෘතීන් පිළිබඳව විමැසීමෙන් ද අපට යම් තරමකට හෝ වටහා ගත හැකි වනු ඇත.1968 වසරේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපා ගේ “හන්තානේ කතාව” සහ 1969 වසරේ තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගොළු හදවත’ යන විශිෂ්ට සිනමා කෘතීන් යෞවනය තේමා කොට ගත් මුත් ඒවා “රොමැන්ටික්” මාදිලියට අයත් කලා කෘතීන් බව අපගේ පිළිගැනීම ය.
එහෙත්, 1970 දශකයේ ඇරඹි තරුණ චින්තන විප්ලවය තුළින් සමකාලීන සමාජයේ යටි පෙළ ස්පර්ශ කිරීමේ නැඹුරුවක් දක්නට ලැබිණ.එවන් පසුබිමක් යටතේ එවක කලා ක්ෂේත්‍රයේ පෙරමුණට ආ ධර්මසේන පතිරාජ, සුනිල් ආරියරත්න ආදී තරුණ සරසවි ආචාර්යවරුන් අතරේ චන්ද්‍රසිරි පල්ලියගුරු ද මුල්තැනකම වැජඹුණි.
ඔහු මධ්‍යම පාන්තික තරුණ අසහනය තේමා කර ගනිමින් 1974 වසරේ තිරගත වූ ධර්මසේන පතිරාජ ගේ “අහස් ගව්ව” චිත්‍රපටය සඳහා “ඉරා අඳුරු පට පෙරදිග අහසේ” නම් විශිෂ්ට පසුබිම් ගීතය රචනා කිරීම ඒ සඳහා වන එක් නිදසුනකි. මීට සමකාලීනව සාහිත්‍ය කලා, සිනමා, වේදිකා ඇතුළු සකල විධ කලා මාධ්‍යයන්හි ඇති වූ ප්‍රබෝධය කෙතෙක් ද යත් එතෙක් මුළුගැන්වී තිබූ ප්‍රබුද්ධ, විදග්ධ, සුභාවිත ආදී වියත් වදන් සාමාන්‍ය ජන සමාජය අතර පැතිර ගියේ මෑතක් වන තුරු අප රටේ බහුතරය අසා නොතිබූ ‘අයි එම් එෆ්’ යන වදන මේ වන විට කොලු කුරුට්ටන් අතර පවා නිතර ව්‍යවහාර වන ලෙසිනි.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතයෙන් ආචාර්ය ජීවිතයට පිවිසෙන ලද්දේ වෙස් මාරු කරගෙන නොවේ. ඔහු සරසවියේ සහාය කථිකාචාර්ය පදවියක් දරන සමයේ සිට මහාචාර්ය පදවියක් හොබවන යුගය දක්වාම සරසවි සිසු සිසුවියන් හා යාවජීව සබැඳියාවක් ගොඩ නඟා ගැනීමට සමත් විය.එය මුල දී වැඩිමල් සොයුරකුගේ හා පසුව පියෙකුගේ භූමිකාවට සමපාත විය. ඒ අනුව නූතනයේ ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක්වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අනුගමනය කොට ඇත්තේ වර්තමානයේ බොහෝ දෙනකුට එය සිහිනයකින් පෙනීමටත් පෙර සිටම කිව යුතු ය.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වෙතින් මා පෞද්ගලිකව අධ්‍යාපනය ලබා නැත.එහෙත්, එදා මෙදා තුර මා ඔහු වෙතින් ලත් ශාස්ත්‍ර කලා විෂයන් සම්බන්ධ පන්නරය සුළු
පටු නොවේ. විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවට අයත් මහාචාර්ය වරයකු තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු පවා ‘සර්’ යන ගෞරවාන්විත ආමන්ත්‍රණයෙන් හැඳින්වීම පොදු සම්ප්‍රදායකි.නමුදු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු පියාණන්ට මා ‘සර්’ කීයේ එලෙස සම්මතය මත පිහිටා නොවේ.ඒ සෑම අවස්ථාවකම එය මගේ හදවතින් නැඟි දෝංකාරයක් බව නිසැක ලෙසම කිව යුතු ය. ඊට අමතරව මම ඔහුට ඇතැම් විට ‘ගුරුජී’ යන ගෞරවනීය වදනින් ද ඇමතීමි. සිංහල බසින් ආචාර්යයෝත්තම ලෙස නම් කළ හැකි ‘ගුරුජී’ යනු අද ද බොහෝ භාරතීය සිසුන් තම ගුරුවරුන් හඳුන්වන සාම්ප්‍රදායික නාමයකි. ඒ බව පශ්චාත් උපාධිය සඳහා මා ඉන්දියාවට ගොස් සිටි සමයේ මා දහස්වර අත්දැක ඇති අතර මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ‘ගුරු පියාණන්’ ද ඒ සම්බන්ධ අත්දැකීම් වලින් සුපෝෂිත බවට රහසක් නොවේ. එමෙන්ම මා ඔහු ගුරුජී ලෙස හැඳින්වීමට ඔහුගේ පෙළපත් නාමයේ එන ගුරු කොටස ද ඉවහල් විය.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු කතා බහ, ඇවතුම් පැවතුම්, ගමන් බිමන් ආදියෙන් ද සුවිශේෂ අනන්‍යතාවක් පළ කළ අපූරු මිනිසෙකි.සරසවියේ අංශාධිපති,පීඨාධිපති පදවි හොබවන සමයේ පවා ඉතා සරල සැහැල්ලු ඇඳුමකින් සැරසී සෙරෙප්පු යුවලක් පැළඳ නිරතුරුවම කුඩයක් ද අත දරා සිටි සිටි ඔහු සපත්තු කුට්ටමක් පැළඳ සිටි දිනයක් මා කිසිදා දැක නැත. ඔහු හැඳ සිටි කමිසය සහ කලිසම වුව ඉතා චාම් සරල බවින් යුතු වූ අතර ජැන්ඩි පහට අඳින්නවුන් සිය ගණනක් පැරදවිය හැකි අපූරු කඩවසම් බවක් හා පෞරුෂයක් ඒ චාම් සරල ඇඳුම මගින් ඔහු කෙරෙන් දිස්විය.

සෑම සමාජයකම විවිධ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ කීර්තිමත් පුද්ගලයෝ දක්නට ලැබෙති. කලා, ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන් හි සේම වෙනත් විවිධ අංශ වරින් වර මෙබඳු සුවිශේෂ චරිත දක්නට ලැබේ.ඉංගිරිසි බසින් මොව්හු Celibrity ලෙසින් හැඳින්වෙති.
ඒ අනුව බලන විට විශ්ව විද්‍යාල අචාර්ය ජීවිතයේ ඇරඹුමේ සිටම මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීහු ද එබඳු සුවිශේෂ කීර්ති කදම්භයක් ගොඩ නඟා ගැනීමට සමත් තමන්ටම ආවේණික පෞරුෂයකින් යුතු සුවිශේෂ චරිතයක් වූහ. ඔහු ඒ තත්වයට පිවිසියේ වත්මන් සමාජයේ නිසරු පරමාදර්ශයක් වන පුහු ආටෝපයන් මත නොවීමත් එම ජීවිතයට උරුම කරගත් සරල චාම් නිහතමානී ගති පැවතුම් මත වීමත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු කතා බහ, ඇවතුම් පැවතුම්, ගමන් බිමන් ආදියෙන් ද සුවිශේෂ අනන්‍යතාවක් පළ කළ අපූරු මිනිසෙකි.සරසවියේ අංශාධිපති,පීඨාධිපති පදවි හොබවන සමයේ පවා ඉතා සරල සැහැල්ලු ඇඳුමකින් සැරසී සෙරෙප්පු යුවලක් පැළඳ නිරතුරුවම කුඩයක් ද අත දරා සිටි සිටි ඔහු සපත්තු කුට්ටමක් පැළඳ සිටි දිනයක් මා කිසිදා දැක නැත. ඔහු හැඳ සිටි කමිසය සහ කලිසම වුව ඉතා චාම් සරල බවින් යුතු වූ අතර ජැන්ඩි පහට අඳින්නවුන් සිය ගණනක් පැරදවිය හැකි අපූරු කඩවසම් බවක් හා පෞරුෂයක් ඒ චාම් සරල ඇඳුම මගින් ඔහු කෙරෙන් දිස්විය.
බොහෝ පැරණි හින්දි සිනමා රසිකයෝ රාජ් කපූර්, දිලිප් කුමාර් ආදී ජනකාන්ත හින්දි සිනමා නළුවන් ගේ ඇඳුම් පැළඳුම් සහ ඔවුන් කොණ්ඩා කපා ඇති ආකාරය අනුකරණය කරති. එහෙත්, නොම්බර එකේ හින්දි සිනමා රසිකයකු වූ තරුණ චන්ද්‍රසිරි පල්ලියගුරු එසේ කළා දැයි මම නොදනිමි. නමුදු, මගේ යොවුන් වියේ මතකයේ ඈත.

අන්තයෙන් මතු වන කරුණු අනුව එවක කැලණි සරසවියේ තරුණ කථිකාචාර්ය වරයකු ව සිටි චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ඒ සරල ඇඳුම් රටාව එම සරසවි සිසුන් බොහෝ දෙනකු අනුගමනය කළ අතර එය එකල සරසවි සිසුන් අතර ප්‍රචලිත පන්නයක්, විලාසිතාවක් විය.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ එම සැහැල්ලු දිවි පැවැත්ම කෙතරම් සුවිශේෂ ද යත් සරසවියට හෝ වෙනයම් ගමන් බිමන් යාමට එවක තමන් සතුව තිබූ කොළ පැහැති වෝක්ස්වාගන් කාරය යොදා නොගත් ඔහු මුළු සරසවි දිවිය පුරාම පාහේ සරසවියට ආවේ ගියේ බසයෙනි. තම ශාස්ත්‍රීය පොත පත සහිත කරේ එල්ලා ගත් බෑගය හා නිතරම සුරතේ රැඳුණු කුඩය චන්ද්‍රසිරි පල්ලියගුරු සුවිශේෂ චරිතයේ විශේෂ අනන්‍යතා ලක්ෂණ බව එවක කැලණි ගුරු සිසු ප්‍රජාව සේම ඉන් බැහැර බොහෝ පිරිස් සේම මම ද දැන සිටියෙමි. ඉතා ගුණ යහපත් බිරිඳක ගේ ආදරණීය පියකු සහ අද වන විට වෛද්‍ය සහ නීතිඥ යන සමාජ සම්මත වෘත්තීන් හි යෙදෙන දියණියකගේ හා පුතනු කෙනකු ගේ සෙනෙහෙබර පියකු වන ඔහු ඒ ඔස්සේ ද සිය දිවි මඟ දිග්විජය කොට තිබූ අයුරු මනරම් ය.

සාහිත්‍ය කලා, සමාජ මානව විද්‍යා ඇතුළු විෂය පථයන් සම්බන්ධ ශාස්ත්‍රීය සහ විචාර ග්‍රන්ථ ඇතුළු විවිධ පොතපත පනහකට වඩා රචනා කොට තිබූ මහාචාර්ය චන්ද්‍රසිරි
පල්ලියගුරු සූරීන් රටට රූපවාහිනී මාධ්‍යයට සපැමිණි මුල් සමයේ “රස කලස” වැනි ශාස්ත්‍රීය වශයෙන් ද වැදගත් සරල වින්දනාත්මක වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කොට තිබිණ.
එහෙත්, පසුකාලීනව ජනමාධ්‍යයේ ප්‍රමිතිය අවප්‍රමාණ වීමත් සමඟ ඒ අතරට එක් වූ බාල බොළඳ විනෝදය අරමුණු කරගත් නිසරු වැඩසටහන් ප්‍රවාහය හමුවේ ඔහු තුළ රූපවාහිනී මාධ්‍ය කෙරෙහි පැවැති උනන්දුව ද යම් ප්‍රමාණයකට හෝ අව ප්‍රමාණ වූ බව මගේ පෞද්ගලික විශ්වාසයයි.වරක් මා ද එක් වූ සාහිත්‍ය සම්මන්ත්‍රණයකදී මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් වෙතට මෙවන් පැනයක් යොමු විය.
“ඔබගේ සාහිත්‍ය විචාර, සමාජ මානව විද්‍යා විවරණ වලට හොඳ විචාරක පැසසුම් ලැබී තිබෙනවා. ඒත් නව කතා කෙටි කතා වගේ ස්වතන්ත්‍ර නිර්මාණ වල ඒ තරම්ම
අගැයුමක් ලැබී නැහැ නේද?”
එම පැනය හමුවේ තම සුපුරුදු සිනාවෙන් මුව සරසා ගත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගුරු පියාණන් දුන් ක්ෂණික පිළිතුරු තවමත් මගේ මතකයේ රැදී තිබේ.
“ඔව්,ඒත් ඉතින් පොත පතක් ලියන කොට පාඨකයෝ ගැනත් හිතන්න එපායැ.අනික විචාරකයෝ පිනවන්න පොත් ලියනවා නම් ඉතින් පිටපත් පනහක් හැටක් ගැහුවා
නම් හොඳටම ඇති නේ” යනුවෙනි.මගේ වැටහීම අනුව සාහිත්‍යය යනු සියල්ලට පළමුව ජනතාව අතරේ ප්‍රචලිත කළ යුත්තක් බව විදග්ධ ගණයේ සන්නිවේදකයකු වන ඔහු ඒ විහිළුව තුළින් හිතේ හැටියටම කියා ගන්නට ඇත.එහෙත්, නූතන සන්නිවේදකයන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් රැක ගෙන සිටි එම සුභාවිත සන්නිවේදනයේ හතර මායිම් සිඳ බිඳ දමා ඇති බවක් මට හැඟේ. එවන් පසුබිමක් තුළ නූතන අධිපරිභෝජනවාදය හමුවේ අද රැයේ පායන ජනකාන්ත තරුව හෙට හිරු උදාවට පෙරම ගිලිහී වැටෙන වර්තමානයේ තම සුවිශේෂ ප්‍රතිභාව, දැනුම් සම්භාරය හා ඥාන ශක්තිය පදනම් කර ගනිමින් පුරා අඩසිය වසරක් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය භාෂා ශාස්ත්‍ර මානව සමාජ විද්‍යා සන්නිවේදන,සිනමාව වේදිකා ආදී විෂය පථයන් රැසක්ම සුවිශේෂ ආලෝක ප්‍රභාවක් ලබාදෙමින් පායා තිබූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අපේ කාලයේ සැබෑ ගුරු සඳමඬල බැස යාමෙන් හටගත් අඳුර කවදා කෙලෙස කුමන අයුරකින් පහ වේදැයි එක්වරම සිතා ගත නොහැකිව මම මේ සටහනේ සමාප්තියට පැමිණෙමි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර